Thursday 3 December 2009

ජනාධිපති මහින්ද ඉන්නේ ඉදිරියෙන්

රාමන් දිනමිණ

ජෙනරාල් මේ වැඩේට කාලයක් තිස්සේ සූදානම් වුණා. ඔහු නිල ඇඳුම පිටින්ම දේශපාලනය කළා. නිල ඇඳුම දරාගෙන දේශපාලනයට අදාළ කතා එතරම් සදාචාරාත්මක නැහැ.

දැනට හෙළි වී තිබෙන තොරතුරු වලට අනුව ඔහු විපක්ෂ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙන්නේ සිය ධූරය දරමින්ම බවයි පෙනෙන්නේ. රජයේ නිල නිවාස හා 500 ක පමණ හමුදාවකගේ ආරක්ෂාව ලබමින් ඔහු දේශපාලනයට පැමිණීමට සූදානම් වී තිබෙනවා.

නිදහස් පුරවැසියෙක් විදියට තමන්ට කැමැති දේශපාලනයක නිරතවීමට අයිතියක් ඕනෑම කෙනෙකුට තිබෙනවා. ඒ අයිතිය ජෙනරාල් සරත් ෆොන්සේකාටත් හිමියි. ඒ ගැන විවාදයක් නැහැ.

එහෙත් මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී ධුරයේ සිටිමින් ම දේශපාලන කතා පැවැත්වීමට හා දේශපාලඥයන් සමඟ රහසේ ගනුදෙනු කිරීම හරි නැහැ. සදාචාරාත්මක නැහැ. එය කුමන්ත්‍රණකාරීයි. ඔහු රටේ ඇති කරනවා යැයි පොරොන්දු වන විනයටත් පටහැනියි.
අලුතින් දේශපාලනයට ඇවිත් විනය ගැන ජනතාවට බණ කියන කෙනෙක් ඒ විනය කඩනවා වගෙයි. විනය කැඩීමට අමතරව කුමන්ත්‍රණකාරී වන්නේ රජයේ තනතුරු දරමින් රහසේ විපක්ෂ කණ්ඩායම් සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීම. මේ නිසා ඔහුට පිළිතුරු දීමට නිල ඇඳුම් දාගෙනම අද සමහරුන්ට සිදු වී තිබෙනවා. නැවත එය විනය විරෝධී කියා කියන්න ජෙනරාල් සරත්ට සදාචාරාත්මක අයිතියක් නැහැ.

බලාගෙන යන කොට අපේ රටත් පුදුම රටක්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු රාජ්‍ය නායකයා සමඟ දේශපාලන සටනකට පැමිණීමේ ඉඩකඩක් අදාළ රාජ්‍ය නායකයා විසින්ම සකස් කර දීල වගෙයි. ඔහුට එරෙහිව තරගයට එන ජෙනරාල් සරත් ෆොන්සේකා එල්. ටී. ටී. ඊ. විරෝධී යුද්ධයට අණ දීමට තෝරා ගනු ලැබුවේ ද වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්.

ඔහුට අවශ්‍ය නම් තිබුණා සමහර උපදේශකයන්ගේ අදහසට අනුව ඒ සඳහා වෙන අයෙක් පත් කිරීමට. ඒ වන විට පත් කළ හමුදා පතිවරයාගේ කාලය අවුරුදු 2 1 / 2 ක් ඉදිරියට තිබුණා. ජනාධිපතිවරයා ඔහුට ඉල්ලා අස්වීමට ඉල්ලා සිටිමින් විශ්‍රාම යන්නට සිටි සරත් පත් කළා. ඔහුට ඒ ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. ඔහු තමන්ට අවශ්‍ය කාර්ය ඉටු කරවා ගැනීමට අවශ්‍ය පත් වීම් කළා.

ඒක නායකත්වයේ ලක්ෂණයක්. තමන්ට අභියෝගයක් ඇතැයි සිතා ගෙන අදාළ කාර්යන් පස්සට දමන්න බැහැ. තමා එහෙම කෙනෙක් නොවන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කලේ. එම පත්වීම හරහා ජනරාල් ෆොන්සේකා කල්පනා කර තිබෙන්නේ අදාළ කාර්යය අවසන් කර අනෙක් හමුදාපතිවරු ගිය මාර්ගයේ යන්න නොවෙයි. ජනාධිපති මහින්ද සමගම සටන් කරන්න.

නැත්නම් තමන්ගේම සේනාධිනායකයා සමඟ සටන් කරන්න. හරියට දුටු ගැමුණු සමඟ වෙළුසුමන සටනට ආව වගෙයි. එහෙම වුණත් ඔහු දස මහා යෝධයන්ගෙන් එක් අයෙක් පමණයි. මෙතන සරත් ෆොන්සේකා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් කෙනෙක් පමණයි.

හැම කෙනෙක්ම හමුදාවට බැඳෙන්නේ රටට සේවයක් කරන්න. එමගින් කීර්තියක් ලැබීම ස්වභාවිකයි. එම කීර්තිය උපයෝගී කර ගනිමින් දේශපාලනයට පිවිසීම ද සාමාන්‍යයි. මෙහි දී සිදු වී තිබෙන්නේ තමන් සටනට කැඳ වූ හා වගකීම් පැවැරූ සේනාධිනායකයාට එරෙහිව එම සටනේ කීර්තිය අලෙවි කරන්නේ තමන්ගේ අවශ්‍යතාවකට ද වෙනත් බලවේගයක අතකොළුවක් වීම නිසාද යන්න ප්‍රශ්නයක්. අද ජනතාව තුළ ඇති වී තිබෙන කථිකාවත එයයි.

මෙවන් පසුබිමක ජනාධිපති වරයා තමා වෙනුවෙන් සටනට තමා විසින්ම ගොඩ නැගූ කෙනෙක් කැඳවා ගෙන, ඉන් ඉස්මතු වන්නේ ජනාධිපති මහින්දගේ නොසැලෙන නායකත්වය බවට විවාදයක් නැහැ.

ඊට හේතුව කවුරු තරගයට ආවත් තමන්ට ප්‍රශ්නයක් නැති වාතාවරණයක් ඔහු රට තුළ නිර්මාණය කර තිබීමයි. ඒ ගැන ජනාධිපතිවරයාට ගැටලුවක් නැහැ. ඊට හේතුව ජනතාව ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි. එහෙම විශ්වාසයක් තබා සිටින්නේ ඇයි. ප්‍රධාන තම හේතුව 30 අවුරුදු යුද්ධයක් වසර 3 1 / 2 කින් අවසන් කිරීමයි.

මේ රටේ හමුදා නායකයොත් දේශපාලන නායකයොත් වසර 30 ක් තිස්සේ හිටියා. ඔවුන් යටතේ ද විවිධ යුද මෙහෙයුම් සිදු වුණා. ඒ මුළු කාලය තුළම ජෙනරාල් සරත් ෆොන්සේකා ද සිටියා. එයා යුද්ධත් කළා සටන් මෙහෙවුවා. 23. 11. 2008 ලක්බිමට ඔහු මෙසේ පවසා තිබුණා.

‘ජය සිකුරු මෙහෙයුමේ දී මම කළේ මට පැවරූ කොටස විතරයි. එසේ නො මැතිව සමස්ත මෙහෙයුම මගේ අවශ්‍යතාව හා දැනුම මත ක්‍රියාත්මක වූ එකක් නෙවෙයි. නමුත් මෙවර මාන්කුලම් අල්ලා ගැනීමේ සමස්ත සැලසුම ක්‍රියාත්මක කළේ මමයි. මේ නිසා දින 4 කින් මාන්කුලම අල්ලා ගැනීමට හැකි වුණා. නමුත් ජය සිකුරු මෙහෙයුමේ දී මාන්කුලම වට කර ගෙන බලා ගෙන සිටීමට අපට සිදු වුණා’

දේශපාලන නායකයා රටේ සේනාධිනායකයා ලෙස නිසි අය නිසි තැනට පත් කර යුද්ධය මෙහෙය වන විට සිදු වූ වෙනස ගැනයි සරත් ෆොන්සේකා වෙන විදියකින් කියන්නේ.

ඉස්සර ඔහුට පවරා තිබුණේ යුද්ධයේ කොටසක්. මෙවර ඔහුට සමස්ත මානුෂික මෙහෙයුමේ භූමියේ සටනේ නායකත්වය පවරා තිබුණා. එම නිවැරැදි දේශපාලනනායකත්වය ගැන ඔහු සඳහන් කරන්නේ් මෙහෙමයි ‘ අපි මේ කරන්නේ රජයේ යුද්ධයක්. යුද්ධය කරන්න තීරණය කරන්නේ රජයයි. අපි කරන්නේ අපට ලැබෙන අණ ක්‍රියාවට නැගීම පමණයි’ (ජෙනරාල් ෆොන්සේකා 23. 11. 2008 ලක්බිම)

මේ සත්‍යය අද ඔහුටත් වසන් කරන්න බෑ. එසේ නම් අණ කාගේ ද මහින්දගේ ය. එම අණට අනුව ක්‍රියාත්මක වූයේ කවුද සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් නිලධාරීන් හා සෙබළුන් ය.
එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමේ අණ නිකුත් කර නොසැලී සිටියේ කවුද ? ජනාධිපති මහින්දයි. මෙහෙයුමට අවශ්‍ය ප්‍රතිපාදන අවි ආයුධ ගෙනවිත් දුන්නේ කවුද මහින්ද හා ඔහුගේ ආණ්ඩුවයි. මේ නිසා බිලියන 67 ක් වැය කළ ආරක්ෂක වියදම බිලියන 250 ක් දක්වා වැඩි වුණා.

එතරම් මුදලක් වැය කළ රාජ්‍ය නායකයෙක් රටේ සිටියේ නැහැ. රු. බිලියන 250 ක් ආරක්ෂක වැය බරක් දැරීමේ තීන්දුව දේශපාලන තීන්දුවක්. ආයුධ නැත්නම්, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැත්නම් සෙබළු නැත්නම් යුද්ධයක් නැහැ.

මේ සියල්ල තිබුණාත් යුද්ධයක් සම්පූර්ණ වන්නේ නැහැ. එය අපි වඩමාරච්චියේ දී, යාපනය රැක ගැනීමේ දී දුටුවා. වඩමාරච්චි සටනේ දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි හමුදා දැවැන්තයන්ට ආපසු හැරෙන්න සිද්ධ වුණා. එදා හමුදාවේ ජෙනරාල් ෆොන්සේකා ද සිටියා. ආපසු හැරී ප්‍රභාකරන්ට බේරී පලා යෑමට සිදු වුණේ ඉන්දියාවේ බලපෑම නිසා.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වැනි අති දැවැන්ත දේශපාලන නායකයෙකුට අඩියක් පස්සට යන්න සිදු වුණා. හමුදා වීරයන් සිටියාට වැඩක් වුණේ නැහැ. ඔවුන්ට පසු බසින්නට සිදු වූණා. එම හමුදාවේ සරත් ෆොන්සේකා ද සිටියා.

මෙදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා මේ වටාපිටාව කල් ඇතිව දැන සිටියා. මේ නිසා ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් කළමනාකරණය කර ගත්තා. විශේෂයෙන්ම ඉන්දියානු හොඳ හිත දිනා ගත්තා. ඊට දේශපාලන නුවණත් අවශ්‍යයි.

හමුදාවේ වීර කම් පමණක් ප්‍රමාණවත් නැහැ. යුද්ධයක් ජය ගන්නේ සේනාධිනායකයාගේ දේශපාලන නායකත්වය සමඟයි. මේ සමස්ත ක්‍රියාදාමය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා එක් පුරුකක් පමණයි. සමස්ත ක්‍රියාදාමය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බවට ජනතාව තුළ විවාදයක් නැහැ.
ඒ නිසා ඔහු මේ මැතිවරණයට එන්නේ ජනතාවගේ 30 අවුරුදු බලාපොරොත්තුවක් වසර 3 1 / 2 කින් නිවැරැදිව හා සම්පූර්ණයෙන්ම ඉටු කළ නායකයෙක් විදියට.

දැන් යුද්ධය අවසන් ජෙනරාල් සරත් ෆොන්සේකා පැමිණෙන්නේ එසේ අවසන්වූ යුද්ධයේ කීර්තියේ කොටස්කරුවෙකු විදියට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව අලෙවි කිරීමට සූදානම් වන්නේ එම කීර්තියේ කොටසක් එහෙත් සමස්ත කීර්තිය මහින්ද සතුයි. මහින්ද නො සිටින්න සරත් කීර්තියේ කොටස් කරුවෙකු වන්නේ නැහැ. යුද්ධය අවසන් වන්නේත් නැහැ. ප්‍රභාකරන් ඇතුළු එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නැහැ.

මේ නිසා ජනතාව යුද්ධයේ කීර්තිය ගැන සාධාරණව කල්පනා කරන්නේ මහින්ද ගැන බවට විවාදයක් නැහැ. එහි එක් පාර්ශ්ව කරුවෙක් ගැන නොවෙයි. පාර්ශ්ව කරුවන් බොහොමයක් සිටින බව තේරුම් ගැනීමේ ගැටලුවක් ජනතාවට නැහැ. මේ නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා තරග කිරීමේ සාධකය යුද්ධයේ කීර්තිය නම් ඒ සඳහා ජනතාවගේ උරුමකරුවා ජනාධිපති මහින්දයි.

යුද ජයග්‍රහණය හැරුණු විට දේශපාලන පළපුරුද්ද අතින් ජනාධිපති මහින්ද සිටින්නේ ඉහළම තැනක. ඔහුගේ දේශපාලන පරිචය 40 වසරක අත්දැකීම් සහිතව දියුණුවූවක්. මේ අනුව යුද ජයග්‍රහණය අතින් පමණක් නොව දේශපාලන පරිණතභාවය අතින්ද ඉදිරියෙන් සිටින්නේ ජනාධිපති මහින්දයි. මේ නිසා ම ජනතාවට තෝරා ගැනීම පහසු වෙනවා.

No comments:

Post a Comment