Thursday 24 December 2009

සරත් ෆොන්සේකා විදේශ බලවේගවල ඉත්තෙකු වෙලා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර

අමිල අබේරත්න - දිවයින

විදේශ බලවේග තම අරමුණු ඉටු කරගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා ඉත්තෙකු කරගෙන ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.එය විදේශ බලවේගවල එක්‌ කුමන්ත්‍රණයක්‌ පමණක්‌ බවත් ණය ලබානොදී මේ රට තනි කිරීම හා දක්‌ෂිණාංශික ඒකාධිපති බලවේග මේ රට තුළ ඇතිකිරීම ඔවුන්ගේ අනෙක්‌ කුමන්ත්‍රණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා. "මේ එළඹ තිබෙන ජනාධිපති සටන පුද්ගලයන් දෙදෙනෙක්‌ අතර සිදුවන සටනකට වඩා රට වෙනුවෙන් කරන සටනක්‌. ජයග්‍රහණ අනෙක්‌ අතට හැරවීමේ කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. මේ රටේ ඉරණම තීරණය වන්නේ මේ ඡන්ද සටනින්. විදේශ බලවේගවල අරමුණ මහින්ද රාජපක්‌ෂ මහතා බලයෙන් පහකිරීමයි. එය සක්‌සුදක්‌ සේ පැහැදිලියි.
ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා මහතා ඉත්තෙකු ලෙස යොදා ගත්තා. මේක තමයි නියම යථාර්ථය. මේ වන කොට විජාතික බලවේග වලටත් පෙනී ගොස්‌ තිබෙනවා සරත් ෆොන්සේකා මහතාට ජනාධිපතිවරණය දිනන්න බැරි බව. ඒ නිසයි හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ මහතා මම ඔබතුමාට බොහොම කැමතියි කියා මහින්ද රාජපක්‌ෂ මහතාට ප්‍රකාශ කළේ.
සරත් ෆොන්සේකා මහතාගේ ඊළඟ කොන්ත්‍රාත්තුව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු යුද වීරයන් යුද අධිකරණයට ගෙන යැමයි. ඒ හේතුව නිසයි හමුදාවට භාරවීමට පැමිණි කොටි ත්‍රස්‌තවාදීන් ඝාතනය කරන ලෙස ගෝඨාභය රාජපක්‌ෂ මහතා උපදෙස්‌ දුන්නා කියා සති අන්ත පුවත්පතකට සරත් ෆොන්සේකා මහතා පැවසුවේ.
එහිදී බටහිර රටවල් ප්‍රචාරයක්‌ දුන්නා එම කොටි නායකයන් ඝාතනය කළේ රජය කියා.
එහෙත් සරත් ෆොන්සේකා මහතා මෙහෙම දෙයක්‌ කිව්වේ නෑ කියා පවසනවා. මේ වගේ මුසාවාදයෙන් කටයුතු කරන පුද්ගලයෙක්‌ ජනාධිපතිකමට සුදුසු නෑ.
මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විජාතික බලවේග මුලින් උපුටා දැමීම සඳහා ජාතික බලවේගය දිනවීමට සහයෝගය දක්‌වන ලෙසයි.
අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර මහතා - "මේ ලංකාවේ පත්වන 6 වැනි ජනාධිපතිවරණයයි. මේ සඳහා විශාල මඩ ව්‍යාපාරයක්‌ අරඹලා තිබෙනවා. දරුණු මඩ ප්‍රහාරයක්‌ ජෙනරාල් ෆොන්සේකා එල්ල කර තිබෙනවා. එම මඩ ප්‍රහාර ඔහු එල්ල කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ශවේන්ද්‍ර සිල්වා මහතාට හා මේ රටේ ආබාධිත තත්ත්වයට පත්වුණු රණවිරුවන්ට.
හමුදාවට භාරවෙන්න ආ කොටි නායකයන්ට වෙඩි තියා ඝාතනය කරන ලෙස උපදෙස්‌ දුන්නා යෑයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ අමූලික බොරුවක්‌. සරත් ෆොන්සේකා මහතාත් එය පිළිගත්තා. ඔහු පසුව කිව්වා එය නිර්නාමික මාධ්‍යවේදියෙක්‌ කියපු දෙයක්‌ කියලා.
මම ෆෙඩ්රිකා ජෑන්ස්‌ කියන මාධ්‍යවේදිනිය අඳුරනවා. ඇයගේ අදහස්‌ සමග මම එකඟ නෑ. එහෙත් ඇය ඉතාමත් පළපුරුදු මාධ්‍යවේදිනියක්‌. එම නිසා සරත් ෆොන්සේකා මහතා පවසන පරිදි ඔහුගේ ප්‍රකාශය ඇය වැරදියට සඳහන් කරන්නේ නෑ. ෆොන්සේකා මහතා ඉදිරිපත් වන්නේ තනියම නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මනෝ ගනේෂන් මහතාගේ හා සෝමවංශ අමරසිංහ මහතාගේ ඉත්තන් වශයෙන්.
ඒකීය සංවිධානයේ නියෝජිත ආචාර්ය පියසේන දිසානායක මහතා - ෆොන්සේකා මහතා පිටුපස සිටින්නේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකාව යන රටවල්. ඔවුන් පවසා ඇත්තේ එල්ටීටීඊ සංවිධානය නැවත ස්‌ථාපිත කිරීමට නොහැකි නම් මහින්ද රාජපක්‌ෂ මහතා බලයෙන් ඉවත් කරන ලෙසයි.
ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ත්‍රස්‌තවාදය ඉවරයි කියා කියන්න බෑ. සියලු ප්‍රශ්න තවම ඉවර නෑ. ප්‍රශ්න ආරම්භ වුණා පමණයි.
එහිදී තවලම සංවර්ධන පදනමේ සභාපති කර්නල් අනිල් අමරසේකර මහතා, ලංකා ජාතික සංඝ සභාවේ ලේඛකාධිකාරී මාදුරුඔයේ ධම්මිස්‌සර හිමි, දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝද මෙහිදී දේශන පැවැත්වූහ.

No comments:

Post a Comment