Thursday 3 December 2009

අහල කියන්නම්! -දිනමිණ කතුවැකිය

දිනමිණ කතුවැකිය

විශ්‍රාමික ෆොන්සේකා මහතා අලුත් න්‍යායයක් හෙවත්් තියරියක්් හඳුන්වා දී තිබේ. ඒ අහල කියන්නම් තියරිය යි. ෆොන්සේකා මහතා ගේ මුල් ම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ තියරිය හඳුන්වා දෙන ලදී. දැන් එය රට පුරා ප්‍රචලිත ය. පාසල් ළමයින් ද අහල කියන්නම් තියරියට කැමැති ය.
එය ප්‍රශ්නවලින් පැනයෑමේ හොඳ ම තියරියක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. ඉහත සාකච්ඡාවේ දී රටේ ප්‍රශ්න විසැඳීම සඳහා තමන් ඉදිරිපත් කරන ආර්ථික ක්‍රමවේදය කුමක් දැ’යි මාධ්‍යවේදියකු විසින් ප්‍රශ්නයක් අසන ලදී. ෆොන්සේකා මහතා ගේ පිළිතුර වූයේ පිටිපස්සෙන් අහල කියන්නම් යන්න ය.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු හා කීර්තිමත් දේශපාලනඥයකු වූ ඉන්දු කුමාර් ගුජ්රාල් මහතා ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ගැන අපූරු කතාවක් කියා තිබේ. එය මෙසේ ය. ‘දසක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කීර්තිමත් නායකයන් පැවැත් වූ දේශන ඔවුන් ගේ ප්‍රභූත්වය මනින මිනුම් දණ්ඩක් බඳු ය.

ඉන්දියානු අපට ඔවුන් ගේ දේශන ඉතා ආකර්ෂණීය විය. වැදගත් විය. මන්ද? ඒවායේ සංවර්ධනය වන රටවල උපදින, විකාශනය වන නව අදහස් ප්‍රකාශ වන බැවින් ය, ෆොන්සේකා මහතා දේශපාලකයකු වුවහොත් ගුජ්රාල් මහතා තමා ගේ නිර්දේශය ඉවත් කර ගනු ඇත.

මහජන නියෝජිතයකු හැබෑ නම්; ඔහුට හෝ ඇයට රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතු ය. රටේ සමාජය ශිෂ්ටත්වයට පත් කරන සමාජ දර්ශනයක් තිබිය යුතු ය. එය නායකයා ගේ දැක් ම ලෙස හැඳින් වේ. සෝවියට් රුසියාව පළමුව ගොඩනැඟුණේ ලෙනින් ගේ දැක්මට අනුව ය.

කියුබාව ගොඩනැඟුණේ පිදෙල් කැස්ත්‍රෝ ගේ දැක්මට අනුව ය. අරාබි ලෝකය ගොඩනැඟුණේ නසාර් ගේ දැක් ම මුල් කරගෙනය. දැක්මක් නැති මිනිසා නිකම් ම හිස් ශරීරයක් පමණි. ඔහු පඹයකු බඳු ය. එබඳු මිනිසකු රාජ්‍ය නායකත්වය ට පත්වුවහොත් උගන්ඩාව ඉඩි අමීන්ට අත්පත් වූවාට වැඩි විනාශයක් සිදුවීමට පුළුවන.

මැතිවරණයකට ඉදිරිපත් වන මහජන නියෝජිතයා තමන් ගේ දැක්ම අනුව පිළියෙළ කරගත් සමාජ – ආර්ථික වැඩපිළිවෙළක් හෙවත් අනාගත සැලැසුමක් මහජනයා අතරට පත් කරයි. එය මහජනයා ගේ කැමැත්ත ඉල්ලා සිටීම සඳහා ඉදිරිපත් කරන පූර්ව කොන්දේසියෙකි.

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන නියෝජිතයා ට එවැන්නක් අත්‍යවශ්‍ය වේ. මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තනය නමින් සැලැසුමක් 2005 දී ඉදිරිපත් කළේ ය. එය මුළු රටේ සියලු අංශ ඇතුළත් වන සේ සකස් කළ වැදගත් ප්‍රකාශනයෙකි. එම වැඩසටහනෙහි ඇතුළත් පොරොන්දුවලින් 80%ක් පමණ ම මේ වන විට සම්පූර්ණ කර තිබේ.

ෆොන්සේකා මහතා ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත් ආර්ථික වැඩපිළිවෙළ ණයට ගන්නා ආකාරයෙකි. ඒ වනා හී ශ්‍රී ලංකාව විනාශ මුඛයට යවන ආර්ථික ප්‍රතිපත්තියෙකි. ඒ මගින් රාජ්‍ය සේවා ව කප්පාදු කරනු ලැබේ.

රටේ සියලු සම්පත් කුණු කොල්ලයට විකුණා දමනු ලැබේ. දේශීය චින්තනය, දේශීය කෘෂිකර්මය විනාශ කරනු ලැබේ. ඒ වෙනුවට ගෝලීය වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පවත්වා ගෙන යනු ලැබේ. ඊට අනුව තරුණ පරම්පරාව එස්. එම්. එස්. ලෝකයක් වෙත තල්ලු කරනු ලැබේ. තරුණ පරපුරට සිහින දැකිය හැකි ය. යථාර්ථයට මුහුණ දිය නො හැකි ය. ෆොන්සේකා මහතා ෆැන්ටසියක ජීවත්වන බව පෙනෙයි.

ලෝකයේ ප්‍රධාන ආර්ථික දර්ශන කිහිපයක් තිබේ. ඒවා විවිධ නම්වලින් විග්‍රහයට ලක් වේ. එක් විග්‍රහයකට අනුව ධනේශ්වර ආර්ථික ක්‍රමය, සමාජවාදී ආර්ථික ක්‍රමය හා මිශ්‍ර ආර්ථික රටාව යනුවෙන් ප්‍රධාන ආර්ථික සම්ප්‍රදායයන් තුනක් පවතී. කුමන තත්ත්වයක් යටතේ වුව රටක් සංවර්ධනය කරා ගෙනයෑමේ දී මූලික ගැටලු තුනක් විසඳාගත යුතු ය. පළමුවැන්න දිළිඳුකම පිළිබඳ ගැටලුවයි.

දෙවැන්න ආදායම් විසමතාව පිළිබඳ ගැටලුවයි. තෙවැන්න රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුවයි. මේ ආර්ථික ගැටලු තුනට විසැඳුම් ලබා දී ඇති ප්‍රමාණයට අනුව රටක සංවර්ධනය තීරණය කළ හැකි ය. ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතත් ඉහත ගැටලුවලට විසැඳුම් ලබාදෙන ආකාරයක් කියා නැත. එය පිටිපස්සෙන් අසා දැනගත යුතු ය.

සංවර්ධනය භාණ්ඩ වලින් ආරම්භ නො වන්නේ ය. එය ආරම්භ වන්නේ් මිනිසුන්ගෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනයෙන් සංවිධානයෙන් හා විනයෙන් ය යනුවෙන් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් කියා තිබේ. සංවර්ධනය ආරම්භ වන්නේ තුවක්කුවෙන් හා බෝම්බයෙන් නො වන බව ද ෆොන්සේකා මහතා ගේ දැනගැනීම සඳහා පෙන්වා දිය යුතු ය.
යුද්ධය යනු ද ආරක්ෂාව සැපයීම යනු ද රටක පාලනයෙන් ඉතා සුළු කොටසෙකි. යුද්ධයෙහි හා ජාතික ආරක්ෂාවෙහි ද දේශපාලන වැඩ කොටසක් තිබේ. එහි අත්දැකීම් පවා ෆොන්සේකා මහතාට නැත.

විශ්‍රාමික ෆොන්සේකා මහතා ගේ අහල කියන්නම් යන තියරිය අනුව පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ඇත්තේ කිසිවකු ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා බව ය.

එය එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඔස්සේ අමෙරිකාවේ එෆ්. බී. අයි. ආයතනය වෙතින් ලබාගත් කොන්ත්‍රාත්තුවක් වන්නට ද පුළුවන. ඒ අනුව ෆොන්සේකා මහතා බලයට පත්වුවහොත් (එසේ වන්නේ නැත) රට පාලනය සඳහා එෆ්. බී. අයි. හෙවත් අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයෙන් උපදෙස් ලැබෙන තෙක් බලා සිටින බව ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොන ගැටලුවට වුව කාගෙන් හෝ අහලා උත්තර කීවේ නැත. එතුමා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට අණ දුන්නේ ද කිසිවකුගෙන් අහලා නොවේ. ෆොන්සේකා මහතා යුද්ධ කළේ නම්; ජනාධිපතිවරයාගෙන් අහලා ය. ඒ නිසා අහලා කියන්නම් තියරිය ඔහුට ඉබේ ම පිහිටන්නට ඇත.

No comments:

Post a Comment