Saturday 26 December 2009

මාධ්‍ය සාකච්ඡාවක්

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ
ප්‍රශ්නය: මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණයට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්, මේ මැතිවරණය හා බැදුන ගැටලු රාශියක් රට පුරා පැන නැගී තියෙනවා, මේ ගැටලු වලට පැහැදිලිව පිලිතුරු දිය හැකි අයෙකු අද ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයෙන් සොයා ගැනීම අසීරු කරුණක්, එකම ප්‍රශ්නයට එක එක නියෝජිතයින් විවිධ පිලිතුරු සපයනවා, මෙය මාධ්‍යවේදීන්ට මහත් අපහසුවක්, ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ.මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර හමාරයි; ඔබ මේ තීරණය සම්බන්ධව දරන ආකල්පය කුමක්ද?

පිලිතුර: මේ සමාජය මහා සංකීර්ණ සමාජයක්; මේ සමාජය තුල පවතින වැදගත්ම ඒකකය මිනිසායි. අපට පෙනෙන මිනිසා අප කිසිවෙකුත් නොදකින මනස හා බද්ධවයි පවතින්නේ; මනස තුල අප කිසිවෙකුත් නොදකින මිනිසුන් රාශියක් ජීවත් වෙනවා ඔවුන් අතරත් නිරන්තර අරගල සිදුවෙනවා; විටෙක මිනිසා තුල ජීවත්වෙන සත්‍ය ගරුක මිනිහා ජය ගන්න අතර විටෙක ඔහු තුල ජීවත්වන කපටියාට පුලුවන් වෙනවා, ඔහු තුල ජීවත්වෙන යුක්ති ගරුක මිනිසාව විනාශ කරන්න; මේ වනවිට සිදුව ඇත්තේ ජනතා විමුක්ති ‍පෙරමුණහි දේශපාලන මණ්ඩල සභිකයින්ගේ මනස් තුල ජීවත්වූ සැබෑ යුක්ති ගරුක මිනිසාව විනාශ කර දමා තිබීමයි. ඒ නිසා එම පක්ෂය සෘජුවම සරත් ෆොන්සේකා මහතාට සහය පලකිරීමට තීරණය කරල තියෙනවා. මෙය ජනතා විමුක්ති පෙරමුණේ උපතට හේතුවූ බීජයට එරෙහිව ගත් තීරණයක්.
ප්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණ කාලාන්තරයක් මුලුල්ලේ මේ රටේ විධායක ජනාධිපති ධූරය ඉවත් කරවා ගැනීමට අඛණ්ඩව අරගලයක් දියත් කල පක්ෂයක්; එම අරගලය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හරහා ජය ගැනීම ඔවුනගේ අරමුණ බව ඔවුන් කියා සිටිනවා; ඒ සම්බන්ධව ඔබ දරන්නේ කුමන අදහසක්ද?
පිලිතුර: ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ විධායක ජනාධිපති කම ඉවත් කරවා ගැනීම උදෙසා බිහිකල පක්ෂයක් නම් නොවේ. විධායක ජනාධිපති කියන්නේ, සියලූම බලතල හිමි රාජ්‍ය නායක ධූරයක්. ඒ ජනාධිපතිතුමා, හමුදාපති සතු සියලුම බලතල ඔහුට ලබාදුන් නිසා යුද්ධය ජයග්‍රහණය කල බව ඔබ මනාව දන්නවා; කප්පාදු කල පදවියක් ගන්න මේ ලෝකයේ කිසිම පුද්ගලයකු කැමති නැහැ. අපි සැබෑ ලෙසම අපේක්ෂා කරන්නේ තමන් දරන තනතුරට හිමි බලතල අනිවාර්යෙන් හිමිවිය යුතු බවයි.
ප්‍රශ්නය: ඔබ ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ධූරයට විරුද්ධ නැද්ද?
පිලිතුර: ඔය ප්‍රශ්නයට පිලිතුර, 1982 ජනාධිපතිවරණයේදී පැහැදිලිවම අප ප්‍රකාශ කලා. එදා අප බලය ඉල්ලුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නම් නොවේ. ඒ ජනාධිපති බලතල උපයෝගී කරගෙන මෙරට තුල නව සමාජ සංස්කෘතියක් ගොඩනංවන්නයි.
ප්‍රශ්නය: ඔබට 1982 ජනාධිපතිවරණයේදී, කිරීමට අවශ්‍ය නොවූ දෙයක්; රටේ අංක එකේ ප්‍රශ්නය ලෙස හුවා දැක්වීමට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ ඇයි?
පිලිතුර: මේ රටේ මූලික වශයෙන් ජන බල ඇණි නවයක් තියෙනවා. ඒවා පිලිවෙලින්; භික්ෂූන් වහන්සේලා, වෛද්‍ය පරම් පරාව, ගුරු පරපුර, බුද්ධිමතුන්, ආරක්ෂක හමුදාවන්, ගොවියන්, කම්කරුවන්, රැකියා විරහිත තරුණ පරම්පරාව හා ශිෂ්‍යයින් වශයෙන් නම් කරන්න පුලුවන්.
මේ කාගේ කුමන ප්‍රශ්නය විසදන්නද විධායක ජනාධිපති ධූරය හරස් වෙලා තියෙන්නේ? ඇත්ත වශයෙන් එහෙම ගැටලුවක් ඇතිවෙලාම නැහැ.
සැබෑ ලෙසම මේ ප්‍රශ්නය යම් තරමකින්වත් කථා කිරීමට කාලය මිඩංගු කල යුතු කරැණක් නම් නොවේ. නමුත් මේ ප්‍රශ්නය අද දේශපාලන ‍පිටියේ මහා විශාල ආන්දෝලනාත්මක පෙරලියක් කරන අබිං කන්දරාවක් බවට පත්කර හමාරයි. ඒ නිසා මටත් අනිවාර්යෙන්ම සිද්ධවෙනවා මේ සම්බන්ධව ජනතාවට සැබෑ තත්වය හෙලිකරන්න.
සියලූම ජන බලමුළු වලට ඇත්තේ ඔවුනට ආවේනික වූ ගැටලු මිස, විධායක ජනාධිපති ධූරය නිසා ඔවුනට සිදුවූ ඇබැද්දි නම් නොවේ.
දැන් ඔබම සිතා බලන්න මෙරට භික්ෂුන්වහන්සේලාට විධායක ජනාධිපතිකම නිසා වී ඇති හානිය කුමක්ද?
මෙහි භයානක කම පුන පුනා ඉදිරිපත් කරන දේශපාලනඥයින්ට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයට පිලිතුර සදහා වෙනත් කිසිදු රජයන්ගෙන් සිදු නොවූ මහා විනාශකාරී ක්‍රියාවක් සොයා ඉතිහාසය සමීක්ෂණය කරන්න. ඒ අයට කිසිදු කරුණක් සොයා ගන්න ලැබෙන්නේ නැහැ.


1966 ජනවාරි මාසේ 8වෙනිදා කොල්ලුපිටියේ ගාලුපාර මත වාඩිවී සිටි මහා සගරුවන මතින් වාහන පදවාගෙන ගොස් වෙඩිතබා මරා දැමූයේ විධායක ජනාධිපති බලතල ඇති රජයක් නොවන අතර, ඊට එහා ගිය අපරාධයක් මේ විධායක ජනාධිපතිකම කියන සීමාව අතර අපට සොයාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.


දැන් අපි බලමු මෙරට අනිකුත් ජනබලමුළු වලට මේ විධායක ජනාධිපති ධූරය නිසා සිදුවී ඇති හානිය කුමක්ද කියල, ඒ සදහාත් වෙනත් කිසිදු රජයකින් නොකල හානියක් මේ බලතල සහිතවූ රජයකින් වූවායයි නිෂ්චිතවම කියන්න බැහැ.


මේ රටේ ජීවත්වෙන ජනතාවගේ වෘත්තීන්ට සැබෑ ලෙසම බල නොපාන කරුණක්, මේ රටේ ජනතාවට බලපෑ ත්‍රස්තවාදී ගැටලුවට හා සමාන තත්වයකට ඉස්මතු කිරීමට හැකිවූයේ කෙසේද?


ජනතා විමුක්ති පෙරමුණට රිංගා ගත් අධිරාජ්‍යවාදී හෙන්චයියන්, වසර ගනනක් අඛණ්ඩව දිව්‍ය මන්තරයක් සේ මේ මැතිරීම හේතුවෙන් ජනතාව හා සියලූම ජනමාධ්‍යයන් දේශපාලන අන්ධයින් බවට පත් කිරීමට මෙම පෙරමුණට හැකිවුණා.


මේ නිසා සැබෑ ලෙසම රටේ මිනිසුන්ට බලපාන ප්‍රශ්න ගැන සමාජය තුල විය යුතුවූ සංවාදය අඩාලවීම මේ හරහා සිදුවුණා. මේ සම්බන්ධව පැහැදිලිවම මොවුන් ජනතාවට වගකිව යුතුයි.
ප්‍රශ්නය: සොරකම හා දූෂණය; පවතින රජය තුල අරක්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා ඒ සම්බන්ධව ඔබ දරන මතය පැහැදිලි කරන්න.
පිලිතුර: මේ පවතින්නේ ධනවාදී සමාජයක්; ධනවාදය යටතේ සොරකම හා වංචාව අනිවාර්ය අංගයක්; ඒ අනුව පවතින සෑම රජයක් තුලම, මෙය අඩු වැඩි වශයෙන් පවතිනවා. මෙය සැබෑ ලෙසම නතර කලයුතු අංගයක් නමුත් අවුරුදු 30ක යුද්ධය අවුරුදු තුනහමාරක් වැනි කෙටි කලෙකින් නිම කිරීම හරහා මෙම රජය සුවිශෙෂී රජයක් බව ජනතාවට ඔප්පු කර තිබෙනවා. ඒ පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ මහතා මේ ඉටුකර ඇත්තේ සිය ආත්මීය කාර්යය භාරයයි, 1505 දී ඇරඹි බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි වූ සටන පරපුරින් පරපුරට ගලා ගෙනවිත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලදී ජයග්‍රහයී ඉලක්කයක් පසුකරමිනුයි සිටින්නේ; ඒ අනුව අවුරුදු 504 කාල පරාසයක් තුල බිහිවූ විශිෂ්ඨතම නායකයා ඔහු බව සදහන් කල යුතුමයි.
ප්‍රශ්නය: මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල මෙරට අංක එකේ සතුරාය යන අරුතින් දේශපාලන සංවාද හා පුවත් පත් සාකච්ඡා වලදී මත පලකරනවා ඒ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?
පිලිතුර: අපි තනි පුද්ගලයකු හෝ තනි පවුලක් සතුරු බලවේගයක් වශයෙන් සලකන්නේ නැහැ. ඇත්තටම තනි පුද්ගලයකු හෝ පවුලක් සමාජ බලවේගයක් නම්; අපිට කොච්චර පහසුද සමාජ ක්‍රමය වෙනස් කරන්න. විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකාරිත්වය තුලදී පුද්ගලයකු හෝ පවුලක් බලවේගයක් වශයෙන් සැලකිය නොහැකියි.
ප්‍රශ්නය: වර්තමාන දේශපාලන පිටියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල, මෙම රට සූරා කණු ලබන පවුල බවට නම් කර හමාරයි. එම පවුල බලයෙන් පහකිරීම හරහා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආ හැකි යයි ප්‍රකාශ කරනවා.
පිලිතුර: හොදයි කවුද මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ආවේ?


ඒ ජනතා විමුක්ති පෙරමුණයි. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන ආකාරයට එතුමා දූෂිතයෙකු නම්, පවුල් වාදියකු නම්, දූෂිත සහෝදර සමාගමක් නඩත්තු කරන්නෙකු නම් ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි ජනතා විමුක්ති පෙරමුණයි. පලමුව ඒ සම්බන්ධව ජනතාව ඉදිරියට විත් ජනතාවගෙන් සමාව ගන්න ඕනි.


මේ වනතෙක් එවැන්නක් සිදුකොට නැහැ. එසේ ජාතියෙන් සමාව අයදින්නේ නැතිව තවත් අපේක්ෂකයකුට සහය දෙන්නයයි කියන්න එම පෙරමුණට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.


පවුල්වාදය ගැන කියන කොට අපේ සිහියට නැගෙන රටක් තමයි උතුරු කොරියාව. සීයා විමුක්ති සටන්හි පෙරමුණ ගෙන, ඊට පසු තාත්තා විමුක්ති සටන ජයගෙන, අද පුතාත් අඛණ්ඩවම සිය පාලනය ගෙන යනවා.


සහෝදර සමාගම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ; මහින්ද රාජපක්ෂ සහෝදරයින් හරහා නම්, ඔවුන් විසින් නියත වශයෙන්ම කියුබානු කස්ත්‍රෝ සොහොයුරන්ටත් එම අවලාදයම භාවිත කරන බව වටහා ගන්න. ඇමරිකාව කියුබාව උදෙසා බාවිතා කල පිලිණුවුන අවලාදය ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේදී හිමිව තිබෙන බව පමණක් කිව හැකියි.


ශ්‍රී ලංකාවේ සුපිරි සහෝදර සමාගම බිහිකිරීමට වෙර දෑරුවේ අපයි. අපේ පක්ෂයේ සිටි හැම අයෙක්ම සැබෑ සහෝදරයකු සේ සැලකුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස දුටුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස හදුනාගෙන, හැම අයෙක්ම ලේ නෑකම ඇති සහෝදරයින්සේ එකට බද්ධවීමට වෙරදැරූ පක්ෂයක නායකයින් සහෝදරකමට ගරහන ආකාරය අපුරුයි.


ඔබලාට මේ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මහත්වරු කවුදැයි මනාව වටහා ගන්න, එක කරුණක් පෙන්වා දෙන්නම්. මේ මහත්වරුන්ට අනුව, මේ රටේ විනාශයට ඒකායන හේතුව රාජපක්ෂ සහෝදර සමාගම නම්, එදා පිත්තල හන්දියේ බෝම්බයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත්; බදුල්ලේදී මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අටවා තිබූ බෝම්බයත් නිසි ලෙස ඉලක්ක ගතවූයේ නම් මේ රට ගලවා ගන්න තිබුණා යයි ඔවුන් පැහැදිලිවම කියා සිටින බව වටහා ගන්න.
ප්‍රශනය: මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකා මහතා සැබෑ ලෙසම යුධ පෙරමුණේදී විශ්කම් පෑ රණ විරුවෙක්. ඔහු සම්බන්ධව ඔබ දකින්නේ කුමන ආකාරයකටද?
පිලිතුර: පසුගිය යුද්ධයේදී රජයේ පාර්ශවයෙන් භාවිතා කල සුපිරි බර අවියක්; යුද්ධය නිමාවීමත් සමග ග්‍රීස් තවරා ගබඩාවේ තැන්පත් කර ඇති ආකාරය දුටු බෙදුම්වාදී ජාවාරම් කරුවන් පිරිසක් එය ලබාගෙන කැබලි වලට ගලවා පරණ යකඩ වලට විකුණා ඇති බවක් දිස්වෙනවා.
"අප සමග සම්බන්ධ වෙලා ඔබ‍ගේ කාලය මිඩංගු කලාට ඔබතුමාට බොහෝම ස්තුථියි"

No comments:

Post a Comment