Thursday 3 December 2009

ජනපති නොහිටින්න මොන ජෙනරාල් හිටියත් ත්‍රස්තවාදය පරදවන්න බෑ -- එජාප නාගරික මන්ත්‍රී ආබ්දීන්

අම්පිටිය සමූහ සිසිර ජයනාත් පීරිස් -දිනමිණ
යුද්ධය යුද්ධයෙන් මිස ඊනියා සාකච්ඡාවලින් ජය ගත නොහැකි බවට ජනාධිපතිතුමා තුළ විශ්වාසයක් නොතිබුණේ්නම් මොන ජනරාල් හිටියත් ත්‍රස්තවාදය පරාජය කළ හැකි වන්නේ නැතැයි මහනුවර එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී නිලායි ආබ්දීන් මහතා පැවැසීය.

මින් පෙර හොඳ හමුදා නායකයන් කොතෙක් සිටියත් මේ ජයග්‍රහණය ලබාගැනීමට ඔවුන් අපොහොසත් වුණේ නිසි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසා බව කී ආබ්දීන් මහතා, මේ යුද ජයග්‍රහණය රටට හිමි වුණේ එම සටනට ජනාධිපතිතුමා සැලසුම් සහගත නායකත්වයක් ලබා දුන් නිසා බව ද කීවේය.

හෙතෙම මේ අදහස් පළකෙළේ මහනුවර නගර සභා මාසික රැස්වීමේදී එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා විසින් මහින්ද රාජපක්‍ෂ පවුල් ගහ තරකරන බවට කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

රාජපක්‍ෂ පවුල රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට ගිරුවාපත්තුව, මාගම්පත්තුව ප්‍රධාන රුහුණු පුරවරයට සේවයක් කළ පවුලක් බවත්, ජනාධිපතිතුමා පවුල්වාදය තරකිරීමට උත්සාහ කරන බවට කිසිවකු කියන්නේ නම් ඒ තැනැත්තා දේශපාලනය පිළිබඳව හෝඩි පොතවත් නොකියවූ අයෙකු විය යුතු බවත් ආබ්දීන් මහතා කීවේය.

හමුදාවෙන් මනා පන්නරයක් ලැබූ සිය සොයුරා ආරක්‍ෂක ලේකම්වරයා වශයෙනුත්, දේශපාලන අත්දැකීම් ඇති අනෙක් සොයුරන් අදාළ අංශවලටත් යොමු කළ ජනාධිපතිතුමා ප්‍රබල හමුදා නායකයන් අට දෙනෙකු නිර්මාණය කර ඔවුන් නිසි අයුරින් මෙහෙයවා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කැර ගත් බවත් හෙතෙම පැවැසීය.

මේ බව පිළිගන්නට කිසිවකු අකමැති නම් එය ඔහුගේ නොහැකියාව යැයි ද සඳහන් කෙළේය. තමා කුමන පක්‍ෂයක් නියෝජනය කළ ද තිස් අවුරුදු කාලකණ්ණි බෙදුම්වාදයකින් රට නිදහස් වීම ගැන සතුටට පත්වන බවත්, ජාති ආගම්, පක්‍ෂ භේද නොසලකා මේ සතුට සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින්ම භුක්ති විඳින බවත් ආබ්දීන් මහතා ප්‍රකාශ කෙළේය.

No comments:

Post a Comment