Saturday 5 December 2009

ජනාධිපතිවරණයට එජාපයෙන් එස්‌. බී. හෝ සුදුස්‌සෙකු ඉදිරිපත් කළ යුතුයි - මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු

ශිරාන් රණසිංහ -දිවයින

ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් එස්‌. බී. දිසානායක හෝ වෙනත් සුදුසු පුද්ගලයකු ඉදිරිපත් කිරීමට පක්‍ෂය වහාම පියවර ගතයුතු යෑයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය. කොළඹ නිපොන් හෝටලයේ ඊයේ (04 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බැව් කියා සිsටියේය.


රනිල් වික්‍රමසිංහ මහතාගේ ජුන්ටාව තමන්ට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවූ බව ද මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් ලක්‍ෂ හතලිස්‌ හතක්‌ පක්‍ෂය වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කරද්දී පක්‍ෂයේ ජනප්‍රිය නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකරන්නේ ඔහු තුළ තිබෙන ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය නිසා යෑයි ද ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.

1999 වසරේදී මිස්‌ටර් ක්‌ලීන් ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ මහතා රැකගැනීමට, ආරක්‍ෂා කිරීමට තමා මූලික වී කටයුතු කළ බවත් පක්‍ෂයේ මන්ත්‍රීවරු 17 ක්‌ ආණ්‌ඩුව සමඟ එකතු වන විටත් පක්‍ෂ නායකයා වෙනුවෙන් තමා පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා පැවැසීය.නමුත් දිගින් දිගටම මැතිවරණ පරාජයට පත්වෙද්දී පක්‍ෂ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරගත් ඔහු පක්‍ෂය පමණක්‌ නොව එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට ද අද අඳුරකට රැගෙන ගොස්‌ විනාශ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ කලකිරී සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රජය හා එක්‌වන ලෙස ආරාධනා කළහොත් රජය සමඟ එකතු වනවාදැයි මාධ්‍යවේදියකු මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ එය දෙවනුව තීරණය කරන බවත්, දැනට පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා කටයුතු කරන බවත් පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කර පාක්‍ෂිකයා රැකගැනීම සඳහා එ.ජා.ප. අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට කියන්නේ ඒ පදනමින් බව ද මන්ත්‍රීවරයා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතීන් ගැන කතා කරමින් ලොව පුරා ගිය ද එක්‌සත් ජාතික පක්‍ෂය අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි ද මන්ත්‍රීවරයා මාධ්‍යවේදියකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

වසර එකහමාරක්‌ පමණ තිස්‌සේ පක්‍ෂයේ මේ ඒකාධිපති ක්‍රියා කලාපවලට එරෙහිව කතා කළ ද ඉන් ඵලක්‌ වී නැති බවත් ඊට පසුව ද නිහඬව පසෙකට වී සිටියදී රනිල්ගේ ජුන්ටාව අසත්‍ය ප්‍රචාර දියත් කරමින් තමා ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවක්‌ බාරගෙන ඇති බවට කියමින් මඩ ගසන්නට වූ පසුව පළමු වතාවට මෙසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ කැඳවූ බවත් මන්ත්‍රීවරයා කීවේය.

මැතිවරණ විස්‌සක්‌ පැරදුන පක්‍ෂ නායකත්වය අත්නොහරින මොහු ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඔහු පරාජය වූ පසු යළි මහමැතිවරණයට ඉදිරිපත් වී තව වසර හත අටකින් බලය ගැනීමට සිතා සිටින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.අද එක්‌සත් ජාතික පක්‍ෂය පමණක්‌ නොව අලියා ද විනාශ කර ඇති බවත් දැන්වත් එ.ජා.ප.යේ අයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර පක්‍ෂයත්, පාක්‍ෂිකයාත් රැකගන්නා ලෙස ද මන්ත්‍රීවරයා අවසාන වතාවටත් ඉල්ලීය.

මෙහිදී කතා කළ කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා කියා සිටියේ මුහුණ බලා කතා කරන්නට බැරි මිනිස්‌සුත් එක්‌ක හිනාවෙන්න බැරි රනිල් වික්‍රමසිංහ මහතා සුළු ජාතීන්ව පක්‍ෂයෙන් ඉවත් කර ඇති බවයි.අද රනිල් වික්‍රමසිංහ මහත්තයලා ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සුළු ජාතීන් පිළිනොගන්නා බවත් අසාද් සාලි මහතා කීවේය.

No comments:

Post a Comment