Sunday 20 December 2009

ඒ දේශද්‍රෝහි පාවාදීම ඔහු කරලා ඉවරයි!-ජාතික නිදහස පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී සහ ජිනප්‍රිය ප්‍රභාත් විතාන -දිවයින

"බූරුවයි අශ්වයයි එකතු වුණාම උපදින්නේ කොටලුවෙක්‌ කියනවනේ. කොටලුවා කියන්නේ වඳ සත්ත්වයෙක්‌. ඒ නිසා කොටලු එකතුවකින් කවදාවත් කොටලු පරපුර බිහිවෙන්නේ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණයි එක්‌සත් ජාතික පක්‍ෂයයි එකට එකතු වෙලා බිහි කළ කොටලුවා තමයි මේ ජනාධිපති අපේක්‍ෂකයා. මේ අපේක්‍ෂකායටත් කිසිම දෙයක්‌ අලුතින් උපදවන්න බැහැ.මේක තමයි මේ ඉතිහාසයේ සිදුවූ අරුම පුදුම එකතුව". ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ලබාදී ඇති බව සඳහන් ප්‍රකාශයක්‌ පදනම් කරගෙන විශාල මතභේදයක්‌ ඇතිවී තිබේ. මෙම මත භේදය සම්බන්ධයෙන් ජාතික නිදහස පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග පළ කළ අදහස්‌ පහත පරිදි වේ

ප්‍රශ්නය (- පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක්‌ පදනම් කරගනිමින් මේ මොහොත වන විට විශාල මතභේදයක්‌ ගොනැගී තිබෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?



පිළිතුර (- සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක්‌ වන විටම අපි ඉතා පැහැදිලිව රටට ප්‍රකාශ කළා මේක පිටිපස්‌සේ විජාතික බලවේගවල වුවමනාව තියෙනවා කියලා. ඊට පසුව සමහරු අපට විහිළු කළා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියනවා කියලා. නමුත් අපි කවුරුත් දන්නා ලංකා ඉතිහාසයේ රජයේ සේවකයෙක්‌, නිලධාරියෙක්‌ විශ්‍රාම ගිය පසුව ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙලා නෑ. ඒකෙන්ම පේනවා මේක අසාමාන්‍ය දෙයක්‌ කියලා. ඒ අසාමාන්‍ය දෙය සිදුකළේ කවුද කියලා හෙළිදරව් වුණේ ඔය ඉංග්‍රීසි පුවත්පතට ලබාදුන් ප්‍රකාශයෙනුයි. ඔහු එම පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සුදුකොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි කොටි නායකයන්ට වෙඩි තැබීමට එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කළ බවයි. එතකොට ඔය ප්‍රකාශය ගැන පසුගිය ඉරිදා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ෆොන්සේකා මහතාගෙන් මේ සිද්ධිය යුද රහස්‌ පිටකිරීමක්‌ නේද කියලා විමසුවා. එතකොට ෆොන්සේකා මහතා කිව්වේ නෑ එහෙම දෙයක්‌ නෑ, ගෝඨාභය රාජපක්‍ෂ එක එක්‌කෙනාට කතා කරල කියන දේවල් ප්‍රකාශ කිරීම යුද රහස්‌ හෙළි කිරීමක්‌ නොවෙයි කියලා. ඒ පිළිතුර මගින් සන්ඩේ ලීඩර් පුවත සාධාරණීකරණය කරා. ඔහුට අවශ්‍යතාවක්‌ තිබුණා නම් ඉරිදා හවසම කියන්න තිබුණා ඒ ප්‍රකාශය වැරැදියි, මම ප්‍රකාශ කරපු දෙය නොවෙයි පළ කර තිබෙන්නේ කියලා කියන්න. ඒ අවස්‌ථාවේදී එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ යන මහත්වරුත් සහභාගිවී සිටියා.


නමුත් සඳුදා පෙරවරුව වන විට ඔහුගේ දේශපාලන මිතුරන්ට තේරුණා මේ ප්‍රකාශයත් සමග බලවත් මහජන විරෝධයක්‌ ඇතිවෙනවා කියලා. සන්ඩේ ලීඩර් කතුවරිය වන ෆේ‍රඩ්රිකා ජෑන්ස්‌ පවසා සිටිනවා සඳුදා හවස පැතැත්වූ මාධ්‍ය සාකච්ඡාවට පැයකට පමණ ඉහත ෆොන්සේකා මහතා ඇයට කතා කරලා මේ ප්‍රවෘත්තිය නිවැරැදියි කියලා පිළිගත් බවත් එමගින් දේශපාලන අවාසියක්‌ තමන්ට සිදුවන බවත් ප්‍රකාශ කළ බව. එතකොට සඳුදා හවස මේ කියන අරුම පුදුම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ජෙනරාල් කියනවා මම කිව්වේ නැති දෙයක්‌ විකෘතිවෙලා පළ වෙලා තියෙනවා. මම යුද්ධයේ සිදුවූ සෑම දෙයක්‌ම බාර ගන්නවා. සුදුකොඩි අරන් කවුරුවත් ආවේ නැහැ කියලා. නමුත් සන්ඩේ ලීඩර් කතුවරිය බොහොම ප්‍රසිද්ධියේ කියනවා ජෙනරාල් ප්‍රකාශ කළ දේ මිස වෙනත් කිසිම දෙයක්‌ ලිව්වේ නැහැ කියලා.


ඒ අනුව පැහැදිලි වෙනවා ඔහුගේ වුවමනාව මොකක්‌ද කියලා. මේ ප්‍රකාශයෙන් බලවත් මහජන අප්‍රසාදයක්‌ පලවන බව දැනගත් පසුව බොරුවක්‌ කිව්වා. පළමු ප්‍රකාශය කීමෙන් ඔහු දේශෙද්‍රdaහී කාර්යයක්‌ කරපු කෙනෙක්‌ වුණා. සඳුදා හවස කළ ප්‍රකාශයෙන් ඔහු බොරුකාරයෙක්‌ බවටත් පත් වුණා. සඳුදා සවස්‌වරුවේ කළ ප්‍රකාශයෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට කළ ප්‍රකාශයේ හානිය නැතිවෙන්නේ නැහැ. ඔහුගේ ඉරිදා ප්‍රවෘත්ති සාකච්ඡාවද ලෝකය දන්නේ? සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවද? ඇමරිකා එක්‌සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය බදාදා වන විට ප්‍රකාශ කර තිබෙනවා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සරත් ෆොන්සේකා මහතාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ක්‍රියා කරනවා නම් අපි එයට සහාය දෙනවා කියලා. ඊළඟට චැනල් ෆොa නාලිකාව ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා හමුදාව නීතියට පටහැනිව කළ මිනීමැරුම් කළ බවට හෙළි කළ කරුණු නිවැරැදි බව හිටපු යුද හමුදාපතිගේ ප්‍රකාශයෙන් සනාථ වෙනවා කියලා. මේ වන විට ලෝකයේ සිටින සියලු අන්තර්ජාතික හතුරෝ මේ ප්‍රකාශයෙන් වාසි ලබාගෙන අවසානයි. ඒ අය බලා සිටියා මේ යුද අපරාධ චෝදනාව ලංකාවට ඇලවීමට. ඒකට හොඳ සාක්‌කිකාරයෙක්‌ නැතුව සිටියා. අන්න ඒ සාක්‌කිකාරයා බවට ෆොන්සේකා මහතා පත්වෙලා අවසන්. මහා පාවාදීමට ඔහු හවුල්වෙලා අවසන් මේ වන විට. ඒ ෙද්‍රdaහී පාවාදීම ඔහු කරලා ඉවරයි. ඒ සමගම ඔහු බොරුකාරයෙක්‌ බවටත් පත්වෙලා ඉවරයි. රටේ මිනිසුන් ඉදිරියේ සරල ප්‍රශ්නයක්‌ පමණයි තියෙන්නේ. රටේ සේනාධිනායකකමනේ මේ ඉල්ලන්නේ. ජනාධිපතිවරණයට කරන ගමන් රණවිරුවන්ව පාවාදෙනවා නම් ලෝකය ඉදිරියේ, ඔහු සේනාධිනායකයා වුවහොත් කොහොමට තියෙයිද? මේ පාවාදීම කොහෙන්ද කෙළවර වෙන්නේ? අද මහජනයා නගන ප්‍රශ්නය එයයි.


ප්‍රශ්නය (- ෆොන්සේකා මහතා 13 වැනි සංශෝධානයට එහා ගිය විසඳුමකුත් ලබාදෙන බව පැවසුවා. මෙම ප්‍රකාශයත් ඔහු දෙමළ ඡන්ද ලබාගැනීමේ ෙච්තනාවෙන් ප්‍රකාශ කළා විය නොහැකිද?


පිළිතුර (- ඔහු 13 න් එහාට ගිය බලය බෙදීමකට කැමතියි කිව්වා. ඒක මාධ්‍ය සාකච්ඡාවේදී පමණක්‌ නොවෙයි "අවුට්‌ලුක්‌" නමැති ඉන්දියානු සඟරාවට ප්‍රකාශ කළා. ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයෝ ආණ්‌ඩු පක්‍ෂයෙන් කුමක්‌ හෝ කියවුණා නම් මරා ගන්නවා. පෙළපාලි යනවා, පෝස්‌ටර් ගහනවා. අද ඒ අයගේ අපූර්ව අපේක්‍ෂකයා 13 එහාට යන බලය බෙදීම ගැන කියනවා. ජවිපෙ ඇහුන් නෑ වගේ ඉන්නවා. ඊළඟට ඔහු ඡන්ද ගැනීම සඳහා රුපියල් දස දහසකින් රජයේ සේවක වැටුප් වැඩි කරනවා කිව්වා. එතුමා ජයග්‍රහණය නොකරන නිසා පනස්‌දාහකින් පඩි වැඩි කරනවා කිව්වත් කමක්‌ නෑ ඉතින්. මෙහෙම විවිධ ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ ගොන්නේ "මොලේ පොඩ්ඩක්‌ වැඩකරනවා කිව්වා මත්පැන් ටිකක්‌ පානය කළොත්. ප්‍රභාකරන්ගේ අම්ම අප්ප හරි සල්ලි දුන්නොත් ගන්නවා කිව්වා". මේ ප්‍රකාශ දාමයේ වඩාම බරපතල ප්‍රකාශය තමයි සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි කොටි නායකයන්ට වෙඩි තැබීමට එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කළා යෑයි කරපු ප්‍රකාශය. මෙය දෙමළ ඡන්ද බලාගෙන කිව්වා නම් සාමාන්‍ය දෙමළ ඡන්ද ප්‍රමාණයක්‌ හෝ ලැබෙයි. නමුත් අහිමිවෙන ඡන්ද ප්‍රමාණය ඊට වඩා වැඩියි.


ඒ අනුව මේක ඡන්ද බලාගෙන කළ ප්‍රකාශයක්‌ නොවෙයි. මේ අන්තර්ජාතික බලවේග මොහුට බාරදුන් කොන්ත්‍රාත්තුවක්‌ තියෙනවා. අන්න ඒ කොන්ත්‍රාත්තුවට අනුව කරපු කතාවක්‌ තමයි ඔය කරල තියෙන්නේ. ඔහු විටින් විට යුද අපරාධ චෝදනාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට, හමුදාවට පැවරිය යුතුයි. ඔහු ඒ කොන්ත්‍රාත්තුව ඉටු කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන්නේ මොනවාදැයි මං දන්නේ නෑ. සමහරවිට ඇමරිකා එක්‌සත් ජනපදයේ පුරවැසිභාවය ලැබෙනවාද, වෙන මොනවත් ලැබෙනවාද කියා අපි දන්නේ නෑ. ඒක ඡන්දය වැඩිකරන වැඩක්‌ නොවෙයි, ඡන්ද නැති වුණත් ඔහු ඒ කොන්ත්‍රාත්තුව ඉටු කරනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ.


ප්‍රශ්නය (- ජෙනරාල් සතේ ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රජය කිසියම් ක්‍රියාමාර්ගයක්‌ ගන්නවාද?


පිළිතුර (- ඇත්තටම දැනටමත් අපිත් යෝජනා කරල තියෙනවා යම්කිසි ක්‍රියාමාර්ගයක්‌ ගන්න ඕනෑ කියලා. මේ වන විට නීතිපතිවරයා ඇතුළු අදාළ අංශ මේ වෙනුවෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න සොයා බලමින් සිටිනවා. අනිවාර්යෙයන්ම ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුයි. මම දන්නෑ විශ්‍රාම ගිය හමුදා නිලධාරියකුට දේශද්‍රෝහි පාවාදීමකදී ලබාදෙන දඬුම මොකක්‌ද කියලා. මම කියන්නේ ඔහුගේ සියලු නිලතල නම්බුනාම නැවත පවරාගත යුතුයි. ඒක කරන්න පුළුවන් දෙයක්‌ නම් එය කළ යුතුයි. මීට වඩා බරපතල පාවාදීමක්‌ තවත් කරන්න නෑ. මිලේනියම්සිටි බුද්ධි අංශ පාවාදීමත් තියෙන්නේ මීට වඩා පසුපසින්. මේ රටේ ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මෙබඳු පාවාදීමක්‌ කවදාවත් වෙලා නෑ. එබඳු පාවාදීමක්‌ කළ පුද්ගලයකුට තවතදුරටත් "ජෙනරල්" නාමය පාවිච්චි කරන්න ඉඩදිය යුතුද? නිල ඇඳුම් පාවිච්චි කරන්න ඉඩදිය යුතුද? තමන්ගෙම රටේ තමන්ම නායකත්වය දුන් හමුදාව අන්තර්ජාතික බලවේග හමුවේ ඒ හමුදාවටම යුද අපරාධ චෝදනා එල්ල කරන්න සාක්‌කිකාරයෙක්‌ වෙලා ඉන්න පුද්ගලයකුට ඒ තනතුරු නම්බු නාම පාවිච්චි කරන්න ඉඩදිය යුතුද?


යුද හමුදාවේ සිටියදී වරදක්‌ කළොත් සියලු නිතලවලින් පහ කරන්න පුළුවන්. විශ්‍රාම ගිය අයටත් එහෙම කරන්න පුළුවන් නම් එය වහාම කළ යුතුයි.

ප්‍රශ්නය (- ජෙනරාල්ගේ මෙම ප්‍රකාශයට සතියක පමණ කාලයක්‌ මේවන විට ගතවෙලා තියෙනවා. නමුත් මේ දක්‌වා ජනතා විමුක්‌ති පෙරමුණවත් එක්‌සත් ජාතික පක්‍ෂයවත් මේ පිළිබඳව ඔවුන්ගේ ස්‌ථාවරය ප්‍රකාශයට පත්කර නෑ. ඒ පිළිබඳ ඔබ මොකද කියන්නේ?


පිළිතුර (- බූරුවයි අශ්වයයි එකතු වුණාම උපදින්නේ කොටලුවෙක්‌ කියනවනේ. කොටලු වර්ගයා කොටලුවො කොටලුවො එකතුවෙලා බිහිවෙන්නේ නැහැ. කොටලුවා කියන්නේ වඳ සත්ත්වයෙක්‌. ඒ නිසා කොටලු එකතුවකින් කවදාවත් කොටලු පරපුර බිහිවෙන්නේ නැහැ. නැවත බූරුවකුයි අශ්වයකුයි එකතු වුණාම තමයි නැවතත් කොටලුවෙක්‌ උපදින්නේ. ජනතා විමුක්‌ති පෙරමුණයි එක්‌සත් ජාතික පක්‍ෂයයි එකට එකතු වෙලා බිහි කළ කොටලුවා තමයි මේ ජනාධිපති අපේක්‍ෂකයා. මේ අපේක්‍ෂකායටත් කිසිම දෙයක්‌ අලුතින් උපදවන්න බැහැ. නමුත් අශ්වයයි බූරුවයි එකතු වෙලා ඉවරයි. මේක තමයි මේ ඉතිහාසයේ සිදුවූ අරුම පුදුම එකතුව. ජනතා විමුක්‌ති පෙරමුණ ෆොන්සේකා මහතා 13 න් එහාට බලය බෙදනවා කිව්වාම සද්ද නෑ. ෆොන්සේකා මහතා ශවේන්ද්‍ර සිල්වා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාවාදී අන්තර්ජාතික බලවේගවල අවශ්‍යතා ඉටු කරන විටත් සද්ද නෑ. ජනතා විමුක්‌ති පෙරමුණේ අතීත උරුමය අද පාවාදීලා ඉවරයි. ජනතා විමුක්‌ති පෙරමුණ මේ එළැඹිලා සිටින්නේ සියල්ල ඔට්‌ටුවට තියලා එක්‌සත් ජාතික පක්‍ෂය සමග සූදු කෙළීමකටයි. ජනතා විමුක්‌ති පෙරමුණේ අතීත දේශපාලන කීර්තිය, දේශපාලන උරුමය වෙන්දේසි කරල ඉවරයි.


ඒ නිසා මේ සියල්ල පරදුවට තියලා ඒ සූදුව කරන්නේ. ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘවරයාව බිළිගත් පක්‍ෂය සමගයි ඔවුන් මේ එකතුවෙලා සිටින්නේ. 87-89 කාලයේදී හැටදහසකගේ ජීවිත බිළිගත්, තරුණයන්ගේ අතපය අහිමි කළ, (තාමත් ලෙඩවූ අය සිටිනවා. මම දන්න එක පුද්ගලයෙක්‌ සිරෙන් නිදහස්‌වෙලා ඇවිත් ඔහුගේ හිසේ පරීක්‍ෂණ 32 ක්‌ කර තිබුණා) දරුපවුල් සීසිකඩ ගියා ඔවුන්ගේ. ඒ සියල්ලට වගකිව යුතු එක්‌සත් ජාතික පක්‍ෂයත් සමගයි අද ජනතා විමුක්‌ති පෙරමුණ සිටින්නේ. පරණ වමවත් කවදාවත් එක්‌සත් ජාතික පක්‍ෂය සමග එකතු වුණේ නෑ මං හිතන්නේ. අඩුම තරමේ වික්‍රමබාහුවත් ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී එක්‌සත් ජාතික පක්‍ෂය සමග එකතු වුණේ නෑ. ඉතින් අද ජනතා විමුක්‌ති පෙරමුණ ගිලගත් එක්‌සත් ජාතික පක්‍ෂයට අලෙවිවූ කොන්ත්‍රාත්කාරයෝ අද ඒ පක්‍ෂය පාවාදීලා ඉවරයි. මේ දෙපොළ අද කසායබීපු ගොළුවො වගේ තමයි ඉන්නේ, ෆොන්සේකා මහතාගේ නාඩගම් හමුවේ.


ප්‍රශ්නය (- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා 13 සංශෝධනයට එහා යනවා කියන ප්‍රකාශයට ජනතා විමුක්‌ති පෙරමුණ පිළිතුරක්‌ ලබා නොදුන්නත් ජනතා විමුක්‌ති පෙරමුණ නගන චෝදනාවක්‌ තමයි ඩග්ලස්‌ දේවානන්ද මහතාට ජනාධිපතිතුමා, 13 වැනි සංශෝධනයට එහා යන බවටත් නිජභූමි සංකල්පය පිළිගන්නා බවතටත් පොරොන්දුවක්‌ ලබාදුන් බව. මේ චෝදනාව සම්බන්ධයෙන් මොකද කියන්නේ?


පිළිතුර (- ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයා 2004 දී ජවිපෙ සන්ධානය හදන විටත් ඔය සන්ධානයේ සිටියා, 2005 මහින්ද රාජපක්‍ෂ මහතාට ජවිපෙ සහය දෙන අවස්‌ථාවේත් ඩග්ලස්‌ දේවානන්ද සිටියා. හැමදාම ඩග්ලස්‌ දේවානන්දගේ මතයක්‌ තියෙනවා. ඒ මතයේ ඩග්ලස්‌ දේවානන්ද සිටියා කියා දේවානන්දගේ ඒ මතයට 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා යට වුණෙත් නෑ, 2004 සන්ධානය යට වුණෙත් නෑ. මොකක්‌ද මේ කියන්නේ. කවදාවත් නොසිටිය ඩග්ලස්‌ දේවානන්ද කෙනෙක්‌ අලුත්ම කතාවක්‌ කිව්වා වගෙනේ මේ කියන්නේ. ඔය කියන්නේ ෆොන්සේකා මහතාගේ අර කතාව වහගන්නයි. ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ මොන කොන්දේසියටද යටවෙලා තියෙන්නේ? ඔහුගේ අදහස වෙනම තියෙනවා. ඒක වෙනයි. ඒවාට එකඟවෙලා නෑ. තමන්ගේ ජනාධිපති අපේක්‍ෂකයා කියනවා 13 එහාට බලය බෙදනවා කියල. ඒක ගැන සද්දයක්‌ නෑ. 2004 සන්ධානයේදී, 2005 ජනාධිපතිවරණයේදී සිටි ඩග්ලස්‌ දේවානන්ද කෙනෙක්‌ ඇදගෙන බොරුවට අර කතාව වහ ගන්න දැන් මේවා කියනවා. කිසිම පදනමක්‌ නෑ ඔය ප්‍රකාශයේ.


ප්‍රශ්නය (- මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂයේ තවත් ප්‍රබලයන් කිහිපදෙනෙක්‌ම ආණ්‌ඩුවට එකතුවී තියෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?


පිළිතුර (- එක්‌සත් ජාතික පක්‍ෂයේ බොහෝ කොටස්‌ අද ඉන්නේ දැවැන්ත කලකිරීමකින්. එක්‌සත් ජාතික පක්‍ෂයට ඉතිහාසයේ මොන අර්බුද ආවාත් කවදාවත් අලියාව ඡන්දයට නොදැම්මේ නෑ. තොණ්‌ඩමන්ලා, හකීම්ලා, එස්‌.බීලා කවුරු එකතු වුණත් අලිය තියා ගත්තා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැමදාම පෙරමුණු බිහිවෙන්නේ අලුත් ලාංඡනයකින්. අද ඉතිහාසයේ පළමු වතාවට අලියා අතහැරලා කුරුල්ලෙක්‌ව දාලා. ඒ අනුව අද එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් දැවැන්ත කලකිරීමකින් සිටින්නේ. මේ ජනාධිපතිවරණයෙන් ෆොන්සේකා මහතා පරදින බව හොඳටම දන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. ෆොන්සේකා මහතා පැරදුනාට පස්‌සේ වික්‍රමසිංහ මහතා ජනවාරි 27 වැනිදා කියනවා මම ඉල්ලුව නම් මීට වඩා ඡන්ද ගන්නවා කියලා. ඒ වගේම පක්‍ෂ නායකත්වයට එල්ලවු තර්ජනයත් වික්‍රමසිංහ මහතා බේරගත්තා. මේ පරාජයේ කරුමය ෆොන්සේකා මහතා පිට තිබ්බා. වික්‍රමසිංහ මහතාට ඕනෑ ඊළඟ ජනාධිපතිවරණය දක්‌වා කල් අල්ලගෙන සිටිමටයි. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට, පාක්‍ෂිකයන්ට ඒ කල් ඇල්ලීම කරගෙන ඉන්න බෑ. ඒ අයට පේනවා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙනුයි මේ සියල්ල සිදුවන්නේ කියලා. ඒ නිසා යම්කිසි ආත්ම විශ්වාසයක්‌ තියෙන අය තීන්දු ගන්නවා. සමහරු තීරණ ගන්නවා ෆොන්සේකා මහතාට ඉදිරිපත් කිරීමට විරුද්ධව, තවත් අය තීරණ ගන්නවා වික්‍රමසිංහ මහතාට විරුද්ධව. මේ සියලු දෙනාම අද තීරණයක්‌ ගන්නවා. ගමේ පාක්‍ෂිකයනුත් අද එජාපයේ අලියා නැති නිසා මේ ඡන්දයට යන්නේ නෑ.

ප්‍රශ්නය (- මේ මොහොත වන විට නාම යෝජනා බාරදීම ඇතුළු කටයුතු අවසන්වී තිබෙනවා. තවදුරටත් මාසකයට වඩා වැඩි කාලයක්‌ මැතිවරණ සඳහා ඉතිරිවී තියෙනවා. මෙම කාලය තුළ ආණ්‌ඩුව පාර්ශ්වයේ කටයුතු කෙසේද?


පිළිතුර (- ජනාධිපතිවරණ නාම යෝජනා දෙන විට ප්‍රතිවාදී අපේක්‍ෂකයා ආරම්භ කළේ සීයෙන් නම් මේ වන විට විසිපහට බැහැල ඉවරයි. ඔහු පටන් ගන්නකොට පොඩි ආකර්ශනයක්‌, බලාපොරොත්තුවක්‌ තිබුණා. නමුත් අද වන විට ඔහුගේ හුලං බැහැල ඉවරයි. ඉදිරියේදී සිදුවන්නේත් ඔහු වරද්දා ගන්නා කටයුතු පමණයි. අද ජනතා විමුක්‌ති පෙරමුණ අපි දන්නවා සෑහෙන ඉහළ මට්‌ටමේ නායකයෝ මේ තත්ත්වය හමුවේ දැවැන්ත ලෙස කලකිරිලා ඉන්නේ. කුමන්ත්‍රණ කරලා අපිව එළියට දාපු වෙලාවේ ඒ වෙනුවෙන් අත එසවූ උදවියට තේරුම් ගිහින් තියෙනවා අපිව එළියට දැම්මෙත් මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ කොටසක්‌ ලෙස කියලා. අපි ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරියට ගෙනයැමට කැපවෙලා ඒ නිසාම හතුරෝ හදාගත් මිනිස්‌සු නේ. මට මඩ ගැහැව්වනම් ඒ මඩ ගැහැව්වේ ජනතා විමුක්‌ති පෙරමුණ ගොඩනගන්න ඉටුකළ භූමිකාව වෙනුවෙන් මිසක්‌ මගේ වැඩකටයුතු වෙනුවෙන් නොවෙයි. ඇත්තටම අපිව එළියට දැමීමේ කුමන්ත්‍රණය කළේ මේ ෙද්‍රdaහී පාවාදීමට කියලා අද එළිවෙලා ඉවරයි. ඒ නිසා ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ මට්‌ටමේ සාමාජිකයනුත් මේ මැතිවරණයේදි ෆොන්සේකා මහතා වෙනුවෙන් කැපවෙන්නේ නෑ.


ත්‍රිකුණාමලයේ ජයන්ත විඡේසේකර සහෝදරයා දන්නවා ඇති 88-89 කාලයේ කන්තලේ ජනතා විමුක්‌ති පෙරමුණේ සහෝදරවරු ඝාතනය කළේ කවුරු ප්‍රධානියාවෙලා සිටි කඳවුරෙන්ද කියලා. ජනතා විමුක්‌ති පෙරමුණේ අප්‍රකට නායකයකුව අත්අඩංගුවට ගත්තේ කවුරු නායකයාවෙලා සිටිය කඳවුරෙන්ද කියලා අවශ්‍ය නම් අද ඕස්‌ටේ්‍රලියාවේ සිටින ඔහුගෙන් අසා දැනගන්න පුළුවන්. 89 දී ත්‍රිකුණාමලයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සියයට 95 ක්‌ මරලා, මර්දනය කළේ කවුරු නායකයාවෙලා සිටිය කඳවුරෙන්ද කියලා ත්‍රිකුණාමලයේ ජවිපෙ සාමාජිකයන්ගේ අසා දැනගත හැකියි. ඒ නිසා මේ සියලු කරුණු සමග ඉදිරි මැතිවරණය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ආවා නම් දිනන ප්‍රමාණයටත් වැඩි ඉහළ ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා.


රනිල් වික්‍රමසිංහ ආවානම් දෙමළ ඡන්ද ප්‍රමාණයක්‌ ඔහුට ලැබෙනවා. මුස්‌ලිම් ජනතාවගෙත් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ලැබෙනවා. සුළුජාතිකවාදීව සිතන අය කල්පනා කරනවා ඔවුන්ට රනිල් ආරක්‍ෂාවක්‌ කියලා. එවගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක්‌ හිමිවෙනවා. ඒ වගේම රනිල් පැරදුනත් යම්කිසි ස්‌ථාවර බලයක්‌ පෙන්වලයි පරදින්නේ. හැබැයි ෆොන්සේකා මහතා කොහොමද පරදින්නේ. එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් කවුරුවත් ඡන්දය දාන්නේ නෑ. ඔවුන්ට අවබෝධවී තිබෙනවා මේක හරියන කෑමක්‌ නොවෙයි කියලා. ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌සත් ජාතික පක්‍ෂය සමග එකතුවූ නිසා ජවිපෙට තිබූ ඡන්ද ලක්‍ෂ දෙක, ලක්‍ෂයට අඩු වෙනවා. ඊළඟට ෆොන්සේකා මහතා මොනතරම් උත්සාහ කළත් දෙමළ ඡන්ද ඔහුට ගන්න බෑ. අනික ඔහු කරන ෙද්‍රdaහී පාවදීම නිසා ඔහු පටන්ගන්න විට තිබුණු ඡන්දත් දැන් නැතිවෙලා. මේ කරුණු කාරණා සියල්ල සලකා බැලීමේදී ඉතිහාසයේ ජනාධිපතිවරයකු ලැබූ දැවැන්තම ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගන්නවා. එමගින් දෙවැනි නිදහස්‌ අරගලයේ දෙවැනි පරිච්ඡේදයට අපි පියවර තබනවා.





.

No comments:

Post a Comment