Tuesday 1 December 2009

භීෂණය මැවූ පිරිස සමඟ බැඳීම් ඇතිකර ගැනීම කනගාටුදායකයි - ජනපති

ධනුෂ්ක ගොඩකුඹුර
එදා 1988/1989 භීෂණ යුගයේ දී භීෂණයට එරෙහිව සටන් කළ හා භීෂණයට ගොදුරු වූවන් වෙනුවෙන් පෙනී සිටි අයට වඩා අද ඇතැමුන් වැඩි බැඳීම් ඇතිකරගෙන ඇත්තේ භීෂණය මැවූ පිරිස් සමඟ වීම කනගාටුදායක බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ භීෂණ යුගයේදී දකුණේ තරුණ තරුණියන්ගේ මානව අයිතීන් පිළිබඳ කතා කරන්නට බොහෝදෙනා බියවූ බව පවසන ජනාධිපතිවරයා ඔවුන් කතා කළේ උතුරේ මානව අයිතීන් පිළිබඳ පමණක් යැයිද පෙන්වා දෙයි. එදා භීෂණයට ගොදුරු වූ අයත් භීෂණය මැවූ අයත් අද එකට අත්වැල් බැඳගෙන සිටීම එක් අතකින් හාස්‍යයට කරුණක් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එදා තමන් භීෂණයට විරුද්ධව කෑ ගසන විට, මහ පාරට බසින විට, ජිනීවා යනවිට, සහ භීෂණයට ලක් වූවන් බේරාගන්නා විට අත්වැල් බැඳගෙන සිටියේ කිහිපදෙනෙකු පමණක් බව කියන ජනාධිපතිවරයා දකුණේ තරුණ තරුණියන්ගේ මානව අයිතින් කතා කරන්නට කිසිවකු ඉදිරිපත් නොවූ බවද කියයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක, පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලි චම්පික රණවක මහතාගේ ‘පටිසෝතගාමීව තිස් වසක්’ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයේ දීය.
ඇමැතිවරයාගේ තිස් වසරක දේශපාලන ජීවිතය දෙස හැරී බලමින් ස්වයං ලිඛිත චරිතාපදානයක් වශයෙන් රචනා කොට ඇති මේ ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත ප්‍රථමයෙන් පිළිගැන්විණ. උඩුගං බලා ගිය තිස් වසක් අර්ථයෙන් රචනා කෙරී ඇති ග්‍රන්ථයේ ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතය, රටේ පවතින රැල්ලට එරෙහිව උඩුගං බලා ගිය අන්දම විදහා දක්වා තිබේ.
එදා මාතෘ භූමියේ ඒකීයභාවය සම්බන්ධ තීන්දුව ගැනීමේදී ජාතික හෙළ උරුමය ඒ වෙනුවෙන් ස්ථාවරයක සිටියත් ඇතැම් පක්ෂ සකසා තිබූ ගිවිසුම්වල ඒකීයභාවය පිළිබඳ සඳහනක් හෝ නොවූ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කෙළේය.
ත්‍රස්තවාදයට එරෙහිව සටන ජය ගැනීමට ජාතික හෙළ උරුමය දුන් ධෛර්යට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා ඒ සටනේදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයාද නිබඳව ශක්තියක් වූ බව සිහිපත් කෙළේය.
ජාතික හෙළ උරුමයේ නායක, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියෝ සහ ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක, පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක, නීති උපදේශක, බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, ඩග්ලස් දේවානන්දා, මිලින්ද මොරගොඩ, මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරු ප්‍රමුඛ පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

No comments:

Post a Comment