Saturday 12 December 2009

මිලිටරි නායකයකු ජනපතිවරණයට ඒමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය බිහිසුණු අඩියක -කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඇමැති ඩිව් ගුණසේකර

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර -දිනමිණ


ජනාධිපතිවරණයට මිලිටරි නායකයකු ඉදිරිපත් වීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය, මිලිටරිකරණය වී, මිලිටරිය දේශපාලනීකරණය වන බිහිසුණු වාතාවරණයක් දැන් උද්ගතව තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.දෙස් විදෙස් ප්‍රතිගාමී බලවේග එක්ව තෝරා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට හැකි මිනිසෙකුවයි. ජනතාව මේ කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.


නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම ප්‍රගතිශීලි රජයක් ම පෙරළා දැමීමට කුමන්ත්‍රණ කෙරුණු බව කියන ඇමැතිවරයා, සියලු ප්‍රතිගාමී බලවේග අදත් එක්ව සිටින්නේ ඒ අරමුණ වෙනුවෙන් යැයි ද ප්‍රකාශ කරයි.


ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ කොළඹ, මහවැලි කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේ දීය.


ප්‍රති විරෝධී මතවලින් හෙබි පක්ෂ කීපයක් ප්‍රජාතන්ත්‍රවාදය සහ විධායක ජනාධිපති ධුරය යන පොදු සටන් පාඨ යටතේ එක්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රගතිශීලි පාලනය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.


ජනාධිපතිවරයාට එරෙහිව කඳවුරු බඳිමින් සිටින්නේ අශුද්ධ හවුලක් බවත් වසර හතළිහක් නිල ඇඳුම් ඇඳි අයකුට සියලු බලතල සහිතව රට පවරා දීම ඔවුන්ගේ අරමුණ බවත් පැවැසීය.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව මොවුන් භාවිතා කළ තුරුම්පුව වී ඇත්තේ හමුදා සෙන්පතියා සේනාධිනායකයාට එරෙහිව භාවිතා කිරීම යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ අවස්ථාවට එක් විය.

No comments:

Post a Comment