Wednesday 9 December 2009

හිටපු හමුදාපති සමයේ ආයුධ මිල දී ගැනීමේ දී අක්‍රමිකතා වූවානම් නීතිය අකුරට - හමුදාපති බෑනාගේ ලියවිලි ඇමැති ඉදිරිපත් කරයි

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර - දිනමිණ
හිටපු යුද හමුදාපතිවරයාගේ සමයේ හමුදාවට ආයුධ මිල දී ගැනීමේ දී ද කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ නීතිමය පියවර ගන්නා බව විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.
යුද හමුදාපතිවරයාට රුපියල් ලක්ෂ 250 ක සීමාවකට යටත් ව සිය අභිමතයට අනුව ආයුධ මිල දී ගැනීමට අවසර ලැබෙන බව පවසන ඇමැතිවරයා හිටපු යුද හමුදාපතිවරයා යටතේ කෙරුණු ගණුදෙනුවලින් සියයට 95ක්ම ඔහුගේ බෑනණුවන්ගේ සමාගමට ලබාදීම සදාචාරාත්මක දැයි ප්‍රශ්න කරයි.

සිය බෑනණුවන්ගේ හිමිකාරිත්වය යටතේ සමාගමක් නැතැයි හිටපු යුද හමුදාපතිවරයා පවසා ඇතත් ඔහුගේ නමින් ලියාපදිංචි කෙරුණු හිකොප් ඉන්ටර්නැෂනල් නම් සමාගමක් තිබෙන බව ඇමැතිවරයා එම සමාගමේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරමින් ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.


දූෂණයක් සිදු නොවූවත් යුද හමුදාවට ආයුධ මිල දී ගැනීමේ දී සදාචාරයක් තිබිය යුතු බව පැවැසූ ඇමැතිවරයා ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කතා කරන ෆොන්සේකා මහතා සිටින්නේ අන්තර්ජාතික මට්ටමින් දූෂණ වංචා කළ පිරිසක් සමඟ යැයි ද ප්‍රකාශ කෙළේය.


තමන් හිටපු හමුදාපතිවරයා කියන දේ නිවැරැදි නොමැති බවට ලිඛිත සාක්ෂි පෙන්නුම් කරන අයුරින්, හැකිනම් ජනාධිපතිතුමාට, ආණ්ඩුවට ඔවුන් නගන චෝදනා ද සාක්ෂි සහිතව ඔප්පු කැර පෙන්වන්න යැයි හෙතෙම අභියෝග කෙළේය.


දූෂණ වංචා පිළිබඳ හඬ නගන විපක්ෂ නායකවරයා පක්ෂයට මැතිවරණවල දී ලැබෙන රුපියල් ලක්ෂ 20000 ක මුදලක් සඟවා ගත් බව පක්ෂයේ හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතාම ප්‍රකාශ කැර ඇතැයි ද ඇමැතිවරයා කීවේ ය.

එසේ සඟවා ගත් මුදලින් ලලිත් ප්‍රනාන්දුට කෝටි 50ක් අකිල විරාජ්ට ලක්ෂ 350 ක පොල්වත්තක්, සාගල රත්නායකට නිවෙසක් හැදීමට රුපියල් ලක්ෂ 450ක් වශයෙන් ලබා දී ඇති බවට දිසානායක මහතා හෙළිදරව් කැර ඇතැයි ද කීවේ ය.


ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක, පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ද මේ මාධ්‍ය හමුවට එක් විය.

2 comments:

  1. General should reply these allegations if he is coorect.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete