Tuesday 8 December 2009

එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

ජනතා මිත්‍ර දිනමිණ
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කිසිදු අයුරකින් අඩු නොවන නිසා එම ප්‍රතිරූපය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අසාර්ථක උත්සාහයක නිරත වී සිටී. ඒ සඳහා මඩ කලාවක් ද උපයෝගී කරගනිමින් එම දේශපාලන පක්ෂ දෙකේම ඇතැම් කථිකයෝ කරළියට පිවිසී සිටිති.ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ජනාධිපතිතුමාට හා එම පවුලට මඩ ප්‍රහාර එල්ල කිරීමය. ඒ සඳහා යොදාගෙන තිබෙන නවතම තුරුම්පුව සරත් ෆොන්සේකා මහතාය. සරත් ෆොන්සේකා මහතා ප්‍රතිපත්තිමය කරුණු හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකර ජනාධිපතිවරණය සඳහා මඩගැසීමේ කලාවක් තෝරාගැනීම කනගාටුදායකය. තමන්ට ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවට ඉදිරිපත් කිරීමට කිසිවක් නොමැතිනම් හොඳම දෙය වන්නේ නිකරුණේ මඩ ප්‍රහාර එල්ල නොකර නිහඬව සිටීමයි.

තමන් මඩ ගැසුවොත් තමන්ගේම අතේ මඩ තැවරෙන බවත් වෙනත් කෙනෙකුට ඇඟිල්ල දිගුකරන විට තමන් දෙසට ඇගිලි 4 ක් එල්ල වී තිබෙන බවත් සරත් ෆොන්සේකා මහතා නොදන්නේ ද යන සරල ප්‍රශ්නය මතුවේ.
එම නිසා සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහලාගේ සෝමවංශ අමරසිංහලාගේ, මංගල සමරවීරලාගේ රවුෆ් හකීම්ලාගේ මනෝ ගණේෂන්ලාගේ ලණු කා මඩ ගොහොරුවක එරෙමින් සිටීම මහජනතාව මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. එම නිසා මඩ නාගන්නේ නොමැතිව මඩේ එරෙන්නේ නොමැතිව හංසයාට පිහිනීම අභියෝගයකි.



එම අභියෝගය ජයගැනීමටනම් සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා සිටගත යුත්තේ කුමන පැත්තේ ද? යන්න සිතා බැලිය යුතුයි. නමුත් ෆොන්සේකා මහතා සිටගෙන ඇත්තේ ඔහු ඇතුළු රණවිරුවන් කුරුසයේ තබා ඇණගැසූ පිල සමඟවීම කනගාටුවට කරුණකි. එම යථාර්ථය සරත් ෆොන්සේකා මහතා තේරුම් ගන්නේ ජනවාරි 27 වෙනිදාය.

කොකා පෙන්වීම


සරත් ෆොන්සේකා මහතා පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට කොකා පෙන්වමින් සිටී. සෝමවංශ අමරසිංහ මහතා තම පාක්ෂිකයන්ට කියා සිටින්නේ සරත් ෆොන්සේකා මහතා පෙන්වමින් රනිල් ගොනාට අන්දවමින් සිටින බවයි.


නමුත් යථාර්ථය මීට වඩා තරමක් වෙනස්වෙයි. මේ දෙතුන්දෙනාම ගොනාට ඇඳ ඇති බව තේරුම් ගන්නේ ලබන වසරේ ජනවාරි 27 වෙනිදා අළුයම ඡන්ද ප්‍රතිඵල නිකුත්වන විටය.


සරත් ෆොන්සේකා මහතා උපයෝගී කරගනිමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මඩ ගැසීමට විපක්ෂය කළ සැලසුම් ව්‍යර්ථවූයේ ආරක්ෂක ලේකම්වරයා එම චෝදනාවලට තර්කානුකූලව ලබාදුන් පිළිතුරු සමගිනි. ආරක්ෂක ලේකම්වරයාගේ පිළිතුරුවලට ෆොන්සේකා මහතා නිරුත්තරවී ඇත.


යළි ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල කිරීමට නම් රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, සෝමවංශ අමරසිංහ, රවුෆ් හකීම්, මනෝ ගණේෂන් යන මහත්වරුන්ගෙන් තවදුරටත් උපදෙස් ලබාගත යුතුව ඇත. ෆොන්සේකා මහතා මේ මඩ අනමින් සිටින්නේ කවුරු වෙනුවෙන්ද? රණවිරුවන් වෙනුවෙන්ද? මහජනතාව වෙනුවෙන් ද? අඩුම ගණනේ ඔහු වෙනුවෙන් ද? නැත.

ඔහු මේ මඩ අනමින් ඉන්නේ කොටි සංවිධානය වෙනුවෙන් කඩේ ගිය රනිල් හකීම්, මනෝ ගණේෂන් හවුල වෙනුවෙන්ය. එමනිසා රනිල්ලා, හකීම්ලා, මනෝ ගනේෂන්ලා එදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එල්ල කරන ලද මඩ ප්‍රහාර අද සරත් ෆොන්සේකා මහතාගෙන් එල්ල කිරීම ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැත.


වසර 30ක් මේ රටට විනකළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය සියලුම ජනකොටස්වලට හිමිවිය යුතුය. එහි කිසිදු විවාදයක් නැත. නමුත් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් ගාස්තුවක් ඉල්ලා සිටිනවානම් එහි කිසිදු සදාචාරාත්මක භාවයක් නැත. ඒ ගාස්තුව අද ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබාදුන් ජනාධිපතිතුමා නොවේ.


මෙහෙයුම් කටයුතුවලට උපදෙස් ලබාදීම ඇතුළු එය අධීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයාත් නොවේ. මෙම ගාස්තුව ඉල්ලා සිටින්නේ යුද හමුදාපතිවරයා වශයෙන් සිටි විශ්‍රාමික සරත් ෆොන්සේකා මහතාය. එම ගාස්තුව ඉල්ලා සිටීමට සදාචාරයක් තිබේද කියා මුලින්ම සලකා බැලිය යුතුයි.


සරත් ෆොන්සේකා මහතා ගැන මුළු රටම දැනගත්තේ මීට වසර 4කට පමණ පෙර ඒ මහතා යුදහමුදාපතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නම් කිරීමෙන් අනතුරුවයි.


විශ්‍රාම යන්න ඔන්න මෙන්න තිබියදී සරත් ෆොන්සේකා මහතාට යුද හමුදාපතිධූරය ලබාදුන්නේ යුද හමුදාපතිව සිටි ශාන්ත කෝට්ටගොඩ මහතා කලින් විශ්‍රාම යැවීමෙන් අනතුරුවයි.


ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා වශයෙන් යුද හමුදාව මෙහෙයවීය.

සියලුදෙනාගේම කැපවීම මත ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර යුද ජයග්‍රහණය ලබාගත්තේ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේය. සියලුදෙනාගේම කැපවීම මත ලබාගත් මේ ජයග්‍රහණයේ ගෞරවය සියලුම දෙනාට හිමිවිය යුතුය.


ගාස්තුවක් ඉල්ලීම


නමුත් සරත් ෆොන්සේකා මහතාට පමණක් ප්‍රභාකරන්ද අවසන් කිරීමෙන් පසුව අමුතු අමුතු අදහස් පහළ වෙන්නට වූයේය. ඒ අදහස් ඉබේ ඕපපාතික වූවාද එසේත් නොමැතිනම් රනිල්ලා, මංගලලා, සෝමවංශලා, හකීම්ලා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප්‍රකාශ කළ ඒවාද කියා වැඩිකල් නොගොස් දැනගැනීමට හැකිවනු ඇත.


සරත් ෆොන්සේකා මහතාට ගාස්තුවක් ඉල්ලා සිටීමට හැකි නම් ගෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, ජයන්ත වික්‍රමරත්න, සරත් වීරසේකර යන ආරක්ෂක අංශ ප්‍රධානීන්ටද ගාස්තුවක් ඉල්ලා සිටීමට හැක. මොකද! ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට මේ සියලු දෙනා නායකත්වය ලබාදුන් බව රහසක් නොවේ. එ

හෙනම් සරත් ෆොන්සේකා මහතාට පමණක් මේ අමුතු සිතිවිලි පහළ වෙන්නට පටන්ගත්තේ ඇයි? යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ. රණවිරුවන්ට කළ හැකි ලොකුම අපහාසය කළ නායකයන් හා දේශපාලන පක්ෂ සමඟ සරත් ෆොන්සේකා මහතා එක්වූයේ ඇයිද කියා අද මහජනතාව සරත් ෆොන්සේකා මහතාගෙන්ම ප්‍රශ්න කරති.


සරත් ෆොන්සේකා මහතා ගාස්තුව ඉල්ලා සිටින ආකාරයට ගෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, ජයන්ත වික්‍රමරත්න, සරත් වීරසේකර යන මහත්වරුනුත් ගාස්තුව ඉල්ලා සිටියේ නම් ඇතිවන තත්ත්වය කුමක්ද? “මට ජනාධිපතිකම, මට අගමැතිකම, මට ආරක්ෂක ඇමතිකම, යනුවෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඉල්ලා සිටියා නම් එය කොතෙක් දුරට සාධාරණද? නියම රාජ්‍ය සේවකයකුගෙන් බලාපොරොත්තු විය යුත්තේ එයද? රට වෙනුවෙන් සුවිශේෂී කාර්යයභාරයක් කළ පමණින් තනතුරු තාන්න මාන්න ඉල්ලීම කොතෙක්දුරට සාධාරණදැයි සොයා බැලිය යුතුය. සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද ලබාදුන් බව අමතක නොකළ යුතුයි.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට වසර ගණනාවක් තිස්සේ තිබූ අඩුපාඩු ගැන සොයා බැලුවේ වත්මන් ජනාධිපතිවරයා හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය. උණ්ඩයේ පටන් මේස්කූට්ටම දක්වා ආරක්ෂක අංශ සාමාජිකයන්ට අවශ්‍යව තිබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක්ම පසුගිය කාලයේ ;ගන්වූ ඒවාය.


රණවිරු සුබසාධනය ගැන වැඩිපුරම සොයාබැලූ ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකිය. එය සමස්ත රණවිරුවන් මෙන්ම මහජනතාවද ඉතා හොඳින්ම දන්නා කරුණකි.


එවැනි ආරක්ෂක ලේකම් වරයකුට අභූත චෝදනා එල්ල කිරීමට සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ,රවුෆ් හකීම්, මනෝ ගනේෂන් යන මහත්වරුන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම කණගාටුදායකය. මේ යථාර්ථය සරත් ෆොන්සේකා මහතාට නොතේරුණාට මහජනතාව නම් තේරුම්ගෙන අවසන්ය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාතිකමක් ගෑවුණු කිසිවකු යම් නිවසක් ඉදිකරන්නේ නම් එය කළ යුතුව ඇත්තේ ඉතා පරිස්සමෙනි. නැත්නම් එය රාජපක්ෂලාගේ මාලිගාවක් වශයෙන් නම් කිරීමට අන්ත අසරණවී සිටින විරුද්ධ පක්ෂය පැකිලෙන්නේ නැත.


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඈතම ඥාතියකුට පාරක් කපා ගැනීමටවත් කාණුවක් කැපීමට හෝ අඩුම ගණනේ තාප්පයක් සෑදීමටවත් නොහැකිය. එසේ කළහොත් ඊට මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්ෂය සූදානම්ය.


“ඇපලෝ රෝහල ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිලදී ගෙන, බලපොකුණ මාර්ගයේ මාලිගාවක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හදනවා, කුරුණෑගල පැත්තේ වත්තක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිලදී අරන් ”යනුවෙන් පසුගිය දිනවල දිගින් දිගටම විරුද්ධ පක්ෂය මඩ ප්‍රහාර එල්ල කළේය. මේ මඩ ප්‍රහාර ගැන හොඳීන් කරුණු සොයා බැලූවිට පෙනී යන්නේ මේ චෝදනා මඩ ප්‍රහාරවලටත් වඩා එහාගිය මඩ ගොහුරු බවයි.


අතේ මඩ තැවරීම


ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇපලෝ රෝහල මිලදී නොගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයද අවධාරණය කරයි. බලපොකුණ පාරේ ඉඳී කෙරෙමින් පවතින්නේ සුප්‍රසිද්ධ රෙදිපිළි ව්‍යාපාරයක හිමිකරුවකුට අයත් නිවසක්ය. කුරුණෑගල පැත්තේ වත්තක් තමන් මිලදී ගෙන ඇත්නම් එය ඔප්පු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝග කරයි.


එපමණක් නොව ස්වර්ණවාහිනිය බැසිල් රාජපක්ෂ මහතා මිලදී ගත් බවටද කටකතාවක් පසුගිය දිනවල ප්‍රචාරය කළේ විරුද්ධ පක්ෂයයි. ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ජීවක එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ එය පට්ටපල් බොරුවක් බවයි.

අතේ පැලවෙන බොරු චෝදනා එල්ල කරමින් විපක්ෂයට මේ මෝඩ චූන් එක ජනවාරි 26 වෙනිදා වෙනතුරු විදිය හැකිය. එදිනට ලබාදෙන ඓතිහාසික මහජන තීන්දුවෙන් මේ මඩ ප්‍රහාර, බොරු චෝදනා සියල්ල අසත්‍ය බව ඔප්පුවනු නිසැකයි.


ජනාධිපතිතුමාට තිබෙන සුදුසුකම් සියල්ල සරත් ෆොන්සේකා මහතාටද තිබෙන බව පෙන්වීමේ අසාර්ථක උත්සාහයක විපක්‍ෂය නිරතවේ. පෞරෂ්‍ය, එඩිතරභාවය, දකුණේකම, ජාතික ඇඳුම, උඩු රැවුල යන කරුණු දෙදෙනාටම පොදු බව පෙන්වීමට විරුද්ධ පක්ෂයේ ඇතමෙක් උත්සාහ දරති. නමුත් මේ සන්සන්දනය කොතෙක් දුරට සාධාරණද යන්න විරුද්ධ පක්ෂයට තබා සරත් ෆොන්සේකා මහතාටද නොතේරීමකනගාටුවට කරුණකි.

සරත් ෆොන්සේකා මහතාට 40 වසරක කාලයක් යුදබිමේ අත්දැකීම් තිබූ නිසා ඔහුට හොඳම තනතුරවන යුද හමුදාපතිධූරය සඳහා ඒ මහතා පත් කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය. එසේ නොවුණානම් ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම වෙනත් යුද හමුදාපතිවරයකු යටතේ වුවද සිදුවන අතර සරත් ෆොන්සේකා මහතාට එවිට සිදුවන්නේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමටය.
නමුත් මේ යථාර්ථය සරත් ෆොන්සේකා මහතා තවමත් තේරුම් ගෙන නොමැත. ඔහු සිතන්නේ ඔහුට පමණක් ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට හැකිවූ බවයි. එමනිසා එහි මුළු ගෞරවයම ඔහුට ලබාදී ඔහු රටේ ජනාධිපතිධූරයට පත්කළ යුතු බව සරත් ෆොන්සේකා මහතා ඉතා දැඩිව සිතාගෙන සිටී.

සරත් ෆොන්සේකා මහතාට වැරදුණේ මෙතනදීය. එක්කෝ සරත් ෆොන්සේකා මහතා ප්‍රභාකරන් මැරුණට පසුව ජනාධිපතිධූර අපේක්‍ෂකවීමට සිතා සිටියාද? එසේත් නොමැතිනම් රනිල්, මංගල, හකීම්, මනෝ ගණේෂන්, ටිල්වින්ලා එක්ව සරත් ෆොන්සේකා මහතා මුරුංගා අත්තේ තබා ජනාධිපතිධූර අපේක්‍ෂකමට ඇන්දෙව්වාද?


යමෙකු වීරයකු හෝ දුෂ්ඨයකු හෝ දේශප්‍රේමියකු හෝ දේශද්‍රෝහියකු බවට පත්කරන්නේ ඉතිහාසයයි. ඒ සඳහා යම් කාලයක්ද අවශ්‍යවේ. සරත් ෆොන්සේකා මහතා ඇත්තටම ජනාධිපතිවරණයට තරග කරන්නේ කුමන අරමුණකටද? කියා ඔහුවත් තවම නොදන්නවා ඇත. ජනාධිපතිවරණය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා බලන්නේ එක් කෝණයකිනි. ඔහුට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව පක්ෂ නායකත්වය රැකගැනීමය.


ඒ සඳහා බිල්ලට දීමට හොඳ අපේක්ෂකයෙකු රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇත. මංගල සමරවීර මහතා දෙකේ කාසියට වැටී වැලේවැල් නැතිව සිටින අවස්ථාවක පිදුරුගහක හෝ එල්ලී ගොඩඒමට වලිකමින් සිටී. එම නිසා ඔහු සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් කඩේ යන්නේ වෙන විකල්පයක් නොමැති නිසායි.


මනෝ ගණේෂන් මහතාගේ අරමුණ පැහැදිලිය. ඔහු කොන්දේසියක් වශයෙන්ද සරත් ෆොන්සේකා මහතාට එය ඉදිරිපත් කර ඇත. දැනට බන්ධනාගාරගතව සිටින ද්‍රවිඩ රැඳවියන් නිදහස් කළ යුතුයි යනුවෙන් ඉදිරිපත් කර ඇති එම කොන්දේසියට සරත් ෆොන්සේකා මහතාගෙන් කිසිම හාවක් හූවක් නැත. සරත් පොන්සේකා මහතා සිටින්නේ එම කොන්දේසිය නෑසුණු ගානටය. මේ බරපතළ කොන්දේසි පිළිබඳව සරත් ෆොන්සේකා මහතා නිහඬව සිටීමද බරපතළ ගැටලුවකි.


වැරැදි තේරීම


ජනතා විමුක්ති පෙරමුණද සරත් ෆොන්සේකා මහතා තෝරාගත්තේ එල්ලෙන්නට වැලක් සොයමින් සිටින අවස්ථාවේදීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඡන්ද ලක්ෂ 3ක්වත් ලබාගැනීම සැකසහිතය.


එමනිසා ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යවී ඇත්තේ කෙසේ හෝ කාගේ හරි එල්ලී ඇපය බේරාගනිමින් පරාජය වසාගැනීමටය. එමනිසා ඔවුන්ට තෝරාගැනීමට සිදුවූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාය.


නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෝරාගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයකට අවශ්‍යවී තිබුණද එම පක්ෂයේ නායකයෝ ඊට අකමැතිවූහ. ඊට හේතුවූයේ එම නායකයන්ට රෙදි ඇඳගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවීමට නොහැකිවීමයි.


පසුගිය යුද ජයග්‍රහණ ලබාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්‍රියාකරනවිට එක්සත් ජාතික පක්ෂයට අමතරව ඊට බාධා කළ අනෙක් දේශපාලන පක්ෂය වනුයේ ජනතා විමුක්ති පෙරමුණයි. එමනිසා ඔවුන්ට රෙදි ඇඳගෙන යළි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමුවීමට යා නොහැකිය.


ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ප්‍රකාශ කරනුයේ තමන්ගේ අපේක්ෂකයා සරත් ෆොන්සේකා මහතා බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනුයේ මීළඟ ආණ්ඩුව ඔවුන් පිහිටුවන බවයි. මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ මීළඟ ආණ්ඩුවේ විධායක අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.


නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටිනුයේ අගමැතිවරයා සඳහාද නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු නම් කරන බවයි. ෆොන්සේකා මහතාට සහාය ලබාදෙන මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ප්‍රකාශ කරන්නේ ඉතා බරපතළ පරස්පර කතාවකි. මේ ප්‍රශ්නවලට පිළිතුරු මේ දේශපාලන පක්ෂ දෙකේම ජනතාව බලා සිටියද එම පක්ෂවල නායකයන්ගේ නිහඬතාවයෙන් පෙනී යන්නේ විපක්ෂයේ ඒකාබද්ධ සන්ධානය අවුල් ජාලයකට පත්ව තිබෙන බවයි.


මේ අතර සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ඔහු පිළිගන්නා බවයි. මේ කතාවට ජනතා විමුක්ති පෙරමුණ තවම ප්‍රතිචාර දක්වා නැත.


එමඟින් පෙන්නුම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික රටාව පිළිගෙන ඇති බවක් නොවේද? එමනිසා මේ පරස්පරතාවන්ට කඩිනමින් පිළිතුරු අවශ්‍ය වුවද ජෙනරාල් ෆොන්සේකා මහතා දක්වන්නේ නිහඬතාවයකි.


එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් එකම වේදිකාවකට නැගීමටද තීරණය කර ඇත. කිසිඳු ප්‍රතිපත්තිමය කරුණු නොමැතිව මේ සිදුකරන්නේ මහා පාවාදීමක් නොවේද? 1988-89 භීෂණ සමයේදී ඝාතනය කෙරුණු තරුණ තරුණියන්ගේ පවුල්වල ඥාතීන් මේ පාවාදීම ඉවසා සිටින්නේ කෙසේද? ඒ වගේම ඒ කාලයේදී මරා දැමුණු එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ පවුල්වල ඥාතීන්ද මේ පාවාදීම ඉවසා සිටින්නේ කෙසේද?


බෙදුම්වාදයේ සෙවණැලි


කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ ද බෙදුම්වාදයේ සෙවණැලි තවමත් තැන් තැන්වල දක්නට ලැබේ. ඉදිරියේදී එම බෙදුම්වාදී සෙවණැලි සම්බන්ධයෙන් ගනු ලබන පියවර සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා මුනිවත රකිමින් සිටී.


රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින බෙදුම්වාදී බලවේගවල රූකඩයක් බවට පත්ව ඇති නිසාද සරත් ෆොන්සේකා මහතා නිහඬව සිටින්නේ යන පැනය මතුවීම වැළැක්විය නොහැක. හකීම්ලා, මනෝ ගනේෂන්ලා වැනි මහත්වරුන්ගේ අතේ නැටවෙන රූකඩයක් බවට සරත් ෆොන්සේකා පහතා පත්ව තිබීම කනගාටුවට කරුණකි.


එස්.එෆ් (S.F) මෙහෙයුම ඇරඹෙයි යනුවෙන් රටපුරා දියත්කළ පෝස්ටර් ව්‍යාපාරය සැබෑ අරමුණ කුමක්ද? යන්න පැහැදිලි වූයේ පසුගිය 05වෙනිදා වැලිසරදී ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදීන්ට එල්ල කෙරුණු මැර ප්‍රහාරයන්ගෙන්ය.


යහපාලනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම,මාධ්‍ය නිදහස රැකගැනීම වැනි කරුණු ගැන ෆොන්සේකා, රනිල්, මංගල ඇතුළු මහත්වරුන් ජනතාව හමුවේ බෙරිහන් දෙනවිට රැස්වීමට පැමිණි පාක්ෂිකයන් මෙසේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම ලොකුම විහිළුවකි.


එමනිසා එස්.එෆ්. මෙහෙයුම ආරම්භ කරමින් මාධ්‍යවේදීන්ට සැලකූ® හැටි සමාජයටම හොඳ පාඩමකි. එම නිසා වගකිවයුතු සියලු දෙනා රට ගැන මහජනතාව ගැන සිතන්නේ නම් ෆොන්සේකා මහතා සිටින පිල සිදුකරන කියුම් කෙරුම් දෙස එක්වරක් නොව දහවරක්වත් හොඳින් සිතා බැලිය යුතුයි.


මේ පිල සෙල්ලම් කිරීමට සූදානම් වන්නේ රටේ අනාගතය සමගය. නමුත් 40 වසරකටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් අවබෝධයක් ඇති රට ජාතිය ගැන හිතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළිත් වරක් මේ රට බේරගන්නවා සිකුරුයි. පොදු මහජනතාවගේ පැතුමද එයමය.


ජනතා මිත්‍ර

1 comment:

  1. SF shows a poor personality for the position of our national leader.Clueless about most of the issues.
    He is busy with mud slinging activities.

    But so far,MR has not made any personal-comments against these propaganda people.

    Just learn SF what is the matured personality!

    ReplyDelete