Thursday 10 December 2009

අපේ මවු බිමත් දරුවනුත් ගැන සිතා ජනාධිපතිවරණයේදී අපි නිවැරැදි තීරණයක් ගනිමු-- ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ

මනෝලි සුබසිංහ - දිනමිණ

පහුගිය ජනාධිපතිවරණයේ දී අප රට දේශපාලන මගෙහි විශාල වෙනසක් සිදු විය යුතු යැයි ද ඒ මග ඉතාම පැහැදිළි ව අපට පෙනෙන්නට ඇතැයි ද ප්‍රකාශ කළෙමි. මහින්ද චින්තනය ජයග්‍රහණය කළේ ය.

අපේ බලාපොරොත්තු ද ඉටු විය. අනතුරුව අපේ මව්රට විනාශයේ අඳුරු දොරටුව කරා ඇදගෙන ගොස් සිටි කුරිරු ත්‍රස්තවාදීන්ගේ විනාශය ද එලෙසින්ම සිදු විය. ඒ ගැන අපි පුන පුනා කතා කළ යුතුම ය. අප එය අමතක නොකළ යුතුය. තම රටට ආදරයක් ඇත්තෙකුට අමතක කිරීම ද කළ නොහැකි ය. මීට අවුරුදු තිහකට වැඩි කලකට පෙර අප රට ගොදුරු වූ ත්‍රස්තවාදයෙන් මිදී නිදහස අප දැන් භුක්ති විඳිමු.



එහෙත් අපි සෑහීමකට පත් වෙමු ද? නැතිනම් ත්‍රස්තවාදීන් අඩක් විනාශ කොට ඇති අපේ රට යළි ගොඩ නඟන්නට අත හිත දෙනවා ද? ඒ පිළිබඳ ස්ථීර තීරණයක් ගැනීමට දැන් කාලය එළැඹ ඇත.


ඔබත් මාත් රට බේරා ගැනීමේ යුද්ධය පිළිබඳ නෙත සිත යොමා සිටියදී ඒ ඓතිහාසික ජයග්‍රහණය ලබන්නට පෙර සිටම අප රට යළි ගොඩ නැංවීමේ මහ කාර්යය ඇරැඹි ඇති හැටි අපි දකින්නේ දැන් ය.

රට දැය ආරක්ෂා කිරීමේ කාර්යයට අමතරව දරුවන්ගේ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, මාර්ග සංවර්ධනය, විදුලිය, වරාය, අහස් යානා අංගන ගොඩ නැංවෙන අයුරු දැන් වටපිට බලන නිදහසේ යන එන ඔබටත් මටත් ඇස් පනාපිටම දකින්නට ඇත.


එහෙත් මේ දැවැන්ත කාර්යභාරයේ නිමාවට තව වසර කිහිපයක් අවශ්‍ය බවද පැහැදිළි ය. එසේ නම් අපගේ යුතුකම වන්නේ කුමක් ද? කෘතගුණතාවය පල කිරීම පමණක් ද? මිනිසුන් වශයෙන් එසේ කිරීම අත්‍යාවශ්‍යයයි. එසේම අපේ මව්බිමට ආදරය කරන්නන් වශයෙන් අපේ පරම යුතුකම වන්නේ එම කාර්යය පරිපූර්ණ කිරීමට අත දිගු කිරීමෙන් අප ලබා ඇති ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම අත්‍යයන්තයෙන්ම සිදුවිය යුත්තක් බව අප අවබෝධ කර ගැනීම ය.


එසේ නම් අපට දීප්තිමත් අනාගතයක් ඇත. නොඑසේ නම් අපගේ විනාශය ද අත ළඟම ඇත. තීරණය ඔබේත් මගේ ත් ය. අපේ මව් බිමත් දරුවනුත් ඔබත් මාත් ගැන සිතා අපි නිවැරැදි තීරණයක් ගනිමු.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete