Sunday 6 December 2009

අමුතු ප්‍රශ්නයක්

එඩ්වඩ් ගුණසේකර

මේ දිනවල විවිධ මාධ්‍යයන් හරහා අමුතුම ආකාරයේ ප්‍රශ්නයක් සමාජගත වෙමින් පවතී. ප්‍රශ්නය වන්නේ "යුද්ධය අවසන් වූ පසු ජනතාවට යම් සහනයක් ලැබේවි කියා කවුරුත් හිතුවා; නමුත් මේ රජයෙන් එවැනි සහන බලාපොරොත්තු විය නොහැකියි කියා යම් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා?"

හොදින් මේ ප්‍රශ්නය දෙස බලන්න! ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ යම් සහනයක්. ඉන් ගම්‍ය වන්නේ, ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ මොකක් හරි සුලු සහනයක් බවත්, නමුත් මෙම රජය එවැනි සුලු සහනයක්වත් දීමට ඉදිරිපත් නොවන බවයි.


මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන පුද්ගලයා බොහොම කල්පනාකාරී විය යුත්තේ සහනයක් යන වචනය සම්බන්ධවයි. තවද මේ ප්‍රශ්නය අසන්නා තුල යුද්ධය නැවැත්වීම; අවුරුදු 30ක යුද්ධයට නැවතීමේ තිතක් තැබීම සමාජයට ලබාදුන් මහා සහනයක් ලෙස දැකීමට තරම් සූදානම් නැති මනසකින් යුත්ත බව කියාපායි. ඒ අනුව මේ ප්‍රශ්න විචාරකයාගේ සහන පැකේජයේ ඇත්තේ මොනවාදැයි; ප්‍රශ්නයට පිලිතුරු දෙන තැනත්තා ඉතා හොදින් අවබෝධ කරගෙන සිටිය යුතුය. මෙම ප්‍රශ්නයට පිලිතුරු දීමට නම්, යුද්ධය පැවති අවධියේ ජනතාව මුහුණ දුන් අභියෝග මොනවාදැයි අවබෝධ කරගත යුතු අතර, ජනතාව සමහර අවස්ථාවලදී හඩා වැලපෙමින් ඉල්ලා සිටියේ මොනවාදැ?යි. නැවත නැවත මෙනෙහි කර බැලිය යුතුය.

එදා ජනතාව පහත දැක්වෙන දෑ ඉල්ලා සිටියාය.


1.මායිම් ගම්මාන වල වැසියන් තමන් අතට ආයුධ ඉල්ලා සිටියාය.


2.අනිකුත් පලාත්වල ජීවත්වෙන අය, තමනට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.


3.හමුදාවන්හි සේවයෙහි නිරතවූවන්ගේ දෙමව්පියෝ, දිනපතා සිදුවෙන රණවිරු මරණ දැක, එවන් විපත් රණවිරුවන්ට උරුම නොවේවායි! දෙවියන් යද්දාහ.


4.හමුදාවන්හි සේවයෙහි නිරතවූවන්ගේ බිරින්දෑවරු හා දූ දරුවන්, දිනපතා සිදුවෙන රණවිරු මරණ දැක, එවන් විපත් තම ස්වාමි පුරුෂයාට/තම පියාට උරුම නොවේවායි! දෙවියන් යද්දාහ.


5.රැකියාවට යන සිය බිරිදට, ස්වාමි පුරුෂයාට, පුතාට, දුවට, මවට, පියාට හා පාසල් යන දරු දැරියන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස ජනතාව නිතිපතා දෙවියන් යද්දාහ.


6.කොටි පාලන ප්‍රදේශ වල ජනතාව, ඉල්ලූ දෙයක් ඉල්ලුවේ දෙවියන්ගෙන්ම පමණි. කොටි හමුදාවේ සිටින, තම දරුවන්, රැක දෙන ලෙස ඔවුහු දෙවියන් යද්දහ. කොටි හමුදාවේ සිටින සිය සැමියන් රැකදෙන ලෙස බිරින්දෑවරුන් දෙවියන් යද්දහ. තමන්ගේ දරුවන් කොටින්ගෙන් රැකදෙන ලෙස බොහෝමයක් මව්වරු නිතිපතා දෙවියන් යද්දහ. ඔවුනට ආරක්ෂාව, රැකවරණයට වඩා ඇවැසි දෙයක් තිබුණේම නැත. අධ්‍යාපනය, ජීවන වියදම ඉහල යෑම, හැම දෙනාම කථා කරන දූෂණය, විධායක ජනාධිපති කම, ඔවුනගේ සැබෑ මාතෘකා නොවූවාය. ආරක්ෂාව රැකවරණය, ආහාර හා බෙහෙත් ඔවුනගේ මූලික අවශ්‍යතාවයන් විය.


මේ අසරණ මිනිස් කැල කාලාන්තරයක් මුලුල්ලේ තැනින් තැන යමින් කොටිනට සේවය කරමින්, තම ලෙයින් මසින් පෝෂිත කල දරුවන් කොටිනගේ උවමනාවන් පරිදි මිනිස් බෝම්බ බවට පත්වෙන ආකාරය විද දරා ගත යුතු විය. කොටිනට තාක්ෂණය ලබාදීමට පැමිණෙන සුද්දන්ගේ කෙලි භාණඩ බවට පත්වෙන තම ලපටි දූ දරුවන් රැකදෙන ලෙස නිතිපතා දෙවියන් යද්දාහ.


7.යාපනයේ ජනතාව මුහුණ දුන්නේ වෙනත් ආකාරයක ගැටලුවකටය. ඒ අධික ජීවන වියදම ප්‍රශ්නයයි.


8.රට වටා සිටි ධීවර ජනතාව ගැටලු රාශියකට මුහුණ දුන්හ. බොහෝමයක් පලාත්වල ධීවර කර්මාන්තයට තහංචි වැටීමෙන් ධීවරයා ආර්ථිකමය වශයෙන් ඇදවැටී සිටියහ.


9.උතුරු නැගෙනහිර හා මායිම් ගම්මාන වාසී ජනතාවට තම කුඹුරු ඉඩම් වගා කිරීමට නොහැකි වාතාවරණයක් පැවති බෑවින්, ආර්ථික හා සාමාජීය වශයෙන් ඉතා දැඩි පීඩනයක් යටතේ සිටියහ.


2009 මැයි මස 18 වෙනිදා කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත්වීමත් සමගම ඉහත සදහන් කරන ලද තත්වයන් සුබවාදී පැත්තට නැඹුරුව සම්පූර්ණයෙන්ම අවසන් විය. මෙම සංසිද්ධිය ජනතාව ලද සහනයක් නොවන්නේද? එය සහනයක් ලෙස නොදකින අය එම සංසිද්ධිය සදහා යොදන වචනය කුමක්ද? මහා දේශපාලන සුනාමියකට අසුව තිබූ රටහි ඒ සුනාමි තත්වය අවසන් වී ඇත. ඒ සමගම අලුත් ගැටලු ගනනාවක්ම නිර්මාණය වී ඇත. ඒ නිර්මාණිත ගැටලු වලට පිලියම; විධායක ජනාධිපතිකම ඉවත් කිරීම නොවන බව ජනතාව පමණක් නොව, විධායක ජනාධීපතිකම ඉවත් කරන ලෙස ඉල්ලා හඩක් නගන අයත් හොදාකාරව දනී.‍‍

No comments:

Post a Comment