Sunday 27 December 2009

බේසමේ වතුර සමග දරුවත් වීසි කරමුද ?

මේඝ

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් "සන්ඩේ ලීඩර්" පුවත් පතට කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය තවමත් ඇවිලෙමින් තිබේ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලීමක්‌ද කර තිබිණි. තමන් විසින් කරන ලද ප්‍රකාශය වැරදි ආකාරයට සන්ඩේ ලීඩර් පුවත් පත පළ කර තිබුණු බව ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන වාතාවරණය යටතේ වුවද ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට වුවමනා විය. එයට සාධාරණ පසුබිමක්‌ද ඇත.ශ්‍රී ලංකාවේ තිස්‌ වසරක ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ භූමිකාවේ සේනාධිනායකයා හා ඔහු යටතේ සිටි හමුදා ප්‍රධානියා අද ද්වන්ද සටනකට එළඹ සිටිති. ඒ සටනේ යුදමය මෙහෙයුම් කළ බවට සාඩම්බර ප්‍රකාශ කරන ජෙනරාල් ෆොන්සේකාගේ මුවින් යුද්ධය පිළිබඳ කෙරෙන ඕනෑම ප්‍රකාශයක්‌ එහි සත්‍යය කුමක්‌ද යන්න නොවිමසාම භාර ගැනීමට වැඩි දෙනෙක්‌ සූදානම්ව සිටිති. එහි අසාධාරණයක්‌ද නැත.


ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාව ඉදිරිපත් කිරීමට බටහිර රටවල් දැක්‌වූ උනන්දුව ජෙනරාල් ෆොන්සේකාද නොදැන සිටීමට හේතුවක්‌ නැත. ජනාධිපතිවරයාට බටහිරෙන් එල්ලවූ ගර්ජනය කෙතරම්දැයි ප්‍රකාශ කිරීමට අද ජෙනරාල්ගේ දිව නොනැමුනත් ඔහුට ඔහුගේ හෘදය සාක්‌ෂියෙන් ඒ බව අසා දැන ගත හැකිය. ඒ නිසා යුද මෙහෙයුමේ ප්‍රබල චරිතයක්‌ වූ ජෙනරාල් සිය සෙසු නිලයන්ට මෙන්ම තමන්ට අසීමිත ලෙස සහාය දුන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද අළලා කරනු ලබන ප්‍රකාශයකදී පරික්‍ෂාකාරී විය යුතුව තිබිණි.


වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග එක්‌වී තිස්‌ වසරක්‌ මුළුල්ලේ දියත් වූ ජන ඝාතක, ජනපීඩක, ම්ලේච්ඡ ක්‍රියාවලියෙහි වගඋත්තර කරුවන් වන නඩේසන්, පුලිදේවන් හා රමේෂ් මරා දැමීම ගැන කිසිවෙක්‌ උදහස්‌ නොවීම සාමාන්‍ය දෙයකි. එය පොදුජන අදහස අනුව නම් ගමක චණ්‌ඩියකු හෝ පාදඩයකු පොලිසිය විසින් මරා දැමීමකට වඩා වෙනසක්‌ නැති සිද්ධියකි. ප්‍රභාකරන්ගේ මරණය ඇසූ බොහෝ දෙනෙක්‌ රතිඤaඤ පත්තු කරමින් ප්‍රීතිඝෝෂා කළ බවද ඇත්තය.


ප්‍රභාකරන් වෙනුවෙන් යුක්‌තිය ඉල්ලනා ඔහුට පක්‍ෂ වූ පිරිසක්‌ වූහ. මේ අය අතර කිසිම දවසක පන්සලකට නොයන හා කලාතුරකින්වත් පන්සිල්ද නොගන්නා ඇන්ජීඕ කාර සිංහල බෞද්ධයෝද වූහ. ඔවුහු එය බුදුදහමේ එන කරුණාවට හා දයාවට නොගැලපෙන්නක්‌ බවද කීහ. තවත් එන්ජීඕ සට්‌ටඹියෝ අංගුලිමාල කතාවද මතක්‌ කර දුන්හ. සිංහල බෞද්ධ ජන විඥානය සතුරාට වුවද අනුකම්පා කරන්නක්‌ වුවද මේ මෘගයාට නම් කිසිම තෙත් බවක්‌ පෙන්වීමට මැලි වීමද අපට නම් තේරුම් ගත හැකිය.


මේ කිසිවක්‌ බටහිරයෝ නොසලකති. ප්‍රභාකරන් හා ඔහුගේ පවුලත් ඒ ත්‍රස්‌තවාදී නඩයත් බේරා ගෙන රටින් පිට කර ගැනීම ඔවුන්ගේ එකම අභිලාෂය විය. එහෙත් ඔහුගේ අපරාධයට මේ වර්ගයේ දඬුවමක්‌ ලැබීම බටහිරයන්ගේ කනස්‌සල්ලට හේතු විය. බටහිරයන්ට අල්කයිඩා නායකයා ඝාතකයකු වුවද ප්‍රභාකරන් විමුක්‌ති නායකයකු වීම එයට හේතුවයි. අනිත් අතට ජනාධිපති මහින්දගේ දැඩි අධිෂ්ඨානයත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභයගේ විශිෂ්ට යුද කළමනාකාරණයත් අභිබවා යැමට බටහිරයන්ට ශක්‌තියක්‌ තිබුණේද නැත. එනිසා ඔවුන් පශ්චාත් යුද සමය දෙස විමසිල්ලෙන් බලා සිටියේ කොතනකින් හෝ පොටක්‌ පාදා ගැනීමටය. එහෙත් ඔවුන්ට සිදු වූයේ වන්නියට ගොස්‌ ජනාධිපතිගේ කපන්නට බැරි අත සිඹ ආපසු යැමටය.


ජෙනරාල්ගේ කාල බෝම්බය පත්තු වන්නේ මේ සියල්ලට පසුවය. එක්‌සත් ජාතීන්ට සිය ඉලක්‌ක වෙත යැමට දොරටුවක්‌ විවර වන්නේ ඔහුගේ මෙම මුග්ධ ප්‍රකාශය නිසාය. ජෙනරාල් මෙම අනාවරණය කරන්නේ තමන්ද පාර්ශ්ව කරුවකුව සිටි රටේ ජාතික වගකීම පිළිබඳ දැනසිටි ඉහළම යුද නිලධාරියකු ලෙස බවවත් ඔහුට මතක්‌ වී නැත. එය කිලිනොච්චියට මැදවච්චිය කීම හෝ අලිමංකඩට පාමංකඩ කීම වැනි හෝ තකතීරු දේශපාලන ඇනුම්පදයකට වඩා එම ජාතික මෙහෙයුමේ බුද්ධියට හා හදවතට එල්ල කරන ලද ප්‍රහාරයක්‌ බව ඔහුට සිහිවී නැත.


ජෙනරාල් අද අත්වැල් බැඳ ගෙන සිටින නඩය මෙම යුද්ධයට පමණන් නොව තමාටද සරදම් කළ නඩයකි. ගැලවීමේ හමුදාවකට තරම් වත් සුදුසුකමක්‌ නැති තමන් මේ රටේ ඉහළම විධායක ධුරයට හෙවත් රාජ්‍ය නායකයා ලෙස සුදුසු වන්නේ කෙසේදැයි ජෙනරාල් නිකමටවත් ඒ කිසිවකුගෙන් විමසන්නේද නැත. ඒ ඔහුට නිර්මාණය කර දී තිබෙන සිහින ජනාධිපති ඔටුන්න නිසාය.


ප්‍රභාකරන්ගේ දකුණත බඳු තමිල් සෙල්වම් ඝාතනය වූ අවස්‌ථාවේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පවා හඬා වැටුණු රවුෆ් හකීම් අද ජෙනරාල් සමගය. හකීම් එදා කියා සිටියේ තමන්ට සහෝදරයකු වියෝ වූවක්‌ වැනි සෝකයක්‌ දැනුනු බවකි. එසේම හකීම් යනු ප්‍රභාකරන් සමග ගිවිසුමක්‌ද අත්සන් කළ අයෙකි. මනෝ ගනේෂන් ඊලාම් ධජය ඔසවා ගෙන කැනඩාවේ කොටි සමග පෙලපාලි ගිය අයෙක්‌ බවද ප්‍රකටය. රනිල්ගේ සටන් විරාම ගිවිසුම හා මංගලගේ කුප්‍රකට තවලම් හා දුගඳ නෙළුම්ද අද ජෙනරාල්ට අමතකය.


පල්හොරුන්ගේ ඇසුරට වැටුනු පුංචි ගිරාපෝතකයා හොරුන්ගේ සියලු දුර්ගුණ වැළඳ ගත්තාක්‌ මෙන් ජෙනරාල් නමැති දේශපාලන ගිරා පෝතකයාද වල්මත්ව ගිය සෙයකි. මේ වර්ගයේ අවදානම් ප්‍රකාශවලින් සිය ප්‍රතිවාදී කඳවුරට දමා ගසන්නට ඔහු පෙළඹවූ කිසිවෙක්‌ සිටිත්දැයි තවම හෙළිවී නැත. එහෙත් ඔහුට කට පාලනය කර ගැනීම නම් දුෂ්කර වී තිබේ. එයින් ඔහු, ඔහුගේ සටන් පෙරමුණ පමණක්‌ නොව රටද අපහසුවට ලක්‌වන බව ඔහු නොදනී.


ජෙනරාල් විසින් කරන ලද ප්‍රකාශය ඔහු විසින්ම ආපසු කැඳවා තිබීමෙන් ඔහුටද තමන් කළ දේ පිළිබඳ තරමක හෝ වැටහීමක්‌ ඇතිවී තිබෙන බවද පෙනේ. අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක්‌ද කළේය. එහි හරය වූයේ දැන් ඔහු මොන දේ කීවත් එහි අනතුර පහවී නොවන බවය. ශ්‍රී ලංකාවේ හමුදාවට විදේශයකට යැමට හෝ, එතෙර අධ්‍යාපනයක්‌ ලැබීමට යැමට හෝ මෙයින් උද්ගතවූ තත්ත්වය බාධාවක්‌ වන බව අගමැතිවරයාගෙන් අවධාරණය විය.


ජෙනරාල්ගේ වගකීමෙන් තොර ප්‍රකාශ ඔහුගේ දේශපාලන අපරිණත බව පෙන්වන ලකුණුය. ඔහු 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඔබ්බට යන විසඳුමක්‌ ගැනද කතා කර තිබිණි. යුද සමයේදී ඔහු කැනඩා පෝස්‌ට්‌ පුවත් පතට කියා තිබුණේ ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රටක්‌ බවත් දෙමළ හා මුස්‌ලිම් ජනයා අනවශ්‍ය ඉල්ලීම් නොකර ඔවුන් සමග සමගියෙන් ජීවත් වීමට උත්සාහ කළ යුතු බවත්ය. මේ අදහස්‌ දෙක කෙතරම් පරස්‌පර විරෝධී වන්නේද? 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන ඔහුගේ විසඳුම කුමක්‌ද? එහි ව්‍යහය හෝ එහි අනතුර ඔහු දන්නෙහිද?


පුදුමයකට මෙන් ඔහු ඒ පිළිබඳ නිදහසට කරුණු ලෙස කියා තිබුණේ තමා කළ ප්‍රකාශය විකෘතිවී පලවූ බවය. මේ කුමක්‌ද? කරන කරන ප්‍රකාශ වැරැදියට පල වන්නේ නම් ඔහු තේරුම් බේරුම් ඇතිව ලියාගෙන යමක්‌ කීම වඩාත් සුදුසුය. ඔහු තවත් ආකර්ෂණීය දේවල් කියයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු. 10,000/- කින් වැඩිකිරීමද එවැන්නකි. එහෙත් දූෂණය අඩුකිරීමෙන්ම ඔහුට මේ මුදල් සොයා ගත හැකි යෑයි කීම විහිළුවක්‌ පමණි.


ජෙනරාල් ෆොන්සේකා යුද කලාවෙහි පාරප්‍රාප්ත වූවෙක්‌ බවට තිබෙන පිළිගැනීම පවා ඔහු විසින් කරනු ලබන මෙබඳු ප්‍රකාශ නිසා බිඳ වැටේ. සැබැවින්ම ඔහු කර ඇත්තේ ඔහුගේ නිවසට ගිනි තබා එයින් ගිනි ගැනීම වැනි මෝඩ ක්‍රියාවකි. දේශපාලන නූල් සූත්තර කාරයන්ගේත්, ජාතික සංස්‌කෘතික අනන්‍යතාව වලිගයෙන් අල්ලාගත් අනුකාරක බමුණු කුලයේත් රූකඩයක්‌ බවට පත්ව සිටින ජෙනරාල් ලවා නුදුරු අනාගතයේදී බොහෝ දේවල් කතා කරවා ගැනීමට බටහිරයන්ට ඕනෑ විය හැකිය. ඔහුගේ මුවින් ගිලිහී වැටෙන අනතුරුදායක වචන ගැන බටහිරයෝ මොන තරම් අපේක්‍ෂා සහගතව බලා සිටිත්දැයි කිසිවකුට කිව නොහැක. දෙමළ නිජබිම් මිත්‍යාව ඔස්‌සේ ගලා ආ නෝර්වේ හා ස්‌විස්‌ මුදල් දීමට ප්‍රභාකරන් අද නැත. එහෙත් ඒ මතවාදය යළි පණගැන්වීමට රූකඩ නායකත්වයක්‌ද බටහිරට ඕනෑ වී තිබේ.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කිසිසේත් ඒ කටයුත්තට සුදුසු නොවන බව බටහිරයෝ දනිති. අද ජනාධිපති රාජපක්‍ෂට එරෙහිව ඔහුගේ යුද සෙන්පතියකු ජනාධිපති සටන් බිමට එවා ඇත්තේ කවුද? කෙසේද? යන ප්‍රශ්න වලටද අපට තවම පිළිතුරු නැත. විධායක ජනාධිපති ක්‍රමය විසින් උදුරා ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම නමැති ආකර්ෂණීය සටන් පාඨය පෙරට දමා ගත් ජ. වි. පෙ. ද තමන් එක්‌ව සිටින පිල ගැන මීට වඩා තක්‌සේරුවක්‌ කළ යුතුව තිබිණි. මුහුණට අකමැතිව නාසය කපා ගැනීමට ඔවුහු පෙළඹී සිටිත්ද?


අපට ජ. වි. පෙ සහෝදරවරුන්ට මාක්‌ස්‌ගේ කියමනක්‌ම උපුටා දැක්‌විය හැකිය. එනම් මිනිසා තමාගේ ක්‍රියාවල ප්‍රතිඵලය භාරගත යුතුය යන මාක්‌ස්‌ගේ අදහසය. ජෙනරාල් ෆොන්සේකා විසින් ඇති කරන ලද ව්‍යාකූලත්වයට හා ප්‍රතිවිරෝධී අදහස්‌වලට ද ජාතියක්‌ වශයෙන් අප කාටත් උත්තර බැඳීමට සිදු වී තිබෙන බවද කිසි ලෙසකින් සැඟවිය නොහැකි සත්‍යයයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා එක්‌ පසෙකින් ජනාධිපති රාජපක්‍ෂට එරෙහිව සූදානම් කෙරෙන අතර තවත් පසෙකින් හිටපු අග විනිසුරු සරත් එන් සිල්වාද තවත් කඳවුරක සිට බුද්ධිමය ප්‍රහාරයක්‌ එල්ල කිරීමද අරඹා තිබේ. ජනාධිපති මහින්දට සරත්ලා සතුරුව සිටිත්ද යන ප්‍රශ්නයට වඩා බරපතල ප්‍රශ්න රැසක්‌ එයින් නැගෙයි. 78 රට කරවන ලියවිල්ල යළි කියවමු යන හිසින් කෙරෙන එම විමසීම ජනාධිපති රාජපක්‍ෂගේ දේශපාලන හැසිරීම් පිළිබඳ ඉතා සියුම් හා බරපතල විවේචනයක්‌ බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ.


හිටපු අග විනිසුරු සරත් එන් සිල්වාගේ නීති විශාරදත්වයට කිසිවකුට අභියෝග කළ නොහැක. මේ රටේ අධිකරණ ක්‍ෂෙත්‍රයේ උත්තරීතර හා ගෞරවනීය භුමිකාව හෙබවූ ඔහු විසින් විධායකය අරභයා කරනු ලබන අනාවරණයන් බුද්ධිමය සමාජ අධ්‍යාත්මයට කෙරෙන ප්‍රබල ඇමතුමක්‌ වැන්න.


පසුගියදා ඔහු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අලුත්ම රුපියල් දාහේ නෝට්‌ටුව ගැනද විග්‍රහයක්‌ කළේය. ජනාධිපති රාජපක්‍ෂගේ රුව මෙන්ම වැරදි අයුරින් යොදා ගන්නා ලද ජාතික කොඩිය ගැනද ඔහු විසින් කරන ලද විවේචනය ප්‍රබල විය. එසේම ජනාධිපති රාජපක්‍ෂගේ සංග්‍රහ මෙන්ම ඇමැති ප්‍රදාන පිරිනැමීම් පිළිබඳවද ඔහුට විවේචනයක්‌ විය. මේ සියල්ල සිදු වන්නේ රජයේ අධිකරණ ක්‍ෂෙත්‍රයේ උපදේශකවරයෙකුගේද ඉදිරිපිට ඔහුගේ විග්‍රහයන්ද සමගය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා නගන සමානත්වය අහිමිවීමේ චෝදනාවට ශක්‌තිමත් පදනමක්‌ ලබාදීමට තරම් මෙම රට කරවන ලියෑවිල්ල ප්‍රබලය.

ජනාධිපති රාජපක්‍ෂට එරෙහිව සරත්ලාගේ කඳවුරු දෙකට අමතරව තවත් කඳවුරක්‌ද තිබේ. ඒ කඳවුරට නිර්පාක්‌ෂික විද්වත්හු මෙන්ම මධ්‍යම පන්තිකයෝ සමහරක්‌ද අයත් වෙති. එමගින් එල්ලවන්නේ සහෝදර සමාගම හා ඥාති සංග්‍රහය පිළිබඳ චෝදනාවකි. ජනාධිපතිවරයා සිය බලය යොදා ගනිමින් ජාතික ධනය අයථා ලෙස භාවිත කරන බවත් දේපළ හා වත්කම් රැස්‌ කරන බවත් මේ කඳවුරේ ප්‍රචාරක ව්‍යාපෘතිය වී තිබේ. ඇපලෝ රෝහල මිලට ගත් බවට ඉදිරිපත් වූ පදනම් විරහිත බොරුව දැන් හෙළි වී තිබේ.

ජනාධිපතිවරයා පිළිබඳ අපටද විවේචන තිබේ. අඩුපාඩු වැරදි දූෂණ ක්‍රියා පක්‍ෂග්‍රාහී දේවල් යනු දේශපාලනය වී තිබෙන රටක ස්‌වභාවයද එයයි. එහෙත් ඒවා අනුමත කළ නොහැකිය. ඔහුට සිය දෙවැනි ධුර කාලය තමන් පිළිබඳ වඩාත් සිතා බැලීමට පෙළඹවීම රටට ආදරය කරන අයගේ වගකීමයි. ඔහු නිවැරදි මගට ගත නොහැකි අන්ත දූෂිතයකු නොවන බව තවමත් අපගේ විශ්වාසයයි. ඔහු මේ රටට ආදරය ඇති අවංක ජනතා නායකයෙකි.


වෙල් ඉපනැල්ලේ ඇවිද යා හැකි, ගමක, වන වදුලක චමත්කාරය විඳ ඇති, හීයක, අඩහැරයක මිහිර දත් මේ මහපොළවෙන් මතු වූ රුහුණේ කුරහන් සුවඳ ජාතියට එක්‌ කළ මහින්ද රාජපක්‍ෂ පොදු ජනතාවගේ මිනිසෙකි. අදට මෙන්ම හෙටටත් ඔහු වුවමනාය. බේසමේ තිබෙන අපිරිසිදු ජලය සමග දරුවාත් වීසි කිරීමට නොහැක්‌කා සේ මේ අපිරිසිදු චෝදනා සමග මහින්ද වීසි කළ නොහැකි බව තවමත් බොහෝ දෙනෙක්‌ කියති. සත්තකින්ම අපට වුවමනා බටහිර මොඩලයට වාත්තු කළ ඉංගිරිසි අනුකාරයකු නොව අපේම මිනිසකුය. තීන්දු තීරණ ගත යුත්තේ ඒ සියල්ල විනාශ නොවන ආකාරයටය.

1 comment:

  1. සරත් ෆොංසේකා කියන්නෙ මොනාද කරන්නෙ මොනාද එයාවත් තාම හරියට දන්නෙ නෑ.මහින්ද කියන්නෙ නියම සිංහලයෙක්‌ .නියම සිංහයෙක්‌ සරත් වගේ සිංහ හමක්‌ දාගත්ත හිවලෙක්‌ නෙමෙයි.මොලේ අති ජනතවනී...හිතාපල්ලා අපිට අවශ්‍ය සිංහයෙක්‌ද නැත්තන් හිවලෙක්‌ද කියල..

    ReplyDelete