Sunday 6 December 2009

අද ඔහු ඉන්නේ ඔහුට සමච්චල් කළ අය සමඟයි ! අපි මොකද කරන්නේ! යුද්ධයේදී මූලික වුණේ ජනාධිපතිතුමාගේ තීරණයයි -ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර- දිවයින
සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ආගමනයත් සමඟ ඔහු විසින් ආණ්‌ඩුව තමාට කරන කෙනෙහිලිකම් ගණනාවක්‌ පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.ඒ සඳහා වන රජයේ පිළිතුර කුමක්‌ද?එය දැනගැනීම සඳහා "දිවයින" යොමුවූයේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙතය.




ප්‍රශ්නය- යුද හමුදාවේ හැට වැනි සංවත්සරය තෙක්‌, තමන් එම තනතුරේ රැඳී සිටීමට ආණ්‌ඩුවෙන් ඉල්ලීමක්‌ කළත්, ඒ සඳහා ආණ්‌ඩුව තමන්ට අවසර ලබා නොදුන් බව සරත් ෆොන්සේකා මහතා පවසනවා. ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරක්‌ නිර්මාණය කර ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් කිරීමට ආණ්‌ඩුව තීරණය කළේ ඇයි?

පිළිතුර - ඇත්ත වශයෙන් ම එම වෙනස්‌ කිරීම සඳහා හේතුවුණු වෙනත් කාරණා තිබෙනවා. එයින් ප්‍රධානතම දේ තමයි, ජනාධිපතිතුමාට නාවික හමුදාපති තනතුර සඳහා අද්මිරාල් තිසර සමරසිංහ පත් කිරීමට තිබු අවශ්‍යතාවය. නමුත් ඔහු ජුලි 16 වැනිදාට වයස 55 සපුරනවා. වයස 55 වූ පසු හමුදාවේ සෑම නිලධාරියකුම විශ්‍රාම යා යුතුයි. විශ්‍රාම ගිය පසු, සේවාව දීර්ඝ කිරීම් ලබාදෙන්නේ හමුදාපතිවරුන් පමණයි. වෙනත් නිලධාරියකුගේ සේවාව දීර්ඝ කළහොත්, ඔහුගේ සේවාව ර¹ පවතින්නේ සුපිරි දීර්ඝ කිරීමේ පදනම මත. එම පදනම මත සේවා දීර්ඝයක්‌ සිදු කර හමුදාපතිකමක්‌ ලබාදීම සම්ප්‍රදායානුකූලව සිදු කරන්නේ නැහැ. එම සම්ප්‍රදාය බිඳ දමන්න, ජනාධිපතිතුමා කැමැත්තක්‌ දැක්‌වූවේත් නැහැ. මේ නිසා නාවික හමුදාපති ලෙස අද්මිරාල් තිසර සමරසිංහ මහතා ජුලි 16 වැනිදාට ප්‍රථමයෙන් පත් කළ යුතුව තිබුණා.

එවකට සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙනුවට අද්මිරාල් තිසර සමරසිංහ එම තනතුරට පත් කළයුතුව තිබුණා. නමුත් මේ අවස්‌ථාවේදී ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය වූයේ, අද්මිරාල් කරන්නාගොඩ, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමටයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා බවට පත්ව සිටියේ ඔහු නිසා එම තනතුරට සුදුස්‌සා වූයේ ඔහුයි. මේ අවස්‌ථාවේදී මම ඒ බව, යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාට දැන්වූ විට, ඔහු ඒ සඳහා විරුද්ධ වුණා. ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර වඩා සුදුසු වන්නේ යුද හමුදාවට ලබාදීම බවත්, අද්මිරාල් කරන්නාගොඩ යටතේ, ඔහුට සේවය කිරීම අපහසු බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.

මේ තත්ත්වය මූලික වී , අපට ඉතාම දුෂ්කර තීරණයක්‌ ගැනීමට සිද්ධ වුණා. මේ නිසා වසන්ත කරන්නාගොඩ මහතා, විශ්‍රාම යවා ලේකම් තනතුරකට පත් කළ අතර, තිසර සමරසිංහ මහතා නාවික හමුදාපති ලෙසත්, සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරටත් පත් කළා. ඒ අනුව ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරට පත් කළා. මේ සියල්ලම සිද්ධ වුණේ, සරත් ෆොන්සේකා මහතාගේ විරෝධය නිසා, ජනාධිපතිතුමාගේ තීරණය ගැන සරත් ෆොන්සේකා මහතාගෙන් විමසිය යුතුව නොතිබුණත්, මම ඒ ගැන ඔහුගෙන් විමසුවේ ඔහුගේ තත්ත්වය ගැන සලකලා. මේ සිද්ධිය පසුව විකෘති කරලා තමයි, ජනතාවට ඉදිරිපත් කළේ, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි කියන තනතුර ත්‍රිවිධ හමුදාපතිවරුන්aම සම්බන්ධීකරණය වන තනතුරක්‌, එහි තිබෙන්නේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ඉහළින්. වඩා වැදගත් වන්නේ, ඒ සඳහා නෛතික තත්ත්වයක්‌ ලබා දීමයි.

මීට පෙර මෙම තනතුර තිබුණේ, හදිසි නීතිය යටතේ පමණයි. මෙය පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එහි කාර්යභාරය නිශ්චිත ලෙස අර්ථ දක්‌වා, පුළුල් බලතල සහිතව මෙම රජය ඉදිරිපත් කළා. මීට පෙර, මේ තනතුරට පත්කළේ හමුදාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙක්‌. නිත්‍ය හමුදාවේ සේවය කරන හමුදාපතිවරයකුට මෙම තනතුර දැරීමට හැකි වන පරිදි රජය නීති සකස්‌ කළා.

මෙයට අමතරව ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේදී, ජනාධිපතිතුමාට උපදෙස්‌ දීමට බලතල ඇති තනතුරක්‌ ලෙස මෙය හැඳින්විය හැකියි. මේ අනුව විශාල බලතල ඇති නිලයක්‌ ලෙස ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුර හැඳින්විය හැකියි. එය නිර්මාණය කිරීමේදී අපි අවුරුදු දෙකක පමණ කාලයක්‌ කමිටුවක්‌a මගින් එය සිදු කළා. එම පනත සකස්‌ කිරීමේදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ අදහස්‌ විමසීමත් සිදු කළා.

එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර එහි නායකයන් විනාශ කර, ඔවුන්ට හමුදාමය ශක්‌තියක්‌ නැති වුණාට පසු උදාවන කාල පරිච්ඡේදයේ වඩා වැදගත් වන්නේ, සැලසුම් සකස්‌ කිරීම හා බුද්ධි අංශ දියුණු කිරීම හා ජාත්‍යන්තර තලයේදී එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීම. මේ කාල පරිච්ඡේදයට වඩාත්ම යෝග්‍ය තනතුරක්‌ ලෙසයි මෙම නව තනතුර නිර්මාණය වුණේ, එම තනතුරින් වඩා හොඳ සේවයක්‌ රටට ඉටුකිරීමට පුළුවන්. මෙහි බලතල නැති බව පැවසීම වැරැදි මතයක්‌. ජෙනරාල් වීරතුංග, ජෙනරාල් රණතුංග වැනි අය මෙම තනතුරේ සිටයි කටයුතු කළේ. ජෙනරල් රණතුංග මේ තනතුරේ සිට නායකත්වය ලබාදී, වඩමාරච්චි මෙහෙයුම දියත් කළා.

ප්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුර ලබාදීමේදී. යුද හමුදාපති ලෙස ඔහුට සපයා තිබූ වරප්‍රසාද කප්පාදු කිරීමට රජය කටයුතු කළාද?

පිළිතුර- යුද හමුදාපති තනතුරේ සිට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට පත්වීමත් සමඟ, මෙම බලතල ලබාදෙන අතරේ, යුද හමුදාපති තනතුරේදී ලැබුණු වරප්‍රසාද කිසිවක්‌ අපි, සරත් ෆොන්සේකා මහතාට අඩු කළේ නැහැ.

යුද හමුදාපති තනතුරේ සිට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි දක්‌වා පත්වීමේදී සරත් ෆොන්සේකාට එතෙක්‌ ලබා දුන් නිලධාරී සංඛ්‍යාව අපි වැඩි කළා. ඒ ඔහුට වඩා වැඩි වගකීමක්‌ භාර දුන්න නිසා. එම වගකීමට සරිලන ලෙස අපි, එම කාර්යමණ්‌ඩලය වැඩි කළා. අපි ජෙනරාල්වරු හත්දෙනෙක්‌ ඔහුට ලබා දුන්නා. නාවික, ගුවන් හමුදා ප්‍රධාන නිලධාරීනුත් ලබා දුන්නා. ඒ සඳහා පුද්ගලයන් ලබාදුන්නෙත්, ෆොන්සේකා මහතා ඉල්ලු අයමයි. එසේ ම යුද හමුදාපති ලෙස ඔහු පාවිච්චි කළ සියලුම වාහන, සියලුම ආරක්‍ෂක භටයන් සරත් ෆොන්සේකාට තබා ගැනීමට ඉඩ දුන්නා. යුද හමුදාපති වශයෙන් ඔහු පාවිච්චි කළ නිල නිවස්‌ දෙකම ඔහුට ලබා දුන්නා.

ප්‍රශ්නය- නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී හමුදා මූලස්‌ථානයේ මුqරය කිරීම සඳහා පත් කර තිබූ සිංහ රෙජිමේන්තුවේ එම සේවා මුරයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණා. එය සරත් ෆොන්සේකා මහතා නොසලකා හැර කටයුතු කිරීමක්‌ නොවෙයිද?

පිළිතුර - ජෙනරාල් ජගත් ජයසූරිය, හමුදාපති වනතෙක්‌, යුද හමුදා මූලස්‌ථානයේ මුරය සිද්ධ කළේ, යුද හමුදාපතිවරයා පත්වන රෙජිමේන්තුවෙන්. සාමාන්‍යයෙන් මෙය සිවිල් ජනතාව දන්නේ නැහැ.

නමුත් හමුදා නිලධාරීන් මේ බව දන්නවා. ඒ අනුව සරත් ෆොන්සේකා යුද හමුදාපති කාලයේ, එම මුරය සිද්ධ කළේ, සිංහ රෙජිමේන්තුව. ඊට පෙර ජෙනරාල් ශාන්ත කෝට්‌ටේගොඩ මහතා යුද හමුදාපති කාලයේ, එම කාර්යය සිදු කළේ පාබල හමුදාව. ඒ, ඔහු පාබල රෙජිමේන්තු නිලධාරියෙකු නිසා. ඊට පෙර ජෙනරාල් දළුවත්ත මහතා හමුදාපති කාලයේ එම මුරය සිදු කළේ සන්නාහ සන්නද්ධ බලකායයි. මේ වගේ ඒ ඒ හමුදාපතිවරුන් පැමිණි රෙජිමේන්තුව තමයි, යුද හමුදා මූලස්‌ථානයේ මුරය ඇති කළේ.

නමුත් ජගත් ජයසූරිය හමුදාපති වුණු අවස්‌ථාවේ, සරත් ෆොන්සේකා ඊට ඉඩ දුන්නේ නැහැ. තමන් හමුදා මූලස්‌ථානයේ සිටි නිසා සිංහ රෙජිමේන්තුවම මේ මුරය පවත්වාගෙන යා යුතු බව, සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. යුද හමුදා සම්ප්‍රදාය කඩලා, සිංහ රෙජිමේන්තුවෙන්ම එම කටයුත්ත කරගෙන යැමට ඔහුට අවසර ලබා දුන්නා.මෙය යුද හමුදාවේ සම්ප්‍රදාය කැඩීමක්‌. සරත් ෆොන්සේකා යුද හමුදාවේ රකින නිලධාරියෙක්‌ නම් එම කටයුත්ත අසාධාරණ බව ඔහුම පිළිගත යුතුයි.

නව හමුදාපතිතුමාට සහයෝගය ලැබෙන පරිදි එම හමුදාපතිතුමාගේ ඒකකයෙන් එම මුqරය කරන්නට දෙන්න තිබුණා. මේ සියලු දේ සිදු කර, අවසානයේදී මහජනතාවට පෙන්නුම් කළේ, වෙනත් දෙයක්‌. තමාගේ ආරක්‍ෂක මුරය ඉවත් කළ බව සරත් ෆොන්සේකා මහජනතාවට අසත්‍ය ප්‍රකාශයක්‌ කළා. තත්ත්වයක්‌ නිර්මාණය කර, අසත්‍ය චෝදනා කරමින්, තමාට අසාධාරණයක්‌ සිදුවන බව ජනතාවට මවා පෑමට ෆොන්සේකා මහතා කටයුතු කළා.

ප්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, යුද්ධය කිරීම සඳහා දේශපාලන නායකයන්ට අවශ්‍යතාවක්‌ තිබුණත්, හමුදාවට එම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වූ බවයි. ඔබ මේ ප්‍රකාශය පිළිගන්නවාද?

පිළිතුර - එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමට සිදු කළ මෙහෙයුමේදී රණවිරුවන් විශාල සංඛ්‍යාවක්‌ ජීවිත පූජා කර තිබෙනවා. ආබාධිත තත්ත්වයට පත්වී සිටිනවා. මේ ලෙස විශාල පරිත්‍යාගයක්‌ කර තිබෙනවා.

එසේම ජනතාවගේ පූජිත තත්ත්වයට පත්වූ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විමලරත්න, ජෙනරාල් ජානක පෙරේරා, ජෙනරාල් ලකී විඡේරත්න, ජෙනරාල් ලකී අල්ගම, ජෙනරාල් නලින් අංගම්මන වැනි නිලධාරීන් මෙම උසස්‌ තත්ත්වයට හමුදාව ගෙන ඒමට දායකත්වය ලබා දුන්නා. විශේෂ බලකාය සකස්‌ කිරීමට කටයුතු කළ ජෙනරාල් ගාමිණි හෙට්‌ටිආරච්චි වැනි නිලධාරීන් ඉන්නවා. කොමාන්ඩෝ බල ඝනය ඇති කිරීමට මුල් වූ නිලධාරීන් ඉන්නවා. ඔවුන් සියලුදෙනාගේ වෙහෙස නිසයි, හමුදාව මේ තත්ත්වයට පත් වූයේ.

නමුත් ඔවුන්ගේ කැපවීමේ ප්‍රතිඵල දැක ගැනීමට නොහැකි වූයේ, රටේ නායකයන්ගේ කැපවීම නොතිබුණු නිසා. ඒ ඒ අවස්‌ථාවන්හිදී ඒ දේශපාලන නායකයන් විදේශ බලපෑම්වලට යටත්වී වැරැදි තීරණ ගත්තා. හමුදාවට අවශ්‍ය තරම් සෙබළුන් වැඩි කිරීමට එම දේශපාලන නායකයන් ඉඩ ලබා දුන්නේ නැහැ.

හමුදාවට අවශ්‍ය භාණ්‌ඩ ලබාදීමට එම දේශපාලන නායකයන්, සමහර අවස්‌ථාවලදී මැලි වුණා. සමහර නායකයන් වැරැදි මතවල එළඹගෙන සිටියා. සමහර දේශපාලන නායකයන් සිටියේ, යුද්ධය දිනන්න බැහැ. මෙය යුද්ධයකින් විසඳන්න බැහැ. මෙය සාකච්ඡාවකින් විසඳිය යුතුයි කියන මතයේ.

යුද හමුදාවට බැඳීම නැවැත්වීමට නොයෙක්‌ ව්‍යාපාර කරපු අය හිටියා. සෙබළුන්ට සමච්චල් කරපු අය හිටියා.

සාම ගිවිසුම්වලට ගියා.හමුදා ක්‍රියාමාර්ගයකට යනවාද? නැත්නම් සටන් විරාමයකට යනවාද? කියන තීරණය ගන්නේ, රටේ දේශපාලන නායකත්වය. සාම ගිවිසුම් අත්සන් කරනවාද ආදී තීරණ ගන්නේ හමුදාව නොවෙයි. රටේ දේශපාලන නායකත්වය විසින්. වඩමාරච්චි ක්‍රියාන්විතය නතර කරන්න තීරණය කළේ, ජනාධිපතිතුමා. සාම ගිවිසුම්, සටන් විරාමවලට යන්න තීරණය කළේ එවකට හිටපු ජනාධිපතිතුමා. සාම හමුදාව ගෙන්වීම තීරණය කළෙත් ජනාධිපතිතුමා. හමුදාව යෑවීමට තීරණය කළෙත් ජනාධිපතිතුමා. ඒ හැමදේකටම ඉවහල් වුණේ ජනාධිපතිතුමා.

එල්. ටී. ටී. ඊ. නායකයන් සමග අතට අතදීලා සාකච්ඡා කරන්න හමුදා නිලධාරීන් කැමැති වුණේ නැහැ. ඒ අවස්‌ථාවේ තිබු රජයේ ප්‍රතිපත්තිය වුණේ ඒකයි. ඒ ප්‍රතිපත්තියට විරුද්ධව ගිහිල්ලා, හමුදාවට වැඩ කරන්න බැහැ. රණවිරුවන්ට සටන් කරන්න කිව්වා නම් ඔවුන් සටන් කළා. ඔවුන්ට ආයුධ දුන්නා නම් ඔවුන් ඒක කළා. හමුදා නිලධාරීන්ගෙ වැරැද්ද නිසා තමයි, ඒක කරන්න බැරි වුණේ. දේශපාලන තීරණය හරිහැටි ගත්තා යෑයි කීම අසත්‍යයක්‌. හමුදාවට අපහාසයක්‌.හමුදාවක්‌ වැඩි කිරීමේ බලය, බල ඇණි ඇති කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ අවස්‌ථාවේ හිටපු නායකයන්, එක්‌කෝ හමුදා වැඩිවීමට බය හිතෙන්න ඇති. එක්‌කෝ හමුදාව වැඩි කිරීම අවශ්‍ය නැති බව සිතන්න ඇති. එහෙම නැත්නම් ආර්ථික හේතු පිළිබඳව බලන්නට ඇති. මේ මොන හේතු නිසා හෝ ඒ අවස්‌ථාවේ හිටපු නායකයන් ඒ තීරණය ගත්තේ නැහැ. ඒ නිසා, මේක අවසන් කරන්න බැරි වුණා.

නමුත් මෙවර අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ ආරක්‍ෂක ප්‍රතිපත්තිය ලෙස හමුදාමය වශයෙන් එල්. ටී. ටී. ඊ. ය පරාජය කළ යුතු බවත්, ඊට අවශ්‍ය සියලුම හමුදා බලය වැඩි කළ නිසාත් මේක කරන්නට පුළුවන් වුණා. තිබුණු හමුදාවට වඩා දෙගුණයකින් හමුදා පිරිස වැඩි කිරීමට අතිගරු ජනාධිපතිතුමා බය වුණෙත් නැහැ. මැලි වුණෙත් නැහැ. මේ නිසා යුද්ධයේදී මූලික වුණේ ජනාධිපතිතුමාගේ තීරණය බව පැහැදිලියි.

ප්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස තරග බිමට පිවිස සිටිනවා. ඔහුට ආණ්‌ඩුව පාර්ශ්වයෙන් සිදු වූ අසාධාරණ කිහිපයක්‌ ගැන කියවෙනවා. එහිදී ප්‍රමුඛ වී තිබෙන්නේ විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ ආරක්‍ෂාව. ඔහුට ආරක්‍ෂාව රජයෙන් ලබාදෙන්නේ නැද්ද?

පිළිතුර - ඔහු තනතුරින් අස්‌වෙච්ච දිනයේ සිටම අසත්‍ය ප්‍රකාශ කළා. සෑම සිද්ධියක්‌ම විකෘති කර අනුකම්පාවක්‌ ලබාගැනීමයි මොහුගේ අරමුණ වුණේ. ඔහු නිර්මාණය කරපු තත්ත්වය සඳහා බොරු ගොතමින් ජනතාව නොමඟ යෑවීමට තැත් කරනවා.

ශුද්ධවන්ත චරිතයක්‌ රටට පෙන්නන්න හදන මොහු හිතා මතාම ව්‍යාජ ප්‍රකාශයන් කරන බව පැහැදිළියි. පසුගිය දිනවල ඔහු එවැනි අසත්‍ය ප්‍රකාශ රාශියක්‌ කළා. ඒ අතරින් පළවෙනි දේ තමයි, ආරක්‍ෂාව ගැන කියන කතාව. ඔහු තනතුරෙන් අස්‌වෙලා යන දිනයේ ජනාධිපතිතුමාගෙන් ඔහුගේ ආරක්‍ෂාව ඉල්ලුවා.

එතැනදී ජනාධිපතිතුමා කිව්වේ, ආරක්‍ෂාව අපි සපයනවා, ඔබට අවශ්‍ය දේ කියන්න කියලා. එතකොට ඔහු ඔහුගේ අවශ්‍යතා සඳහන් කරලා ලියුමක්‌ එව්වා. ඔහු ඉල්ලා තිබුණු සාමාන්‍ය භටයන් සමග කමන්ඩෝ භටයන් ප්‍රමාණය අපි ලබා දුන්නා. කාන්තා සෙබළියන් පස්‌දෙනා පමණයි ලබා නොදුන්නේ. කාන්තා සෙබළියන් ලබාදුන් විට එතැනදී පරිපාලන ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ඒ අයට වෙනම නවාතැන් ලබාදිය යුතු වෙනවා. අනිත් හැම දෙයක්‌ම ලබාදුන්නා.

ඒකත් දුන්නාට පස්‌නේ එයා වෙනත් ලබාදිය නොහැකි තරම් ප්‍රමාණයක්‌ පෙන්නුම් කරලා, රටට කිව්වා මට ආරක්‍ෂාව දෙන්නේ නැහැ කියලා. සෙබලුන් 600 ක්‌, බ්‍රිගේඩියර්ලා දෙදෙනෙක්‌, වාහන විශාල ප්‍රමාණයක්‌ ඉල්ලලා ඔහු කියන්න පටන්ගත්තා මගේ ආරක්‍ෂාව නැති කරලා කියලා. ඔහුට අවශ්‍ය යෑයි කියපු ආරක්‍ෂක භටයන් සපයා දුන්නාට පස්‌සේ තවත් නැහැ කියනවා.

ප්‍රශ්නය - මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාටත් කමාන්ඩෝ භටයන් 10 දෙනෙක්‌ ලබා දී තිබෙන බවත් තමාගේ ආරක්‍ෂාවට කොමාන්ඩෝ සෙබලුන් එක්‌ අයකුවත් ලබා දී නැති බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා.

පිළිතුර - කමාන්ඩෝ භටයන් 10 ක්‌ ඉල්ලුවා. අපි 12 ක්‌ දුන්නා. කමාන්ඩෝ භටයන් 10 නෙවෙයි 12 ක්‌ දෙමු කියලා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාමයි කිව්වේ. කමාන්ඩෝ භටයන් 4 දෙනා ලෙසයි කණ්‌ඩායම් හදන්නේ. ඒ නිසයි අපි 12 ක්‌ම දුන්නේ. මේ වගේ ඇත්ත වසන් කරලා බොරු කියන කෙනෙක්‌ ගැන කොහොමද රට විශ්වාසය තබන්නේ.

ප්‍රශ්නය - ෆොන්සේකා මහතා ඔහුගේ නිල නිවාසයෙන් ඉවත් වූ විට මෙම ආරක්‍ෂාව නැති කරනවාද?

පිළිතුර - එහෙම ඉස්‌සරහට හිතලා තමයි, එයා ඉල්ලුම් කරන්න ඇත්තේ. ඒක අපි දීලා තියෙනවා නේ. එයා ගෙදරින් යනකොට අපි ආරක්‍ෂාව අයින් කරනවා කියන එක බොරු කතාවක්‌.

ප්‍රශ්නය - ඔහුට නිල නිවසින් යැමට රජය දැනුම් දී තිබෙනවා. මෙතරම් ඉක්‌මණින් නිල නිවසින් ෆොන්සේකා මහතා පිටමං කිරීමට ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේ ඇයි?

පිළිතුර - ඔහු ජනාධිපතිතුමාට දැනුම් දීලා තිබුණා නිල නිවස ඔහුට අවශ්‍ය 22 වැනිදා වනතෙක්‌ පමණයි කියලා. ඒ නිසා තමයි 22 වැනිදා දවස තීරණය වුණේ.

ප්‍රශ්නය - ෆොන්සේකා මහතා නව නිවසක්‌ ලබාගත් පසු නිල නිවස ලබාදීමට සූදානම් වුවත් ඔහුට නව නිවසක්‌ ලබා ගැනීමට ආණ්‌ඩුවට සම්බන්ධ මැරයන් බාධා කරන බව ඔහු ප්‍රකාශ කළා. මේ නිසා ඔහුට නව නිවසක්‌ ලබාගැනීමට නොහැකිවීමෙන් නිල නිවස බාරදීමට නොහැකි බව පැවසෙනවා.

පිළිතුර - ඔහු මේ කතා කරන්නේ යුද හමුදාපතිතුමාගේ නිල නිවාසය ගැනයි. සාමාන්‍ය දේශපාලන පච ව්‍යාපාරයේ වැඩ තමයි ඔහු දැන් කරන්නේ. මෙය සත්‍ය විකෘති කර පෙන්නවීමක්‌. මැරයෝ ඇවිල්ලා ගෙවල් දෙන්න එපා කියනවා. වගේ බොරු කතා කියලා තමයි මෙයා දැන් මිනිස්‌සු රවට්‌ටන්න හදන්නේ. එයා ඔය රාජකීය මාවතෙයි හැම තැනම ගෙවල් අරගෙන තියෙන්නේ. එහෙම ගෙවල් ගන්න නොදී ඉන්න අපි කාටවත් අවශ්‍යතාවක්‌ නැහැ.

ප්‍රශ්නය - කැලණිය පන්සලට ෆොන්සේකා මහතා ගියාම ආණ්‌ඩුවට සම්බන්ධ පිරිස්‌ ඔහුට හූ කියා තිබෙනවා. මේ නිසා මෙවැනි චෝදනා එකවර අහක දැමීමට නොහැකියි නේද?

පිළිතුර - ඒක වුණත් ඇත්ත වසන් කරලානේ තියෙන්නේ. මම ඒ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වලා නැහැ. එතැනට කලින් පැමිණි ස්‌වාමීන්වහන්සේලා ඇතුළු පිරිසකට බෝමළුවට යැමට නොදී කරපු තර්ජනයක්‌ නිසයි ඒ සිද්ධිය ඇතිවෙලා තිබෙන්නේ. හමුදාපති ලෙස ඔහුට කවුරු හරි හූ කිව්වා නම් අපිත් ඒකට විරුද්ධ වෙනවා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එයා හමුදාපති වෙලා හිටිය එකත්, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි වෙලා හිටිය එකත් ඇත්ත. ඔහු අවුරුදු ගාණක්‌ හමුදාවේ හිටිය එකත් ඇත්ත. නමුත් ඊට පසු එයා කරන දේවල්වලට ඔහුගේ හමුදා ජීවිතය ඇතුළු කර ගැනීමත් ජනතාව මුලා කිරීමක්‌.

හැම දෙයක්‌ම කරලා, ඒක හමුදාවට කරපු නිග්‍රහයක්‌ කියන එක වැරදියි. තමන් දේශපාලනයට පැමිණියාට පසු යම් යම් දේවල්වලට මුහුණපාන්නට වෙනවා. ඒක දේශපාලනයේ ස්‌වරූපය. ඒක හමුදාවට නිග්‍රහයක්‌ කියලා විග්‍රහ කිරීම වැරදියි. තමන් කරන දේකට, යම් දෙයකට මුහුණපාන්නට වෙනවා නම් ඒකට හමුදාව ගාවගන්න එක වැරදියි. ඔහු මේ වෙනකොට හමුදාවෙන් අයින් වෙලයි ඉන්නේ.

ප්‍රශ්නය - හමුදාවේ නිලධාරීන් යොදවලා, ආණ්‌ඩුව ෆොන්සේකා මහතාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බවට ඔහු චෝදනා කරනවා. ඔහු හමුදාවෙන් ඉවත් වූ පසු ආණ්‌ඩුව හමුදා නිලධාරීන් ලවා ඔහුට පිළිතුරු දීම නිවැරදිද?

පිළිතුර - හමුදාව හා අදාළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔහුගේ වාහන ගැන හෝ චෝදනා නැගුණ විට ඊට පිළිතුරු දිය යුත්තේ හමුදාවයි. තමා දේශපාලනයට ආවාට පසු හමුදාව හා සම්බන්ධ දේවල් සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනේ. එහෙම නැතිව ඒක දිගටම පවත්වාගෙන යන්න ගියාම ප්‍රශ්න මතු වෙනවා. හැම තිස්‌සේම යම්කිසි තත්ත්වයක්‌ සඳහා වාතාවරණය ඔහු සකස්‌ කරලා අවසානයේදී තමාට ඒකෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න, අනිත් පැත්තට දෝෂාරෝපණය කරනවා. මේක තමයි, ඔහු ආපු දවසේ ඉඳලාම කරන්න පටන් ගත්තේ. මේක නිසා ඔහු වංක, බොරු කියන ඇත්ත විකෘති කරලා, අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන්න හදන පුද්ගලයෙක්‌ කියලයි මට පෙනෙන්නෙ. මෙය විනයගරුක හමුදා නිලධාරියකුට නොහබිනා ගතියක්‌. මහත්මා ගතියක්‌ නොවේ.

ප්‍රශ්නය - ඔහුගේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්‌ඩුව කරන මැදිහත්වීම කෙබඳුද?

පිළිතුර - ඔහු තමයි නිල නිවස 22 වැනිදා වෙනකන් ඉල්ලුවේ. ඔහු පදිංචිවෙලා ඉන්නේ යුද හමුදාපතිගේ නිල නිවාසෙ. ඔහු හමුදාපති වෙලා ඉන්න කාලේ නිල නිවාස දෙකක්‌ පාවිච්චි කළා. බෞද්ධාලෝක මාවතේ පිහිටි ජෙනරාල් නිල නිවස එකක්‌. ඒක සම්ප්‍රදායික නිල නිවාසයයි. ඊට පසු මෙයට ආරක්‍ෂාව සඳහා යුද හමුදා මූලස්‌ථානය ඇතුළත නිවාස දෙකක්‌ එකතු කරලා, තව නිල නිවාසයක්‌ හදාගෙන හිටියා. ඔහු යුද හමුදාපතිකමින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි වුණාට පසු මේ නිල නිවාස දෙකම ඔහු පාවිච්චි කළා. ඒකට යුද හමුදාපතිතුමා ඔහුට අවසර දී තිබුණා. එදා ඉඳලා අද තෙක්‌ යුද හමුදාපතිවරයාට හිමි නිල නිවස අද සරත් ෆොන්සේකා පාවිච්චි කරනවා.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානිකමෙන් ඉවතට යනකනුත් ඔහු මේ නිල නිවාස දෙක පාවිච්චි කළා. අදත් යුද හමුදාපති නිල නිවස ඔහු පාවිච්චි කරනවා. නිල නිවාස දෙකක්‌ම ඔහු පාවිච්චි කර කර දිගින් දිගටම ජනතාව මුලා කරන බොරු කියනවා. මේක මඩ ගැහිලි නෙවෙයි නේ, මේවා සත්‍ය කරුණු.

යුද හමුදාපතිගේ නිල නිවස පාවිච්චි කරන ගමන් තමයි, මේ දේශපාලනය කරන්නේ. මේක සම්පූර්යෙන් වැරදි, අසාධාරණ, නීතිවිරෝධී වැඩක්‌. යුද හමුදාපතිතුමාට අයත් නිල නිවාසයේ සිට දේශපාලනය කිරීම සම්ප්‍රදායටත, නීතියටත්, සදාචාරයටත් විරුද්ධයි.

ඒක භයානක දෙයක්‌.නිල නිවස සම්බන්ධයන් හමුදාවේ ඉතිහාසය ගෙන බලන විට සමහරු ඒවා ඉක්‌මනට දීලා තබෙනවා. තවත් අය නිල නිවාසවලින් එලවලා තියෙනවා. මීට පෙර සිටි ජෙනරාල් ශාන්ත කෝට්‌ටගොඩ යුද හමුදාපතිතුමාගේ දියණියගේ මංගල්‍යය සඳහා එම නිල නිවස පාවිච්චි කිරීමට සූදානම් කර තිබුණා. නමුත් සරත් ෆොන්සේකා ඊට ඉඩ නොදී එම නිල නිවාසය ලබාගත්තා.

එහෙම කරපු අය තමයි අද නිල නිවාස බලෙන් තියාගෙන දේශපාලන වැඩවලට පාවිච්චි කරන්නේ. ඔහු යුද හමුදාපතිකමෙන් ඉවත්වෙලා හුඟක්‌ කල්. ඒත් තවම යුද හමුදාපතිතුමාගේ නිල නිවාසය පාවිච්චි කරනවා. ඒක විනයගරුක පුද්ගලයකු කරන දෙයක්‌ද?සරත් ෆොන්සේකා හමුදාපති කාලේ ඔහු හමුදාවේ ජෙනරාල්වරු, නිලධාරීන් ඉවත් කළා. ඒ අය ඉවත් කරනකොට ඔවුන්ට වාහන, නිවාස තියාගන්න දුන්නද? නැහැ.

නමුත් ඔහු ලියුමක්‌ ලියලා මට මෙච්චර ආරක්‍ෂක කණ්‌ඩායමක්‌ අවශ්‍යයි කිව්වාට පසු බලෙන් සෙබලුන් හා වාහන තබාගෙන යම්කිසි සිද්ධියක්‌ ඇති කිරීම කොච්චර වැරදිද? එයාට අවශ්‍ය ගාන කිව්වටත් පස්‌සේ වැඩිපුර තව තියාගන්නේ ඇයි? එහෙම සිද්ධියක්‌ ඔහුම නිර්මාණය කරලා. ඒක ජනතාව හමුවට ගෙනැල්ලා ඔහු බොරු කියනවා.

ප්‍රශ්නය - ෆොන්සේකා මහතාට අයත් ඉඩමක ඔප්පුව ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට අධිකරණයට ගොස්‌ තිබෙනවා. රජය ඒ පිළිබඳව දක්‌වන්නේ කුමන අදහසක්‌ද?

පිළිතුර - එම මූලික අයිතිවාසිකම් නඩුවේදී ඔහු මගෙන් ඉඩමක ඔප්පුවක්‌ ඉල්ලනවා. මේකත් ජනතාව මුලාකිරීමක්‌. ත්‍යාගයක්‌ වශයෙන් ඔහුට ඉඩම් කැබැල්ලක්‌ ලබාදීමට මමයි, ජනාධිපතිතුමාට යෝජනා කළේ. 2008 නොවැම්බර් මාසයේ 12 වැනිදා මම නාගරික සංවර්ධන අධිකාරියට ලිපියක්‌ යොමුකරලා, එම ඉඩම ඉල්ලුවා. ඔහු ලබාදෙන්න කියලා යෝජනා කරලා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් යොදවලා, නාගරික සංවර්ධන අධිකාරියෙන් පර්චස්‌ 10 බැගින් ඉඩම් කැබැලි තුනක්‌ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ලබාගන්න සැලසුම් සකස්‌ කළා. ඊට පස්‌සේ මේ ඉඩම මැනලා, ප්ලෑන සකස්‌ කරලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් අපේ අමාත්‍යාංශයත් එක්‌ක කැබිනට්‌ පත්‍රිකාවක්‌ දාලා මේ ඉඩම ලබාගත්තා.

ඒ ඉඩම ලබාගත්තාට පසු සරත් ෆොන්සේකා කිව්වේ පර්චස්‌ 10 මදි කියලා. ඊට පසු මම නැවත ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන නාගරික සංවර්ධන අධිකාරියට කතා කරලා, පර්චස්‌ 10 ක පහළොව දක්‌වා වැඩ කරගත්තා. ඒ සඳහා යළිත් කැබිනට්‌ පත්‍රිකා ඉදිරිපත් කළා. ඊට පස්‌සේ යළිත් එයා කිව්වා, ඒකත් මදි කියලා. ඊට පස්‌සේ පර්චස්‌ 25 ක්‌ කළා.

ඇත්ත වශයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය විකිණීමට සූදානම් කරගෙන තිබූ ඉඩමක්‌ තමයි මෙහෙම ලබාගත්තේ. නාගරික සංවර්ධන අධිකාරියේ සැකසුණු විකිණීමට සියල්ල සූදානම් කළ ඉඩමක්‌ මම මෙහෙම ගැනීම ගැන ඒ අය බොහෝම අසතුටු වුණා. මේ ඉඩම වටිනාකම බැලූ විට එක්‌කෙනෙකුට හම්බු වෙන පර්චස්‌ 25 මිලියන 90 ක්‌ හෙවත් ලක්‍ෂ 900 ක්‌ පමණ වෙනවා. ඒ කියන්නේ කෝටි නවයක්‌ විතර වෙනවා.

මේ ඉඩම් මැනීමට ඒ සඳහා ඔප්පු ලිවීමට අවශ්‍ය වියදම් මම දුන්නේ අපේ අමාත්‍යාංශයේ මුදල්වලින්. මේ සියලු දේවල් මම මුල්වෙලයි කළේ. ඒ සඳහා අපේ අමාත්‍යාංශයේ වෙනම නිලධාරියකු යොදවලා අපි ඒ වැඩ කටයුතු කළා. වැඩ කටයුතු සම්පූර්ණයෙන් නිමවන විට එය මිලියන 100 කට අධික ත්‍යාගයක්‌.

මම ඒ ඔක්‌කොම කරාට පස්‌සේ ඔහු යනවා උසාවියට. මේක දෙන්න කියලා. මේක කරන්නේ ජනතාව මුලාකිරීමට. සම්පූර්ණයෙන් බොරු කියන කෙනෙක්‌ කොහොමද නායකයෙක්‌ වෙන්නේ.

මේ විතරක්‌ නෙවෙයි, යුද හමුදාපතිවරුන්ට විශේෂ සැලකිල්ලක්‌ ලෙස ලැබෙන දෙයක්‌ තිබෙනවා. ඔවුන් විශ්‍රාම යන විට ඔවුන් පාවිච්චි කළ වාහනය අවුරුදු තුනකට වඩා පරණ නම් ඒ වාහනය ඔහු විශ්‍රාම යැමේදී බදු රහිතව ඔහුට ලබාගන්නට පුළුවන්. සරත් ෆොන්සේකා යුද හමුදාපතිකමෙන් විශ්‍රාම ගියේ නෑ. ඒ නිසා වාහනය රැගෙන යැම සඳහා ඔහුට තිබෙන අයිතිවාසිකම නැති වෙනවා. දෙවැනි කාරණය, මේ වාහනය ඔහු අරගෙන අවුරුදු තුනට වඩා අඩුයි. මේ නිසා එම හිමිකම ඔහුට නැතිවෙනවා. මෙතැනදීත් සරත් ෆොන්සේකා මගෙන් ඉල්ලීමක්‌ කළා වාහනය ඔහුට ලබාදෙන්න කියලා.

මේ වාහනය රුපියල් මිලියන 45 ක්‌ පමණ හෙවත් රුපියල් ලක්‍ෂ හාරසිය පනහක්‌ වෙනවා. ඒ කියන්නේ කෝටි හතරහමාරක්‌ විතර වෙනවා. නමුත් ඔහුට ඒක ගන්න වෙන්නේ මිලියන 3 කට විතර. අපි ඒකටත් විශේෂ කැබිනට්‌ පත්‍රිකාවක්‌ දාලා අවසරයක්‌ අරගත්තා.

ඉතිං බලන්න අපි ඔහුට කොපමණ සලකලාද කියලා.මේවාගේ දේවල් හංගලා අසත්‍ය කියමින්, ඔහු කරුණු හොයනවා, ජනතාවට බොරු මවාපාන්න. ජනාධිපතිතුමා පත්වෙනකොට විශ්‍රාම යැමට දවස්‌ ගණනක්‌ තිබුණා සරත් ෆොන්සේකා වසර දෙකකට පමණ තව කාලය තිබ්බ යුද හමුදාපතිතුමාව යවලා, මේ විශ්‍රාම යන්න හිටපු පුද්ගලයාව ගෙනල්ලා, හමුදාපතිකම දීලා, ඒ කාර්යය සඳහා අවශ්‍ය වෘත්තීමය අවශ්‍යතා සපයලා, ඔක්‌කොම කළාට පස්‌සේ මෙහෙම දෙයක්‌ම මොහු කරන්නේ ඇයි කියන එක හැම දෙනාටම ප්‍රශ්නයක්‌. බොරු අවස්‌ථාවන් මවාපාලා ජනතාව මෙයාගේ අමානුෂික ක්‍රියාව සාධාරණීය කරන්න හදනවා.අපි මානුෂික මෙහෙයුම කරද්දී ඊට සම්පූර්ණයෙන් එරෙහි වෙච්ච ඊට කිසිම උපකාරයක්‌ නොකරපු, අපිව විවේචනය කරපු, හමුදාපතිවරු විවේචනය කරමින් කවදාවත් යුද්ධයකින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියපු අය සමඟ අද ගිහින් අත්වැල් බැඳගෙන. යුද්ධ කරන්න බැහැ කියපු කොටි සමඟ එකට ගිවිසුම් අත්සන් කරපු අය එක්‌ක අත්වැල් බැඳගන්නවා.

ඔහු අද ඉන්නේ හමුදාව සමච්චලයට ලක්‌ කරපු පුද්ගලයන් සමඟ.

සරත් ෆොන්සේකාට සැලකුවේ නැහැ කියන මිත්‍යාවක්‌. මෙපමණ අමානුෂික තීරණයක්‌ ගැනීම සඳහා ඔහු මවාපෙන්වන දේවලුත් ඔහුගේ පුද්ගලික සිද්ධීන් කිහිපයක්‌. පමණයි. නැතුව රට, ජාතිය වෙනුවෙන් මොකක්‌ හරි අයහපතක්‌ ආණ්‌ඩුව කරපු නිසා නොවෙයි.

No comments:

Post a Comment