Saturday 26 December 2009

හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ අනතුර

(මහාචාර්ය විශ්වා වර්ණපාල විසින් 2009 දෙසැම්බර් 14 වන දින "අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි)සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ
ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇරඹුණේ 1931 දී සර්වජන ඡන්දය මෙරට ජනතාවට ලබාදීමත් සමඟයි. සර්වජන ඡන්ද ලැබීමෙන් මෙරටට අත්වුණ ප්‍රතිඵල බොහෝමයක්‌ වුවත් සති කිහිපයකට පෙර යුද්ධ හමුදා ඇඳුමෙන් සැරසී සිටි සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළින් මෙරට සමස්‌ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයට බලවත් තර්ජනයක්‌ එල්ලවී ඇති බව සඳහන් කළ යුතු කරුණක්‌. එම සිදුවීම මා දකින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ රඳා පැවැත්ම කෙරෙහි වන තර්ජනයක්‌ ලෙසයි. එම දේශපාලන අවදානමේ ඇති විශාලත්වය අප සලකා බැලිය යුත්තේ තුන්වන ලෝකයේ දේශපාලන ස්‌වභාවයක්‌ ලෙස සැලකෙන "හමුදා පාලන ක්‍රම" පිළිබඳ විවිධ රටවල් ලබා ඇති අත්දැකීම් අනුසාරයෙන් බව මගේ පිළිගැනීමය. සරත් ෆොන්සේකා දේශපාලනයට ඉදිරිපත්වීම මා දකින්නේ පසුගිය කාලය පුරාම මේ රටේ දේශපාලන සංස්‌කෘතිය සමඟ පෑහිය හැකි "නායකත්වයක්‌" ගොඩනැගීමට නොහැකිව බිඳී විසිරී ගොස්‌ තිබෙන මෙරට විපක්‍ෂය , වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ජනප්‍රියතාවයට අභියෝග කළ හැකි පුද්ගලයකුගේ පිහිට පැතීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙසයි.
එමෙන්ම බංකොලොත් බවට පත්ව සිටින විපක්‍ෂය සරත් ෆොන්සේකා සිය නායකයා වශයෙන් තෝරා ගැනීමට පෙළඹවූ එකම හේතුව වශයෙන් සැලකිය හැක්‌කේ යුද්ධ ජයග්‍රහණය මගින් ඔහු මෑතදී අත්පත් කරගත් ජනප්‍රියතාවයි.



මීට කලකට පෙර යුද්ධ ඇඳුමෙන් සැරසී සිටි මෙම පුද්ගලයා දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය ව්‍යවස්‌ථානුකූලව ඉතා බලවත් තනතුරක්‌. 1978 ව්‍යවස්‌ථාවට අනුව සියලු බල සහිත ඒකාධිපතියකු ලෙස කටයුතු කරන්නට පවා අවස්‌ථාව සැලසෙන එම තනතුර සතු විශේෂ ලක්‌ෂණය අද අපගේ විමසිල්ලට ලක්‌විය යුත්තේ විශේෂයෙන්ම සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනය පිළිබඳ පසුබිම තුළයි.


ෆොන්සේකා දේශපාලනඥයකුට සරිලන සුදු ඇඳුමෙන් සැරසී කියාසිටින්නේ තමන් සාමාන්‍ය සිවිල් පුරවැසියකු බවයි. නමුත් ඔහු අවුරුදු හතළිහක පමණ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හමුදා ඇඳුමෙන් සැරසී තුවක්‌කුවක්‌ අතැතිව හමුදා රාජකාරියේ යෙදුනකු බව අමතක නොකළ යුතු කරුණක්‌. මගේ අදහසේ හැටියට ඔහු තවමත් මා දකින්නේ හමුදා පුහුණුව ලත්, එමෙන්ම, සිය ක්‍රියාකාරකම් සඳහා හමුදා සම්ප්‍රදාය කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයකු ලෙසයි. එය එසේ විය යුතුයි. හතළිස්‌ වසරක්‌ අඛණ්‌ඩව යුද්ධ හමුදාවක සේවය කළ අයකු එක්‌ දිනයකින් එක්‌ රැයකින් පූර්ණ සිවිල් වැසියකුගේ මානසිකත්වයට පරිවර්ථනය වීමක්‌ බලාපොරොත්තු විය නොහැකියි. එම තත්ත්වය යටතේ ඔහු නිරන්තරයෙන්ම සිය ක්‍රියාකාරකම්, එමෙන්ම තීරණ ගැනීම්වලදී හමුදා සම්ප්‍රදාය අනුගමනය කිරීමට පෙළඹෙන බව නිසැකයෙන්ම සඳහන් කළ හැකි කරුණක්‌. ලොව නොයෙක්‌ රටවල හමුදා ඇඳුමෙන් සැරසුණු රාජ්‍ය නායකයන් විසින් ප්‍රදර්ශනය කළ ක්‍රියා කලාපයත් එයම බව පැහැදිලියි. එම නිසා, අල්ලාගත් හමුදා නිලධාරීන් රට පාලනය කළ ආකාරය සලකා බලමින් ශ්‍රී ලංකාවේ වර්තමානයේ මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධ කර ගැනීම වැදගත්වන බව සඳහන් කළ යුතුව ඇත. ලෝකයේ විවිධ රටවල බලය අල්ලාගත් හමුදා නිලධාරීන්ගේ ජනප්‍රිය සටන් පාඨය වූයේ එම රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කිරීම, දේශපාලන ස්‌ථාවරත්වයක්‌ ඇතිකිරීම, යහපාලනය ඇතිකිරීම වැනි ආකර්ෂණීය සටන් පාඨ බව අමතක නොකළ යුතු කරුණක්‌.


සුදු ඇඳුමෙන් සැරසී පෙනී සිටින සරත් ෆොන්සේකාත් සිය සටන් පාඨය කරගෙන ඇත්තේ එම තේමාවන්ම බව පැහැදිලියි. ඔහු මේ සියලු සටන් පාඨ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන අනුන් ඇන කොටා ගන්නා තත්ත්වයට භේද භින්න වී සිටින එමෙන්ම අතීතයේ පසමිතුරන් වූ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත පොදු සන්ධානය නමැති දේශපාලන වේදිකාව මත සිටගෙන බවත් අමතක නොකළ යුතු කරුණක්‌. අද විරුද්ධ පක්‍ෂ සන්ධානය තුළ දක්‌නට ඇත්තේ එකමුතුවකට වඩා ප්‍රතිවිරෝධතාවක්‌ බව කාහටත් පැහැදිලියි. මතවාදයන් සහ උපායමාර්ගයන් සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ අදහස්‌ දරන කණ්‌ඩායම් එකතුවක්‌ තුළින් පොදු සන්ධානයක්‌ කිසිසේත් ගොඩනැඟිය නොහැකි බව පිළිගත යුතු සත්‍යයක්‌. එමෙන්ම හමුදා නිලධාරියකු නායකත්වයට ගෙන ඒමට විපක්‍ෂය දරන උත්සාහය මගින් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක්‌ කිසිසේත් ගොඩනැඟිය නොහැකි බවත් අවධාරණයෙන් සඳහන් කළ යුතු කරුණක්‌. සී. ඊ. එම්. ජෝඩ් (Cගෑගඵග Jද්d) මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් කියා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ තුළ පුරවැසියකුගේ ජීවිතය සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය හා සමාන වන බවයි. ඔහු නිරන්තරයෙන්ම සෙවිල්ලෙන් බැලිල්ලෙන් යුතුව කටයුතු කළයුතු වන අතර අතීතයේ ගොඩනඟාගත් සියල්ල විනාශ නොවන ආකාරයට වගබලා ගැනීම ඔහු සතු යුතුකමක්‌ බවයි. ජෝඩ්ගේ එම ප්‍රකාශය අද මේ රටේ ජනතාවට වැදගත්වන කරුණක්‌ සිහිගන්වන බව මගේ පිළිගැනීමයි. සරත් ෆොන්සේකා වැනි පුද්ගලයකු ඉහත සඳහන් ආකාරයේ බලසම්පන්න තනතුරකට පත්කිරීමෙන් හමුදා ආඥාදායකයකු බිහිකිරීමෙන් මෙරටට ඇතිවිය හැකි අගතිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව විසින් සිහි බුද්ධියෙන් යුතුව සිතා බැලිය යුතුය යන්න මගේ පිළිගැනීමයි.


සෘජු හෝ වක්‍ර වශයෙන් රටේ දේශපාලනය කෙරෙහි හමුදා මැදිහත්වීම තුන්වන ලෝකයේ සංවර්ධනය වන රටවල් විසින් මුහුණ දුන් පොදු අත්දැකීමක්‌. මෙම රටවල බොහෝ දුරට සිදුව ඇත්තේ පශ්චාත් යටත් විජිත සමයේ මුල් කාලයේ රටේ බලය හිමිකරගත් ආකර්ෂණීය දේශපාලන නායකයන් බලයෙන් පහකොට හමුදා නිලධාරීන් බලය අල්ලා ගැනීමයි. ඔවුන් සිය බලයට පැමිණීම සාධාරණීකරණය කිරීමට ජනතාව වෙත ඉදිරිපත් කළ ජනප්‍රිය සටන්පාඨ වුණේ, ඉහත සඳහන් කළ පරිදී යහපාලනය ස්‌ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම වැනි සටන් පාඨයි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිදුව ඇත්තේ දේශපාලන වශයෙන් බංකොලොත් භාවයට පත්වූ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ විසින් සිය දිවි ගලවා ගැනීමේ අපේක්‌ෂාවෙන් හමුදා නිලධාරියකු මෙරටේ නායකත්වය සඳහා ඉදිරිපත් කිරීමයි. සංවර්ධනය වන රටවල ක්‍රියාත්මක සිවිල් පාලනය සහ එම රටවල යුද්ධ හමුදාව අතර පවතින සම්බන්ධතාව සලකා බැලීම වඩාත් වැදගත් වන්නේ එම රටවල රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් එම සම්බන්ධතාවය බලපාන නිසා බව සඳහන් කළ යුතුයි. යුද්ධ හමුදාව මුළුමනින්ම සිවිල් පාලනය යටතේ පවතින ආකාරය ඇතැම් රටවල දැකගත හැකියි. මේ අතර වෙනත් රටවල හමුදා ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් රටේ සිවිල් පාලනය මෙහෙයවන ආකාරය දැකගත හැකියි.


ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ මූලාරම්භය සම්ප්‍රදායික චාරිත්‍රානුකූල යුද්ධ හමුදාවක ස්‌වභාවය ගත්තත් වර්තමානයේ එය යුද්ධ ශක්‌තිය අතින් පිරිපුන් වෘත්තීය ඒකකයක්‌ බවට පත්ව ඇති බව පිළිගත යුතු කරුණක්‌. එහෙත් මෙරට නිදහස ලැබු දා සිට හමුදාව පැවතුනේ මේ රටේ සිවිල් පාලනය යටතේයි. විශේෂ අවස්‌ථාවකදී හැරෙන්නට යුද්ධ හමුදාවට මෙරට සිවිල් පාලනය කෙරෙහි පූර්ණ ලෙස මැදිහත්වීමේ අවස්‌ථාවක්‌ නොලැබුණු බව ද සඳහන් කළ යුතු කරුණක්‌. පසුගියදා සිදුකරන ලද මානුෂීය මෙහෙයුම හේතුවෙන් යුද්ධ හමුදාවට මෙරට සිවිල් පාලනයට මැදිහත්වීමේ අවස්‌ථාවක්‌ ලැබුණත් හමුදාව පැවතියේ සිවිල් පාලනය යටතේයි. මෙයින් තහවුරු වෙන්නේ සිවිල් පාලනය සහ හමුදාව අතර පැවැති මෙම සම්ප්‍රදායික සම්බන්ධතාව මෙතෙක්‌ මේ රටේ නොවෙනස්‌ව පැවතුන බවයි. එහෙත් යුද්ධ ජයග්‍රහණය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ හමුදාවන් සඳහා ලබාදුන් අසීමිත ප්‍රචාරය හේතුවෙන්. සිදුව ඇත්තේ මෙම සම්ප්‍රදායික පැවැත්මෙන් වෙනස්‌ව යුද්ධ හමුදාවට මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් යම් ස්‌වාධීන මෙහෙයක්‌ ඉටුකිරීමට තිබේය යන්න වැරදි හැඟීමක්‌ හමුදාව තුළ ඇතිවීමයි. බලලෝභයෙන් උමතුවී කටයුතු කරන සරත් ෆොන්සේකාගේ ක්‍රියාකාරකම්වලට පදනම් වී ඇත්තේ මෙම සිතුවිල්ල බව ද අද කාහටත් පැහැදිලියි. එවැනි යුද්ධ මානසිකත්වයකින් සහ බලලෝභිත්වයෙන් පෙළෙන පුද්ගලයකු විධායක ජනාධිපති ධුරය වැනි බලගතු තනතුරකට පත්කළහොත් ඉන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බලවත් තර්ජනයක්‌ එල්ල විය හැකි බව මේ රටේ ජනතාවට සිහිගැන්විය යුතු කරුණක්‌.


බටහිර ලෝකය විසින් ගරු කෙරුණු සම්භාව්‍ය න්‍යායට (Classical Theory) අනුව යම් රටක හමුදාව විසින් ඒ රටේ මැතිවරණ ක්‍රමය හෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මැදිහත්වීමක්‌ කිසිවිටෙකත් අපේක්‌ෂා කෙරෙන්නේ නැහැ. "වෙස්‌මිනිස්‌ටර්" ආකෘතියට අනුව සකස්‌වුණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මගින්ද සිවිල් පාලනය සහ යුද්ධ හමුදාව අතර ඇති සම්බන්ධතාව තීරණය කර ඇත්තේ එම සම්භාව්‍යය ආකෘතියේ පදනම මත පිහිටා බව සඳහන් කළ යුතුයි. එසේ වුවත් 1962 වර්ෂයේදී මෙරට හමුදා කුමන්ත්‍රණයක්‌ සඳහා යම් උත්සාහයක්‌ ගත් බවත් අමතක නොකළ යුතු කරුණක්‌. අද පවත්නා තත්ත්වය දෙස බලන කල පෙනී යන්නේ හැට ගණන්වල මුල් භාගයේ දක්‌නට ලැබුණු ලක්‍ෂණ වර්තමානයේ දේශපාලන පරිසරය තුළ ද දක්‌නට ලැබෙන බවත් එම පැරණි බලවේගයන්ම යළිත් කුමන්ත්‍රණකාරී ලෙස හැසිරීමට පටන්ගෙන ඇති බවයි. රටක්‌ හමුදා පාලනයට නතුවීම සම්බන්ධයෙන් පොදු මතය වී ඇත්තේ දුර්වල රාජ්‍යයක්‌ පවතින විටදී හමුදා මැදිහත්වීමක්‌ සිදුවිය හැකි බවයි. සිවිල් පාලනය සම්බන්ධයෙන් හමුදා මැදිහත්වීම් විශේෂයෙන්ම අඩු දියුණු රටවල සිදුවීම දක්‌නට ලැබෙන සිද්ධියක්‌. එවැනි සමාජයන්හි මේ ආකාරයට සිවිල් පාලනය කෙරෙහි හමුදාමය මැදිහත්වීමකට හේතුවන ප්‍රධාන කරුණ ලෙස සැලකෙන්නේ අකාර්යක්‌ෂම දේශපාලන නායකත්වය සහ දේශපාලන සහයෝගීතාව රාජ්‍යය පාලන කටයුතුවලට උපයෝගී කර ගැනීමට හැකිවන ආකාරයේ යාන්ත්‍රණයක්‌ නොමැතිවීමයි.

සැමුවෙල් හන්ටින්ටන් (SSamuel Huntington) මෙවැනි සමාජ ඉංග්‍රීසි භාෂාවෙන් හන්වා ඇත්තේ Praetoran Socities ලෙසයි. එවැනි සමාජ කෙරෙහි හමුදාමය මැදිහත්වීම සිදුවන්නේ රට තුළ හමුදාව හෝ හමුදා සන්ධානයක්‌ සහ නිලධාරි ක්‍රමයක්‌ මගින්. යම් රටක සිවිල් පාලනයට ඒ රටේ හමුදාව සිය පාලනය නතුකර ගැනීමට තරම් ශක්‌තියක්‌ නොමැති අවස්‌ථාවල රටක මෙවැනි තත්ත්වයක්‌ මතුවීමට ඉඩ ඇති බවයි පෙනෙන්නේ. දුර්වල රාජ්‍යයක පැවැත්ම මගින් හමුදාවකට සිය බලය තහවුරු කර ගැනීමට කදිම අවස්‌ථාවක්‌ සැපයෙන අතර එවිට ඔවුන් සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා යොදාගන්නේ තමන් සතු හමුදා බලයයි. මේ සියල්ල කෙරෙහි යම් රටක පවත්නා දේශපාලනමය සහ සමාජ වාතාවරණය බලපාන බව සඳහන් කළයුතු කරුණක්‌.


මේ සම්බන්ධයෙන් තවදුරටත් සිය අදහස්‌ දක්‌වමින් හන්ටින්ටන් සඳහන් කර ඇත්තේ හමුදාවන් තුළ සිදුවන වෘත්තියකරණය හේතුවන් ද හමුදා මගින් රටේ පාලන බලය හිමි කර ගැනීමේ නැඹුරුවක්‌ ඇතිවිය හැකි බවයි. ඔහු සිය 'Soldier and the State' නමැති කෘතියෙහි මෙම න්‍යාය තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන්කොට තිබෙනවා.


යම් රටක පවත්නා දේශපාලන දියුණුවේ මට්‌ටම සහ හමුදා මගින් පාලන බලය සියතට ගැනීම අතර යම් සම්බන්ධතාවක්‌ දැකියි හැකි බව "හන්ටින්ටන්" සහ "ෆිනර්" යන දෙදෙනා විසින්ම දැරූ මතයයි. මෙහිදී "හන්ටින්ටන්" තවදුරටත් කියා සිටියේ Praetorian දේශපාලන සංස්‌ථාවල දුර්වලත්වය හේතුවෙන් එම රටවල් හමුදා පාලනයට යටත් කර ගැනීම සිදුවන බවයි. "හන්ටින්ටන්" විසින් හමුදා පාලනයක්‌ ඇතිවීමට හේතු සාධක වශයෙන් දැක්‌වූ මෙම කරුණු අප්‍රිකානු රටවල් සම්බන්ධයෙන් සත්‍යයක්‌ වුවත් ලතින් ඇමෙරිකානු රටවල් මුහුණපෑ අත්දැකිම් අනුව සලකන කල පෙනීයන්නේ එයට වඩා වෙනස්‌ හේතුවක්‌ හමුදා පාලනයට මුල්වූ බවයි. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල් මේ සම්බන්ධයෙන් මුහුණපෑ තත්ත්වයක්‌ සලකා බලනකල පෙනීයන්නේ හමුදා මැදිහත්වීම සහ රටක ආර්ථික සංවර්ධන මට්‌ටම අතර යම් සම්බන්ධතාවක්‌ පවතින බවයි. හමුදා මගින් යම් රටවල බලය අල්ලා ගැනීම කෙරෙහි ඉවහල්වන වෙනත් කරුණු ද තිබිය හැකියි. ඇතැම් රටවල හමුදාවන් විසින් එම රටවල සමාජ කෙරෙහි සමාජමය සහ දේශපාලනමය වශයෙන් විශාල බලපෑමක්‌ සිදු කළ හැකි තත්ත්වයක්‌ හිමිකරගෙන තිබෙන්නට පුළුවන්. බොහෝ අවස්‌ථාවල සමාජය වෙත එවැනි බලපෑමක්‌ කිරීමට හමුදාවට හැකිවන්නේ හමුදා නායකයන් එම රටේ වරප්‍රසාද හිමි පන්ති නියෝජනය කරන අය වීම නිසයි. හමුදා නායකයන් බොහෝමයක්‌ වරප්‍රසාද හිමි පන්තියෙන් පැමිණෙන අයවීම හේතුවෙන් ඔවුන් විසින් සමාජය කෙරෙහි දේශපාලනමය හා සමාජමය වශයෙන් විශාල බලපෑමක්‌ කිරීමේ හැකියාවක්‌ හිමිකරගෙන ඇති බවක්‌ මේ පිළිබඳ ලොව සෙසු රටවල අත්දැකීම්වලින් පැහැදිලිවන කරුණක්‌. ශ්‍රී ලංකාවේ 1962 උත්සාහ කෙරුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙහි නායකත්වය ගනු ලැබුවේ සමාජයේ ඉහළ පැලැන්තියට අයත් හමුදා නිලධාරින් විසින් බව අමතක නොකළ යුතු කරුණක්‌. එදා ඔවුන් එලෙස හමුදා කුමන්ත්‍රණයක්‌ කළේ 1956 මෙරට ඇති වූ ජනබල විප්ලවය මගින් සමාජය තුළ සිදුවෙමින් තිබූ වෙනස්‌කම් තවදුරටත් ඔවුන්ට ඉවසා සිටීමට නොහැකි වුණ නිසා බව පැහැදිලිය. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වූයේ පැරණි සමාජ සම්ප්‍රදාය රැක ගැනීමයි. වෙනත් සමාජයන්හි සිදුවන්නේ හමුදාව තමන් සතු පුහුණුව සහ තාක්‍ෂණික හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යාලයේ මුවාවෙන් සමාජ සංස්‌ථා තුළ බලය අත්පත් කර ගැනීමට උත්සාහ ගැනීමක්‌. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව තුළ සිදු වූයේ ද මේ හා සමාන දෙයක්‌.


යුද්ධ ජයග්‍රහණයත් සමගම ඔවුන්ට පැළඳ වු ජාත්‍යාලය පිළිබඳ පදක්‌කම මගින් ඔවුන්ට සිවිල් සහ දේශපාලන ජීවිතයට ඇතුළුවීමට මගපෑදුනු අතර මෙම වර්ධනය මා දකින්නේ ඉතා භයානක වර්ධනයක්‌ ලෙස බව සඳහන් කළ යුතුයි. එවැනි පසුබිමක්‌ නිර්මාණය වූ පසු සිදු වන්නේ දේශපාලනය රහවැටුණු ඇතැම් හමුදා නායකයන් දේශපාලන බලය අතට ගැනීමට උත්සාහ ගැනීමයි. මෙවැනි තත්ත්වයකට මුහුණදිය හැක්‌කේ හමුදාකරණය අගය නොකරන සිවිල් පාලනය ගැන පමණක්‌ විශ්වාසය ඇති ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන අපගේ දේශපාලන ආයතන තුලින් පමණක්‌ බව සඳහන් කළයුතු කරුණක්‌.


ඉහත සඳහන් කවර ආකාරයට හෝ හමුදාව මගින් පාලන බලය අල්ලාගත් ආසියානු අප්‍රිකානු රටවල අද පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් විමසුමක්‌ කිරීම මෙහිදී වැදගත් වෙනවා. හමුදා ආඥදායක පාලන ක්‍රමයක්‌ ලෙස හැඳින්වෙන්නේ පාලන බලය හමුදාව සතුව පවතින එමෙන්ම රාජ්‍ය හමුදාවේ පාලනය යටතෙ පවතින විටදීයි. 1960 සහ 1970 ගණන්වල තුන්වන ලෝකයේ රටවල් බොහෝමයක හමුදාමය කුමන්ත්‍රණ, සහ ප්‍රති කුමන්ත්‍රණ රැසක්‌ සිදු වූ බව පැහැදිලියි. එම හමුදා කුමන්ත්‍රණයන්ගෙන් පසුව එ ළැඹි දශකය තුළ දකින්නට ලැබුණේ එම හමුදා පාලනයට යටත් කරගත් රටවල් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමයි. මෙය එම රටවල් මුහුණදුන් භයානක තර්ජනයක්‌ ලෙස හැඳින්විය හැකියි. මෙම කාලයේ ඇතැම් රටවල් මාරුවෙන් මාරුවට සිවිල් සහ හමුදාපාලනයට නතුවීමක්‌ ද දක්‌නට ලැබුණා. හමුදාමය මැදිහත්වීම් තුන්වන ලෝකයේ දේශපාලන සංසිද්ධියක්‌ වූ බවයි පෙනෙන්නේ. "ෆෙඩ්රික්‌ එන්ගල්ස්‌" සිය මාක්‌ස්‌වාදී දර්ශනය මත පිහිටමින් රාජ්‍යය තුළ හමුදාව මගින් සිදුවිය හැකි බෙදුම්කාරී සහ ස්‌වාධීන කාර්යභාරය ගැන සටහන් කෙරුණා. ඔහු සිය 'Role of Force in History' යන කෘතියෙහි කියා සිටියේ "දේශපාලනය තුළ බෙදුම්කාරී බලවේග දෙකක්‌ පමණක්‌ ඇති බවයි. රජය සහ හමුදාව සතු සංවිධානාත්මක බලය ඉන් එකක්‌. අනෙක්‌ බෙදුම්කාරී බලය ලෙස හැඳින්විය හැක්‌කේ සංවිධානය නොවූ මහජන බලය බව ඔහුගේ මතයයි. වෙනත් වචනයකින් කියනවා නම් ඉන් අදහස්‌ වන්නේ යුද්ධ හමුදාවට දෙආකාර කාර්යභාරයක්‌ හිමිවන බවයි. රටක අභ්‍යන්තර ආරක්‍ෂාව තහවුරු කිරීම පිළිබඳ හමුදාව සතු වගකීම ඉතා ඉහළගොස්‌ ඇති අතර විශේෂයෙන්ම සංවර්ධනය වන රටවල යුද්ධ හමුදාව සෙසු සංවිධාන අභිබවා අනභිබවනීය තත්ත්වයක්‌ හිමිකර ගැනිම තුන්වන ලෝකයේ රටවල් තුළ දක්‌නට ලැබෙන බව සඳහන් කළ යුතු කරුණක්‌.


විශේෂයෙන් ආර්ථික වශයෙන් පසුගාමි තත්ත්වයක පසුවන රටක යුද්ධ හමුදා සිරස්‌ පරිපාලන ව්‍යqහයක්‌ සහිත එමෙන්ම සමාජයීය සහ සංස්‌කෘතික වශයෙන් සමජාතිත්වයෙන් යුතු වැදගත් බලවේගයක්‌ වශයෙන් ඉස්‌මතුවනු දක්‌නට ලැබිය හැකියි. ආසියානු අප්‍රිකානු රටවල යුද්ධ හමුදාව තුළ මෙම සමජාතිත්වය කිසිසේත් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ අතර සංවර්ධනය වන රටවල යුද්ධ හමුදාව විසින් වෙනත් කාර්යයක්‌ තමන්වෙත පවරා ගැනීමටත් ඉඩ තිබෙනවා. ඇතැම්විට ධනවාදී හෝ ධනවාදී නොවන අර්ථක්‍රමයක්‌ ක්‍රියාවට නැංවීම සඳහා සහාය දක්‌වන බලවේගයක්‌ ලෙස කටයුතු කිරීමට ද ඉඩ ඇති අතර හමුදාව මගින් සිදු කෙරෙන එම තෝරා ගැනීම එම රටේ දේශපාලන නායකත්වයේ අරමුණු මගින් තීරණය විය හැකියි.


යුද්ධ හමුදාව මගින් රටේ පාලන බලය අල්ලා ගැනීම විවිධ රටවල විවිධ කාලවකවානුවල සිදුවූ බව ඉතිහාසය සාක්‍ෂි දරනවා. ඊජිප්තුවෙ 1952 දීaත් ඉරාකයේ 1958 සහ 1963 දීත් යේමනයේ 1962 දීත් 1958 පකිස්‌තානයේත් බලය අල්ලා ගැනීමට එරට හමුදාවන් සමත් වුණා. ඒ වගේම බුරුමයේ 1962 දීත් තුර්කියේ 1960 දීත් සුඩානයේ 1958 දීත් නයිජීරියාවේ 1966 දීත් සිරියාවේ 1961 දීත් හමුදාව විසින් රටේ පාලන බලය අල්ලා ගැනීමට සමත් වුණා. පසුකාලයකදී මේ සියලු රටවල පාලන බලය යුද්ධ හමුදාව සහ සිවිල් පාලනය යන දෙපැත්තට අතින් අතට මාරුවීමයි දක්‌නට ලැබුනේ. යම් රටක පාලන බලය හමුදාව මගින් අල්ලා ගැනීමට ඉවහල්වල සාධක සහ ගොඩනැගෙන වාතාවරණය රටින් රටට වෙනස්‌ වූ බවත් එය බොහෝ දුරට රටේ පාලන බලය හිමිකරගෙන සිටින ඉහළ පැලැන්තියේ හැකියාව සහ ස්‌වභාවය මත තීරණය වන්නක්‌ බවයි පෙනී යන්නේ. මෙලෙස රටක බලය අල්ලාගැනීම ඇතැම්විට රටේ සමාජ ස්‌ථායිතාවය නීතිය හා සාමය ස්‌ථාපිත කිරීමට පමණක්‌ සීමාවිය හැකියි. මේ සම්බන්ධයෙන් සිය අදහස්‌ දක්‌වන එඩ්වඩ් ෂීල්ස්‌ (Edward Shils) සඳහන් කර ඇත්තේ "සොල්දාදුවන් යම් රටක ආර්ථික සංවර්ධනය උදෙසා කටයුතු කළ හැකි ව්‍යාපාරිකයන් හෝ නිලධාරීන් ලෙස නොසැලකිය යුතු බවයි". වෙනත් වචනයෙන් කියනවා නම් රටක ඔවුන් සතු කාර්යභාරය ඉතා සීමිත සහ කාලනිශ්චයකින් යුක්‌තවනවා. රටක දේශපාලන සංවිධානයකින් තොරව කිසිම හමුදා පාලනයට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ බලයේ රැඳීමට නොහැකි බව ද පිළිගත යුතු කරුණක්‌. හමුදා පාලනයක දීර්ඝකාලීන පැවැත්ම සඳහා බහුජන සහය අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. එවැනි සාධක නොමැති තැන සිදුවන්නේ හමුදා පාලනය ස්‌වයං විනාශකාරී තත්ත්වයකට (Self Destruction) පත්වීමයි. සංවර්ධනය වන රටවල් සම්බන්ධයෙන් සලකන කල වර්තමානයේ ක්‍රියාත්මකවන හමුදා පාලනයන් බලවත් අසීරුතාවන්ට පත්ව ඇති බවයි පෙනෙන්නේ. එම රටවල් මුහුණපා සිටින බැරෑරුම් ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට නොහැකි තත්ත්වයක්‌ යටතේ සිය බලය තවදුරටත් රඳවාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පැහැදිලියි. ඇතැම් රටවල හමුදා පාලන ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියවන ජනපදනමක්‌ සහිත සමාජ ක්‍රම බවට ක්‍රමානුකූලව පරිවර්තනයවීමක්‌ද දැකගත හැකි වුවත් එවැනි පාලන ක්‍රමයක්‌ තුළ නිරායාසයෙන්ම හටගන්නා අභ්‍යන්තර ගැටුම්සහගත තත්ත්වයන් නිරාකරණය කර ගැනීමේ දුෂ්කරතාවනට එම හමුදා පාලන ක්‍රම දිගින් දිගටම මුහුණදෙන බවක්‌ අද දක්‌නට ලැබෙනවා. එවැනි පාලන ක්‍රම පවත්නා රටවල් බහුතරයක ආර්ථික සංවර්ධනයක්‌ ඇති කර ගැනීමට එම හමුදා පාලකයන් අපොහොසත් වී ඇති බව තුන්වන ලෝකයේ දැනට පවතින හමුදා පාලන ක්‍රම තුළින් පැහැදිලි වන කරුණක්‌.


1960 ගණන්වල මුල්භාගයේ ලොව බිහිවූ හමුදා කුමන්ත්‍රණ රැල්ලක්‌ මගින් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකම බලය හමුදාව අතට පත්වූ අතර එම හමුදා පාලකයන් සිය පාලනය සඳහා යොමු වූයේ බොනපාර්ට්‌වාදය කෙරෙහියි. (Bonarpartism) මේ සමඟම යුද්ධ හමුදාවන් වෘත්තියකරණයට ලක්‌වීමේ ප්‍රතිපලයක්‌ වශයෙන් සිදු වූයේ රාජ්‍යයේ විවිධ අංශ කෙරෙහි යම් මැදිහත්වීමක්‌ යුද්ධ හමුදාව මගින් සිදුවීමයි. සිවිල් පාලනය මගින් සිදු කළ යුතු ඇතැම් කාර්යයන් ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාව යොදා ගැනීම මෙම රටවල නිරන්තරයෙන්ම සිදුවන්නක්‌. බොහෝ අවස්‌ථාවල කාකි ඇඳුමින් සැරසුණු යුද්ධ හමුදා නිලධාරින් විසින් ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් විසින් ඇති කරගන්නා ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත්වීමක්‌ ද දක්‌නට ලැබෙනවා. 1965 "මොබුටු" පාලන බලය අල්ලා ගත්තේ ජාතියේ ගැලවුම්කාරයා වශයෙන් පෙනී සිටිමින් 1984 වන විට අප්‍රිකානු මහද්වීපයේ රාජ්‍යයන් දහසයක්‌ පමණ හමුදා පාලනයට නතුවුණා. 1963 සිට මෙම කලාපය තුළ වර්ෂයකට අඩු තරමින් හමුදා කුමන්ත්‍රණ තුනක්‌වත් සිදු වූ බව සිහිගැන්විය යුතු කරුණකි. බොහෝ විට යුද්ධ හමුදාව සැලකුනේ පශ්චාත් යටත්විජිතවාදී යුගයේ අප්‍රිකානු රටවල් පාලනය කිරීමට සුදුසු යාන්ත්‍රණයක්‌ ලෙසයි. ඇතැම් හමුදා පාලකයන් තමන් උදුරාගත් පාලනයට සාධාරණීකරණය කිරීම සඳහා තමන් විදේශ බලපෑම්වලින් රට ගලවා ගැනීමට ඉදිරිපත්ව සිටින පුද්ගලයන් ලෙස පෙනී සිටීමයි. හමුදා පාලකයන් සිය පාලනය සාධාරණීකරණය කිරීම සඳහා සැමවිටම පාහේ කියා සිටියේ දේශපාලනඥයින් විසින් රට තළ ඇති කළ අවුල්සහගත තත්ත්වය විසඳීම සඳහා තමන් පාලනය අතට ගත් බවයි. රටවල පවතින මෙම තත්ත්වය බොහොමයක්‌ මිලිටරි පාලකයන්ට සිවිල් පාලන බලය තමන් වෙත පවරා ගැනීම සඳහා හොඳ හේතුවක්‌ වුනා. ආසියාකරයේ සහ අප්‍රිකානු මහද්වීපය තුළ විවිධ අවස්‌ථාවල විවිධාකාරයේ හමුදා පාලකයන් රටේ පාලන බලය අතට ගත්තත් ඔවුන්ගේ පාලනය එම රටවල්වල පැවති සිවිල් පාලනයට වඩා හොඳ යෑයි කීමට හේතු සාධක සොයා ගන්නට නොහැකි බව මෙහිදී අවධාරණයෙන් සඳහන් කළ යුතු කරුණක්‌. මිලිටරි ආණ්‌ඩු ක්‍රමය මගින් මෙම රටවල්වල යහපාලනය ස්‌ථාපිත කරනවා වෙනුවට සිදුව ඇත්තේ ඒවා අසාර්ථක රාජ්‍යයන්ගේ තත්ත්වයට ඇදගෙන යැමක්‌ (Failed States) ඒ සමගම මෙම මිලිටරි පාලන ක්‍රමයන් තුළ වර්ධනය වන තවත් ලක්‍ෂණයක්‌ නම් යුද බලය "පුද්ගලාරෝපණය"Ê (Personalization of Power) කිරීමයි. එලෙස බලය පුද්ගලාරෝපණය කිරීම ඉඩි අමින් (Idi Amin) සනි අබචා (Sani Abacha) සහ ගමාල් අබ්දුල් නසාර් (Gamal Abdel Nasser) යන පාලකයන්ගේ ක්‍රියාකලාපය තුළින් ලොවට දැකගත හැකි වූ බවත් කිව යුතුය.



















No comments:

Post a Comment