Wednesday 9 December 2009

යුද්ධයෙන් පසුවත් ජෙනරාල් ආයුධ ගෙන්නන්න හැදුවා ආරක්ෂක ලේකම් එය නතර කළා-- සෞඛ්‍ය ඇමැති

දයා පෙරේරා සහ දුමින්ද ගුරුගේ-දිනමිණ

ප්‍රභාකරන් ඝාතනය කොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා සිය නිලයේ බලතල පාවිච්චි කරමින් මෙරටට අවි ආයුධ ගෙන ඒමට උත්සාහ දැරූ බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති සහ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කෙළේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මේ අවි ආයුධ ගෙන ඒම වැළැක්වූ නිසා සරත් ෆොන්සේකා මහතා රජය සමඟ අමනාප වී විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ද ඇමැතිවරයා කීවේය.

ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා අවි ආයුධ තොගයක් මිලදී ගැනීමට දැරූ උත්සාහය තමා වැළැක්වීම නිසා රජය සමඟ අමනාප වූ සරත් ෆොන්සේකා මහතා ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතට ප්‍රකාශ කොට තිබූ බව පැවැසූ ඇමැතිවරයා එහෙත් සත්‍යය නම් එහි අනෙක් පැත්ත බව ද කීවේය.

සරත් ෆොන්සේකා මහතා සිය නිල බලය පාවිච්චි කරමින් අවි ආයුධ මිල දී ගැනීමට දැරූ උත්සාහය වැළැක්වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවද, මේ අවි ගනුදෙනුවලට සම්බන්ධ ලිපි ලේඛන සියල්ල සභාගත කරන බව ද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.


මේ සිද්ධිය වැරැදි ලෙස සන්ඩේ ලීඩර් පුවත්පතේ පළකරමින් රජයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ගෙන යන බවද ඇමැතිවරයා කීවේය.


යුද්ධය පැවැති අවස්ථාවේදී ඇණවුම් කර තිබූ එහෙත් යුද්ධය අවසන් වූ පසු මෙරටට ලැබීමට තිබූ අවි ආයුධ සියල්ල මෙරටට ගෙන ඒම ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වී වැළැක්වූ බවද සමහර ටෙන්ඩර් පවා අවලංගු කළ බව ද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.


ත්‍රස්තවාදය නිමා කිරීමට රණවිරුවන් සිදු කළ මෙහෙය අදත් හෙටත් හැමදා එක ලෙස අගය කරන බව ද මේ යුද්ධය ජයගැනීමට ජාත්‍යන්තර බලපෑම්වලට අභීතව මුහුණ දෙමින් මේ සියලු කටයුතු ජනාධිපතිතුමා කළමනාකරණය නොකරන්නට ත්‍රස්තවාදය නිමා කිරීමට ඉඩ නොලැබෙන බවද කීවේය.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete