Saturday 19 December 2009

හොඳ වෘත්තිකයකු වූ පමණින් හොඳ නායකයකු විය හැකිද?

2009 නොවැම්බර් 24 වන දින "දි අයිලන්ඩ්" පුවත්පතේ ඉන්දියානු ලේඛක බී. රාමන් විසින් පළකෙරුණු ලිපියකි. සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ-දිවයින
ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දේශපාලනයට පිවිසීම සඳහා ගෙන ඇති තීරණය, එහි ප්‍රතිවිපාකයන් සහ ඔහු විසින් ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රජාව වෙනුවෙන් කළ යුතුව තිබූ මෙහෙය සම්බන්ධයෙන් බී. රාමන් නමැති ඉන්දියානු දේශපාලන විග්‍රහකරු විසින් ඉදිරිපත්කර ඇති කරුණු ශ්‍රී ලාංකීය ජනතාව විසින් යම්තමින් හෝ අවබෝධ කරගත යුතුය යන පිළිගැනීම මත ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියා ඇති එම ලිපිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම මගේ උත්සාහයයි.ඉන්දීය රජයේ අමාත්‍ය මණ්‌ඩල අතිරේක ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ බී. රාමන් පවසන පරිදි ඉන්දියාවේ "කලිස්‌තානි" ත්‍රස්‌තවාදය සහ ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී ව්‍යාපාරයට දෙරට ඉතිහාසයේ සුවිශේෂ තැනක්‌ හිමිවන්නේ දෙරටෙහිම ආණ්‌ඩුක්‍රම මගින් එම ත්‍රස්‌තවාදීන්ගේ ඉල්ලීම්වලට යටත් නොවී ඔවුන් මර්දනය කිරීමට කටයුතු කිරීම නිසාය. එහෙත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ නම් එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට සහ මුළුමහත් සමාජයට, එල්ලවූ තර්ජනය, ඉන්දියාවේ "කලිස්‌තානි" සංවිධානය මගින් ඉන්දියානු රජයට සහ ජන සමාජයට එල්ලවූ තර්ජනයට වඩා අති බිහිසුණු බවයි. "කලිස්‌තානි" ත්‍රස්‌තවාදීන් මෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය මගින්ද මෙරට භූමිය අත්කර ගැනීමට දැඩි උත්සාහයක්‌ ගැනුණු අතර සිය භීෂණ ක්‍රියා මඟින් මුළු මහත් ජන සමාජයම බියවැද්දීමට සමත් වූ බව සඳහන් කළ යුතුව ඇත.



ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වය අමෙරිකා එක්‌සත් ජනපද හමුදා, "නේටෝ" සංවිධානයේ හමුදා, ඇෆ්ගනිස්‌ථානු ජාතික හමුදාව, ඇෆ්ගනිස්‌ථානය තුළ මුහුණ දුන් තත්ත්වයට සමාන වූ බව සඳහන් කිරීම අතිශයෝක්‌තියක්‌ නොවේ. අද වනතුරුත් "නේටෝ" හමුදාවට හෝ එක්‌සත් ජනපද හමුදාවට "නව තලෙයිබාන්" සංවිධානය මගින් ඇෆ්ගනිස්‌ථානයේ දියත් කෙරෙන යුද්ධ උපක්‍රම හඳුනා ගැනීමට හැකිවූ බවක්‌ පෙනෙන්නට නැත. 2006 වර්ෂය වනවිට අවුරුදු 26 ක්‌ තිස්‌සේ අඛණ්‌ඩව සිය යුද්ධමය ශක්‌ති තහවුරු කරගනිමින් කටයුතු කළ එල්. ටී. ටී. ඊ. සංවිධානය සහමුලින්ම විනාශකර දැමීම සඳහා ශ්‍රී ලංකා රජය මෙහෙය වූ ත්‍රස්‌ත මර්දන යුද්ධ උපක්‍රම ලොව කාගේත් ප්‍රශංසාවට ලක්‌විය යුතුය යන්න මගේ පිළිගැනීමයි.


එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ රජය විසින් දියත් කරන ලද යුද්ධ උපක්‍රමයේ ඉතාමත්ම වැදගත් සාධකය ලෙස මා දකින්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍යය සම්පත් සියල්ලම ශ්‍රී ලංකාවේ හමුදාවන් වෙත නොඅඩුව ලබාදීමයි. එමෙන්ම එම යුද්ධයේ සාර්ථකත්වයට හේතුවූ ඉතාමත්ම වැදගත් සාධකය ලෙස මා දකින්නේ, හමුදා මගින් සිදු කළ මෙහෙයුම් හේතුවෙන්, වෙනදා මෙන් වැඩි වැඩියෙන් දෙමළ ජනතාව සහ තරුණ කොටස්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත තල්ලුවීම වැළැක්‌වීම සහතික කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ රජය විසින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීමයි.


රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්


මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා ප්‍රමුඛ මහින්ද රාජපක්‍ෂ රජයේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් මගින් ගන්නා ලද විවිධ ක්‍රියාකාරකම් ද එල්. ටී. ටී. ඊ. ය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලාභාවයකට පත්කිරීමට සමත්වූ බව කාවිසිනුත් පිළිගත යුතු කරුණක්‌. රජය මගින් ගෙන ගිය මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම හේතුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට ජාත්‍යන්තර වශයෙන් සිදුවූ අවි ආයුධ සැපයුම, සහ මුදල් හදල් සැපයුම, සම්පූර්ණයෙන්ම නතර කර දැමීම සඳහා, ඇමරිකා එක්‌සත් ජනපදය, යුරෝපීය සංගමයට අයත් රටවල් සහ අග්නිදිග ආසියානු රටවල් පොළඹවා ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්වූ බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ හමුදා විසින් ගෙන ගිය මෙහෙයුම්වල සාර්ථකත්වය සඳහා මෙය ප්‍රබල සාධකයක්‌ වූ බව අවධාරණයෙන්ම සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අංශය මගින් ඉහත සඳහන් ආකාරයට කටයුතු නොකළේ නම් එල්. ටී. ටී. ඊ. සංවිධානය මේ තරම් ඉක්‌මනින් විනාශකර දැමීමට හමුදාවනට නොහැකි වන බව මගේ පිළිගැනීමයි.

මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ රජය විසින්, එල්. ටී. ටී. ඊ. මර්දන යුද්ධය ජය ගැනීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාගැනීමේ ඇති වැදගත්කම හොඳින් අවබෝධකොටගෙන ඒ අනුව කටයුතු කිරීම, යුද්ධ ජයග්‍රහණයට, බලවත් හේතුවක්‌වූ බව ද පිළිගත යුතු කරුණක්‌. චීනය සහ පාකිස්‌තානය යුද්ධය සඳහා අවශ්‍ය අවි ආයුධ සැපයුම කළත්, ඉන්දියානු වෙරළාසන්න බළකාය මගින් සහ ඉන්දියානු නාවික හමුදාව මගින් සහ ඉන්දියානු බුද්ධි අංශය මගින්, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අවි ආයුධ ප්‍රවාහනය වළකාලීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් සහයෝගය ඉතාමත්ම වැදගත්වූ බව සඳහන් කළ යුතුව ඇත. මෙම යුද්ධයෙදී ඉන්දියානු රජය මගින් තමිල්නාඩු ප්‍රාන්තයේ එල්. ටී. ටී. ඊ. සංවිධානයට සහාය පල කරන ආකාරයේ දේශපාලන ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඉන්දියානු මධ්‍යම රජය මගින් ගත් පියවර මෙම යුද්ධ විජයග්‍රහණය සඳහා සැලකිය යුතු ආකාරයකට උපකාර වූ බව සඳහන් කළ යුතුව ඇත. මහින්ද රාජපක්‍ෂ, එමෙන්ම ඔහුගේ විදේශ අමාත්‍යාංශය, ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමේ ගෙනයන ලද මෙහෙයුම් මෙම යුද්ධ ජයග්‍රහණය සඳහා ප්‍රබල දායකත්වයක්‌ ලබාදුන් බව පිළිගත යුතු කරුණක්‌. එමෙන්ම මෙම යුද්ධයේදී ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එඩිතර ලෙස සටන් කළ බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක්‌. එල්. ටී. ටී. ඊ. ය බෙලහීන කිරීම සඳහා සංග්‍රාම භූමියේදී සිදුකෙරුණු මෙහෙයුම් සහ උපක්‍රම සම්බන්ධයෙන් ප්‍රශංසාව පාබල හමුදාවේ සෙන්පති සහ පසුකාලීනව මෙරට ආරක්‌ෂක හමුදා මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට පත්වූ සරත් ෆොන්සේකා වෙත නොමඳව හිමිවිය යුතුයි. ශ්‍රී ලංකාවේ හමුදාව එල්. ටී. ටී. ඊ. සංවිධානය පරදවා අත්පත්කරගත් ජයග්‍රහණය ඉන්දියාවේ කලිස්‌තානි ත්‍රස්‌තවාදීන් පරදවා ලත් ජයග්‍රහණයට වඩා පැසසිය යුත්තේ එල්. ටී. ටී. ඊ. සංවිධානය ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය ලෙස පිළිගනු ලැබ තිබූ නිසයි.


මහින්ද රාජපක්‍ෂ රජය එල්. ටී. ටී. ඊ. සංවිධානය මුළුමනින්ම පාලනය කිරීමටත් සිය විධානයට නතුකර ගැනීමටත් සමත්වූ ආකාරයට ඉන්දියාවට කලිස්‌තානි ත්‍රස්‌තවාදී සංවිධානය යටත්කර ගැනීමට නොහැකි වූ බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එයට වෙනස්‌ වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ මෙහෙයවුණ ත්‍රස්‌ත මර්දන ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදුවුණ බව අවිවාදයෙන් සඳහන් කළ යුතුයි.


මේ සියල්ල අවසානයේ ශ්‍රී ලංකා රජය මගින් හමුදාපති සරත් ෆොන්සේකාට ලබාදුන් ත්‍රිවිධ හමුදා මාණ්‌ඩලික නිලධාරී තනතුර ඉතා වැදගත් තනතුරක්‌. ඔහුට මේ තනතුර හොබවමින් ශ්‍රී ලංකාවටත් සෙසු ලෝකයටත් ඉතා වැදගත් සේවයක්‌ කරන්නට ඉඩ තිබුණා. ඔහුට පළමු වශයෙන්ම මුළු යුද්ධය සම්බන්ධයෙන්ම අතීතාවර්ජනයක යෙදෙන්නටත්. එල්. ටී. ටී. ඊ. සංවිධානය පරිණාමය වූ ආකාරයත්, රට තුළ මේ ප්‍රශ්නය පැනනැඟි ආකාරයත්. ශ්‍රී ලංකා රජය එම අභියෝගයට මුහුණ දුන් ආකාරයත් සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිය රටටත් එමෙන්ම මෙවැනි ප්‍රශ්නවලට මුහුණ පා සිටින ඉන්දියාව ඇතුළු කලාපීය රටවලටත් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් තුළින් උගත යුතු පාඩම් කියාදීමට ඉඩ තිබුණා. ඒ භාරදූර කාර්යය ඉටුකරනවා වෙනුවට අද සිදුවී ඇත්තේ රජය මඟින් තමන්ව නොසලකා හැරියේය යන හැඟීම මත කටයුතු කරමින් සරත් ෆොන්සේකා තමන්ට භාරදුන් වගකිවයුතු= තනතුරෙන් ඉල්ලා අස්‌වී ශ්‍රී ලංකා රජයට දෝෂා රෝපණය කිරීමයි. මේ පිළිබඳ නොසතුටට පළකරමින් සරත් ෆොන්සේකා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත යවන ලද ලිපිය මගින් වඩාත් පැහැදිලි වන්නේ ඔහු බුද්ධියෙන් මුහුකුරාගිය පුද්ගලයෙකු නොවන බවයි. ඔහු හොඳ වෘත්තිකයෙක්‌ බව පිළිගතයුතු කරුණක්‌. එහෙත් යමෙකු හොඳ වෘත්තිකයෙක්‌ වූ පමණින්, හොඳ නායකයෙකු වන්නේ නැති බව ද පිළිගත යුතුයි.


දැන් ජනාධිපතිවරණ සටනේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රබල ප්‍රතිවාදියා ලෙස තරග වදින්නේ ද ජෙනරාල්ය. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වශයෙන් ඔහුට එවැනි තීරණයක්‌ ගැනීම සඳහා පූර්ණ නිදහසක්‌ තිබෙන බව අපි පිළිගත යුතුයි. එහෙත් ඔහු විසින් මුලින්ම ජනාධිපතිවරයාට යෑවුණු ලිපිය තුළින් ඔහු තුළ දේශපාලනමය විචක්‌ෂණ බවක්‌ ඇති බව පෙනෙන්නේ නැත. එම මුල් ලිපියෙන්ම පැහැදිලිවන්නේ ඔහු තුළ පවත්නා දැඩි "මමත්වය සහ නොරිස්‌සනසුළු ස්‌වභාවයයි." එම ලිපිය මගින් කියවෙන පණිවිඩය ලෙස පෙනී යන්නේ "මම තමයි යුද්ධයේ සුපිරි වීර යා, යුද්ධයේ ජයග්‍රහණය උදෙසා මගෙන් සිදුවූ කාර්යභාරය සම්බන්ධයෙන් සැලකීමක්‌ සිදුවී නැත" යන පණිවිඩය පමණයි.


බී. රාමන් පවසන පරිදි සරත් ෆොන්සේකාගේ ලිපිය කියවනවිට විශේෂයෙන්ම ඉන්දියානුවෙක්‌ වශයෙන් ඔහුගේ මතකය දිවයන්නේ ඉන්දියාවේ කලිස්‌තානි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සිදු කරන ලද සටන කෙරෙහිය. එම යුද්ධමය සාර්ථකත්වය අත්පත්කරගත්තේ කේ. පී. එස්‌. ජිල් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පොලිසියේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලයේදියි. එහෙත් කලිස්‌තානි ත්‍රස්‌තවාදීන් මර්දනය පිළිබඳ සාර්ථකත්වය "ජිල්" කිසිවිටෙකත් තමා වෙත පෞද්ගලිකව පිරිනමා ගැනීමට කටයුතු කළේ නැහැ. ඔහු නිතරම කියා සිටියේ එවකට ඉන්දියාවේ අගමැතිව සිටි "නරසිංහ රාඕ" සහ පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැතිව සිටි "බෙනට්‌ සිං" ගේ දේශපාලන නායකත්වය සහ මඟපෙන්වීම නොතිබෙන්නට ඔහුට එම ජයග්‍රහණය අත්පත්කර ගැනීමට නොහැකිවන බවයි. පොලිස්‌පතිවරයා නිරන්තරයෙන්ම කියා සිටියේ ඉන්දියාවේ සන්නද්ධ හමුදා, රාජ්‍යH, ඔත්තු සේවාවන් සහ විදේශ අමාත්‍යාංශයෙන් ලද සහාය එම ජයග්‍රහණයට විශාල වශයෙන් හේතු වූ බවයි. ත්‍රස්‌තවාදයට එරෙහිව ඉන්දියාව ලද එකම ජයග්‍රහණය පන්ජාබ් ප්‍රාන්තයේ ලද ජයග්‍රහණය පමණක්‌ නොවේ. නාගලන්තය, ත්‍රිපූර්, මිසොරාම් සහ කාෂ්මීර් යන ප්‍රාන්තවලත් විවිධ ජයග්‍රහණ අත්පත්කර ගැනීමට හැකිවුණා. එම ජයග්‍රහණයන් සඳහා මූලිකව කටයුතු කළ පොලිසිය, හමුදාව හෝ වෙනයම් කණ්‌ඩායමක්‌ තමන් තනිවම එම ජයග්‍රහන අත්පත්කර ගත්තා යෑයි හඬ නඟමින් සුපිරි වීරයෙකු ලෙස හැසිරුණේ නැති බව මෙහිදී සඳහන් කළ යුතුයි. එම ජයග්‍රහණයන් සඳහා වෙනත් අය විසින් සිදු කළ දායකත්වයන් ඇගයීමට හැකි සමබර මානසිකත්වයක්‌ එම සටන්වලදී මූලිකත්වය ගෙන කටයුතු කළ හමුදා නිලධාරීන් තුළ තිබුණු බව සඳහන් කළ යුතුය.


එවැනි මානසික සමතුලිත භාවයක්‌ රඳවා ගැනීමට නොහැකිවීමත්, තමන් තුළ වන නොරිස්‌සුම් ස්‌වභාවය තමන් අභිබවා නැඟීසිටීමට ඉඩහැරීම නිසාත් සිදුව ඇත්තේ සරත් ෆොන්සේකා විසින් තමන්ගේම වටිනාකම බාලකර ගැනීමකි. ඔහු තුළ ඇති මෙම චරිත ලක්‍ෂණ සිය දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන බලවේග අමනෝඥ ක්‍රියාදාමයක යෙදී සිටින බව සඳහන් කළ යුතු වෙනවා. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය විය හැක්‌කේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඇති වෘත්තිකත්වය දියකර හැරීමයි.

No comments:

Post a Comment