Sunday 20 December 2009

යුද අපරාධ චෝදනාව හෙවත් සුදුකොඩි වෙළදාම

දිවයින
වෙළදාම ගැනවත් වෙළෙන්දෝ ගැනවත් ඒ තරම් දැන හැඳුනුම්කමත් නොතිබුණු කාලෙදි අහල තියෙන කතාවක්‌ තමයි සේරිවාණිජ ජාතකය. පන්සලේ පින්කම් දවසේ පෙන්නන නාට්‍යයටත් ස්‌කෝලෙ විවිධ ප්‍රසංග දවසේ පෙන්නන නාට්‍ය වලටත් පසුබිම් වුණු කතා වස්‌තුවක්‌ තමයි මේ සේරිවාණිජ ජාතකය. ජාතක කතාවේ හැටියට සේරිවාණිජ කියන්නේ හොර වෙළෙන්දාගේ නම. හොඳ වෙළෙන්දාගේ නම කච්ඡපුට. පරිස්‌සමින් මේ හොර, හොඳ දෙක සීරු මාරුවෙන් පැටලෙන්න පටලවා ගන්න ලේසි පද දෙකක්‌. දෙකේම මුලට එන්නේ "හො" යන්න නිසා එහෙම වුණාම හොරා හොද වෙලා හොද හොරා වෙන්න පුළුවන්.සේරිවාණිජ ජාතකයේ කියවෙන කාලෙ වෙළදාම කියන්නේ විසිරුණු පැතිරුණු ආර්ථික ව්‍යාපෘතියක්‌ නෙවේ. වෙළදාමත් තිබුණා හැබැයි සියලු සමාජ, ආර්ථික, දේශපාලන සංස්‌කෘතික මනෝභාව තීරණය කළේ වෙළදාම නොවේ. අද තත්ත්වය වෙනස්‌. සියලු සමාජ, ආර්ථික දේශපාලන, සංස්‌කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍යය, ආගමික යන කී නොකී සියල්ලම කැරකෙන්නේ නටන්නේ වෙළෙන්දා ගහන පදයට අනුව. ඒ කියන්නේ සියලු දේ තීරණය වෙන්නේ වෙළෙඳ තර්කයට අනුකූලව. තවත් විධියකට කිව්වොත් අපි කවුරු කවුරුත් පාලනය කරන, අදහන ආගම බවට පත්වෙලා තියෙන්නේ වෙළදාම. කොයි කොයි ආගමට අපි අයිතියි කිව්වත් අපි හැමෝගෙම ආගමේ ආගම වෙලා තියෙන්නේ වෙළදාගම.



දේශපාලනයත්, වෙළදාමත් අතර සම්බන්ධය කතා කරන්න වෙන්නේ ඔය ඉහතින් කියපු කාරණා ටික ඔලුවෙ තියාගෙන. මේ දවස්‌වල අපේ රටේ ලොක්‌කා හොයන මාරාන්තික තරගය පටන්ගෙන වග ගියවර කොලමේ මං සඳහන් කරා. ඊට අනුබද්ධ තවත් කාරණා ටිකත් කතා කිරීම තමයි මෙවර අරමුණ.


වන ගහණයේ නෑඹුල් තැන් මිනිස්‌ ගඳින් ඉහවහා ගියවිට පරිසරයට සිද්ධවෙන විනාශය ගැන කිව්වේ රතු ඉන්දියානු නායක සියෑටල්. ඒ වගේම තමයි දේශපාලනය වෙළෙන්දන්ගේ ගඳින් ඉහවහා ගියාම ප්‍රගතිශීලී දේශපාලනයට අත්වෙන්නේ බරපතල විනාශයක්‌. මෙතැන වෙළෙන්දන් කිව්වේ ගමේ, නගරයේ කඩ මුදලාලිලාට නෙවේ. දේශපාලනයේ දිග පළල ගැඹුර තීරණය කිරීමට සෘජුව මැදිහත් වන වෙළෙඳ ව්‍යාපාරිකයන් ගැනයි මං අදහස්‌ කළේ.


දේශපාලන වෙළදාම විසින් තීරණය කළාම දේශපාලකයෝ වෙළෙන්දන් බවට සහ අලෙවි කළ යුතු භාණ්‌ඩ බවට පත්වීම අනිවාර්යය කාරණයක්‌. තම පක්‌ෂය හෝ ව්‍යාපාරය හෝ සංවිධානය හෝ එවැනි එකමුතු හෝ තමන්ගේ අපේක්‌ෂකයා (නියෝජිතයා) වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත් කරන්නේ එවැනි තත්ත්වයන් නිසා. එතකොට අපේක්‌ෂකයා වෙළෙඳ භාණ්‌ඩයක්‌ වෙලා. උදව්කාරයෝ අලෙවිකරුවන්, අලෙවිකාරියන් බවටත්, අලෙවි ඒජන්තවරුන් වරියන් බවටත් පත්වෙනවා. මේකෙ අනික්‌ පැත්ත තමයි අපේක්‌ෂකයා හෝ නියෝජිතයා තමා අයිති පක්‌ෂය හෝ සංවිධානය හෝ අලෙවි කරන කෙනා බවට පත්වීම. ඒ කියන්නේ එක පැත්තකින් අපේක්‌ෂකයාත් අලෙවි කරුවෙක්‌ බවට පත්වෙනවා. හරිහමන් විධියට මේ භාණ්‌ඩය අලෙවි කළ හැකි කට්‌ටියත්, කෙනාත් ජයග්‍රාහකයෝ බවට පත්වෙනවා. මේ අලෙවි වැඩේදී අවශ්‍ය වන ප්‍රධාන දේ තමයි අලෙවිකරණය සඳහා ගැලපෙනම උපාය මාර්ග තේරීම. එතැනදි ගොඩක්‌ අනුපාත තියෙන කෙනාට වඩා උපාය මාර්ගික කෙනා සාර්ථක වෙනවා. වෙළෙඳපළත් එහෙමනෙ. කිසිදු ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක වටිනාකමක්‌ නැති බඩු ගුණාත්මක ප්‍රමාණාත්මක වටිනාකම් තියෙන බඩුවලට වඩා විකිණෙන්නේ අලෙවිකරණ උපාය මාර්ගවල සූක්‌ෂම කම නිසා මිසක්‌ ඒ භාණ්‌ඩයේ හොඳකමක්‌ නිසා නොවේ.


මේක පරිස්‌සම් වියයුතු කාලයක්‌. හොඳ බඩු නොවිකිණී නරක බඩු විකිණෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. අපි දැන් කෙලින්ම අද දේශපාලනය ඉහතින් කියපු කරුණු කාරණා සමග ගලපමු. අන්ත අසරණ අඩියකට වැටිල ඉන්න පක්‌ෂ කීපයක්‌ වැටුණු වළෙන් ගොඩ ඒම සඳහා අලෙවි කරගත හැකි දේශපාලන භාණ්‌ඩයක්‌ විධියට විශ්‍රාමික ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා දේශපාලන වෙළෙඳපළට හඳුන්වා දීල තියෙනවා. ඔවුන් මුහුණ දෙමින් ඉන්න ගැඹුරුතම අර්බුදය තමයි මේ අලුත් භාණ්‌ඩය විකුණාගන්නේ කොහොමද කියන ගැටලුව. ඒ සඳහා අලෙවිකරණ උපක්‍රම සෙවීම ඉතාම අසීරු කටයුත්තක්‌ වෙලා තියෙන්නේ දේශපාලන භාණ්‌ඩයක්‌ අලෙවි කිරීම සඳහා යොදාගත යුතු උපක්‍රම ඉතාම සූක්‌ෂම ඒවා වීම නිසයි. එසේම පළපුරුදු අලෙවි භාණ්‌ඩ තියෙන තැනකට නුසුදුසු භාණ්‌ඩයක්‌ යෝජනා කිරීම සරල වැඩක්‌ නෙවෙයි.


විපක්‌ෂයේ පක්‌ෂ තෝරාගත්ත දේශපාලන අලෙවි භාණ්‌ඩය සඳහා වූ අලෙවිකරණ ක්‍රියාවලියේදී ගොඩාක්‌ හැලහැප්පීම සිදුවීමට බලපාන අනික්‌ කාරණය තමයි කිසිදු අයුරකින් පෑහෙන්නේ නැති කල්ලි ටිකක්‌ එකතු වෙලා විපක්‌ෂ සන්ධානයක්‌ හදාගෙන තිබීම. එකෙක්‌ වරද්ද ගත්තම ඒක හදන්න සෑහෙන්න අමාරුවෙන්නේ මේ කෑලිමූට්‌ටු දේශපාලන ලක්‌ෂණය නිසා.


යුද අපරාද පිළිබඳ චෝදනා ජාත්‍යන්තරව ඉදිරිපත් වෙන්න කලින් ඔය චෝදනා වටින් ගොඩින් එළියට දැම්මේ එජාපයත් "ම" පාර්ශ්වයත්, මනෝ ගනේෂන්ලාත් කියන එක කවුරුත් දන්න දෙයක්‌. යුද්දෙ දිගටම යනකොට මේ චෝදනා කිරිල්ල ජාත්‍යන්තර වැඩක්‌ බවට පත්වුණා. දැන් වෙනකොට ජාතික ජාත්‍යන්තර කල්ලි දෙකම පොදු සන්ධානයකට ඇවිල්ලා. පුදුමෙ කියන්නේ හමුදාව සහ ආරක්‌ෂක අමාත්‍යාංශය යුද අපරාධ වලට සම්බන්ධ යෑයි කියන චෝදනාව තහවුරු කරන්න දැන් උත්සාහ කරන්නේ විශ්‍රාමික මාණ්‌ඩලික ප්‍රධානියා වීමයි. ජාත්‍යන්තර මට්‌ටමේදී යුද අපරාධ චෝදනා එල්ල කරන ශූද්ධවන්තයෝ ටික වියට්‌නාමයේ, ඇෆ්ගනිස්‌ථානයේ, ඉරාකයේ, සුඩානයේ, ලතින් ඇමරිකානු මහාද්වීපයේ කරපු සහ කරන යුද්ධ අපරාධවල ප්‍රධාන වගකිවයුත්තෝ. ළමයි හැංගිලා හිටපු බංකරවලට බෝම්බ දාලා ළමයි මරපු, ඉස්‌පිරිතාලවලට බෝම්බ දාපු, පාසල්වලට බෝම්බ දාපු, නගරවලට න්‍යෂ්ඨික බෝම්බ දාලා ලක්‌ෂ ගණනක්‌ ජනයා මරපු, නගරවලට සුදු පොස්‌පරස්‌ සහිත බෝම්බ දාපු මේ උදවිය අද නාලා පිරිසිදුවෙන්න යොදාගෙන තියෙන ගංගානම් ගඟ තමයි තුන්වැනි ලෝකයේ රටවලට එරෙහිව කරන යුද අපරාධ චෝදනාව. ඒ මගින් තමන් කරපු පව් හෝදාගන්න හදනවා.


මේ රටේ හමුදාවට, ආරක්‌ෂක අමාත්‍යාංශයට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන ජාතික එහෙමත් නැත්නම් රට ඇතුලෙ බලවේගත් හරිම ශූද්ධවන්තයෝ කියල හිතාගෙන ඉන්න ගානයි. 1987 - 90 කාලෙදි දකුණේ සිවිල් කැරැල්ලේදී අත්අඩංගුවට ගත් 65,000 කට අධික තරුණ තරුණියන් පිරිසක්‌ මරා ටයර් දමා පුළුස්‌සා දමපු එජාපය අද ඒ අපවිත්‍ර අතීතය පවිත්‍ර කරගන්න භාවිත කරන ගංගා නදිය තමයි මේ යුද අපරාධ චෝදනා. තමන්ගේ දේශපාලනය මතයට එරෙහි ජනයා දහසකට වැඩි ගණනක්‌ ඝාතනය කරපු දේශප්‍රේමි ජනතා බලවේගය මෙහෙයවපු අයත් මේ ගඟට බැහැල තමන්ගේ නායකයන් අත්අඩංගුවට අරගෙන මරාදාපු එජාප ආණ්‌ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව අපරාධ චෝදනා නොනගන්න මේ අය තීරණය කරලා. විඡේවීර, ගමනායක, හේරත්, ආනන්ද, නිශ්මි, සුමිත්, ලියනාරච්චි යනාදී සිය ගණනක්‌ මරල දැම්මේ අත්අඩංගුවට ගන්න යනකොට නොවේ. අත්අඩංගුවට ගත්තට පස්‌සේ. මේවා යුද අපරාධ නොවේද? කොටින්ගේ සියලු තිරිසන් මනුෂ්‍ය ඝාතන අනුමත කරපු ගනේෂන්ලා අද යුද අපරාධවලට එරෙහි අය වෙලා. හිනා නොයන්නේ කොහෙන්ද?


ඉතින් මේ ජාතික යුද අපරාධ කල්ලියයි, ජාත්‍යන්තර යුද අපරාධ කල්ලියයි එකට එකතු වෙලා මේ කරන්නේ ලේ මස්‌ පරිභෝජනය කළ තම තමන්ගේ අතීතය හා වර්තමානය වසා ගැනීමට මිසක්‌ වෙන මොකකටද?


මේ ජාතික කල්ලිය මේ සියල්ල කරන්නේ තමන්ගේ ගොඩ ඒම සඳහා තම අලුත් දේශපාලන භාණ්‌ඩය යහමින් වැඩි දෙනෙක්‌ අතර විකුණා ගැනීමට මිසක්‌ වෙන මොකකටවත් නොවෙයි. ඒ සඳහා පාවාදිය හැකි, අමතක කළ හැකි, අනුභව කළ හැකි, ඇසුරු කළ හැකි කුමක්‌ වේද, යමෙක්‌ වේද ඒ සඳහා නොපැකිළිව ඉදිරිපත් වීමට මොවුන් නොපසුබට වෙති. වෙනසක්‌ ලෙස මහා විනාශයක්‌ සිදුවීමට වඩා වෙනසක්‌ සිදු නොවීම යහපත්ය යන්න මගේ හැඟීමයි. ඉතින් ජාතික ජාත්‍යන්තර අපරාධ කරුවන්ගේ යුද අපරාධ චෝදනාවලට අප දිය යුතු උත්තරය කුමක්‌ද? අශ්වයාගේ නොවේ අසරුවාගේ අරමුණ ගැන සිතන්න.

No comments:

Post a Comment