Thursday 24 December 2009

රට බිත්තියට හේත්තු කිරීම

රාමන්
අපේ රටේ පමණක් නෙවෙයි තුන්වැනි ලෝකයේ බොහෝ රටවල තත්ත්වයත් එයමයි. මැතිවරණ වේදිකාවේ පමණක් නොව රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මට්ටම ක්‍රමයෙන් ඉහළට එසවීමට කටයුතු කිරීම ජනසමාජයකට වැදගත්. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.විවිධ විහිළු තහළු කර ගත්තට සමස්ත රටම අනතුරට එළීමේ ප්‍රකාශ මැතිවරණයට මුවා වී සාමාන්‍යයෙන් වගකිව යුතු අපේක්ෂකයෙක් කරන්නේ නැහැ. මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන්ට තමන් ඡන්දය ඉල්ලනවා වගේම රට වෙනුවෙන් වගකීමක්ද තිබෙනවා.


මින් ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන්ට එම වගකීම වැඩියි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් එවැනි වගකිවයුතු අපේක්ෂකයෙක්. එහෙමයි රට කල්පනා කරන්නෙ. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේ දී තරඟ කරන්නේ නැහැ.

සරත් ෆොන්සේකා ඉදිරිපත් වී සිටින්නේ එම පක්ෂ දෙක, ඔවුන් වටා ගොනුවී සිටින කුඩා කණ්ඩායම් හා දේශපාලන පක්ෂ වෙනුවෙන්. ඔහු කරන කියන දේවල් වැදගත් වන්නේ ඒ නිසා. ඔහුට ආවාට ගියාට ප්‍රකාශ කරන්න බෑ. එදා එක්සත් ජාතික පක්ෂය තරඟ කළ මැතිවරණයකයි අද සරත් ෆොන්සේකා තරඟ වදින්නේ. මේ නිසාම තමයි ඔහු ප්‍රවේසම් විය යුත්තේ. එහෙත් සරත් ෆොන්සේකා මේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන සමහර ප්‍රකාශ බරපතලයි.


ඔහු පසුගියදා සන්ඩේලීඩර් පුවත්පත සමඟ කළ සාකච්ඡාවේදී ආන්දෝලනාත්මක අදහසක් ඉදිරිපත් කළා. එය මානුෂික මෙහෙයුම් සටන් බිමේ සිදුවූවා යැයි කියන සිදුවීමක්. ආරක්ෂක ලේකම්වරයාගේ අණින් සුදු කොඩි අත දරා පැමිණි බව කියන අයට වෙඩි තැබූ බවයි එම පුවත.


මේ පුවත දෙබරයට ගල්ගැසුවා වාගේ රටත් ලෝකයත් කලබල වන්නට වුණා. ‘සන්ඩේලීඩර්’ පුවත්පත මෙය වාර්තා කළේ තම ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට. සරත් ෆොන්සේකා එය සෘජුවම ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔහු ඒ වෙනුවට කීවේ ‘සන්ඩේලීඩර්’ කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් තමා ප්‍රකාශ කල කාරණය ඉදිරිපත් කළ ආකාරයෙන් පාඨකයාට වැරැදි වැටහීමක් ඇති වෙනවා කියලයි. පුවත්පත් බලධාරීන් එම වැරැදි නිවැරැදි කරණු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. (15. 09. 2009) කියලයි.


එහෙත් ෆෙඩ්රිකා එය නිවැරැදි කළේ නැහැ. සරත් ෆොන්සේකා අදාළ පුවත බොරුයි, වැරැදියි, නිවැරැදි කරන්න කියා ලිඛිතව ඉල්ලා සිටියෙත් නැහැ. ඒ වෙනුවට ෆෙඩ්රිකා කීවේ අපි කිසිම අවස්ථාවක ඔහු කී දේට වැරැදි අර්ථ කතනයක් ඇති වන ලෙස එය ඉදිරිපත් නොකළ බවයි. ‘ෆෙඩ්රිකා’ හා ‘සන්ඩේලීඩර්’ පුවත්පත කියන දේ සත්‍ය නම් සරත් ෆොන්සේකා බොරු කියා තිබේ. සරත් ෆොන්සේකා කියන දේ සත්‍ය නම් ෆෙඩ්රිකා බොරු කියා තිබේ.


එහෙත් මෙහිදී පැන නගින සත්‍යය ‘සන්ඩේලීඩර්’ පුවත්පත හා ෆෙඩ්රිකා ජෑන්ස් සෘජුවම තමන්ගේ පුවත්පත වෙනුවෙන් පෙනී සිටීමයි. අනෙක් පැත්තෙන් විශ්‍රාමික ෆොන්සේකා කෙළින්ම එම පුවත ප්‍රතික්ෂේප නො කිරීමයි. ඒ සඳහා ඔහු නිවැරැදි කිරීමක්වත් ඉල්ලා නැහැ.


මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමේදී සරත් ෆොන්සේකා මෙවන් ප්‍රකාශයක් පුවත්පතට කලාය කියන කාරණය තහවුරු වෙනවා.

එහෙත් ඔහු පුවත්පත් සාකච්ඡාවක් මගින් පවසා ඇත්තේ එවැන්නක් සිදු නොවුණු බවයි. මීට අමතරව ඔහු එය සටන් බිමේ සිටි මාධ්‍යවේදියකුගෙන් අසා දැන ගත් ඕපාදුපයක් විදිහටත් පසුව අර්ථ ගැන්වූවා. අනෙක් පැත්තෙන් යුද බිමේ සිදු වූ කාරණාවල වගකීම ඔහු බාර ගන්නා බවද එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.පුවත්පතකට කී කාරණයක් සම්බන්ධයෙන් ඇති වැරැද්ද එම පුවත්පත මගින් නිවැරැදි කිරීමෙන් තොරව පුවත්පත් සාකච්ඡාවක් මගින් ප්‍රතික්ෂේප කිරීම දෙපිට කාට්ටු වැඩක්.


ඔහු සමාජයට ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා සුදු චරිතයටත් කැළලක්. මෙවන් මොහොතක සුදු කොඩි කතාව අඬන්න බලාගෙන ඉන්න එල්. ටී. ටී. ඊ. කාරයන්ට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි. මේ ප්‍රවෘත්තියත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හා කොටි හිතවාදී සංවිධාන උද්දාමයට පත්වීමෙන්ම එය පැහැදිලියි. මේ අනුව ජනරාල්වරයා කර තිබෙන්නේ කුමක්ද ? තමන්ගේම සටන් සගයන් අමාරුවේ දැමීමක්. එය පාවාදීමක් ද නැද්ද කියා මධ්‍යස්ථ කෙනෙකුට වුවද වැටහෙනවා.

ආරක්ෂක ලේකම්වරයා සමග ඇති තරහ හා දෙමළ ජනතාවගේ ඡන්දය යන කාරනා දෙකම ඔහු එක වර ඉටු කර ගැනීමේ උත්සාහයක සුදුකොඩි කතාව හරහා නිරත වී තිබෙන බව පෙනෙනවා. එහෙත් තමාගේ පටු දේශපාලන අරමුණ හා ආරක්ෂක ලේකම්වරයා සමග ඇති ආරවුල විසඳා ගැනීමට සූදානම් වන්නේ රට බිල්ලට තබමින් බවයි පෙනෙන්නේ.


යුද්ධයක් පවතින මොහොතක යුද බිමේ සිවිල් ජනයා මිය යන්න පුළුවන්. ඒ නිසා තමයි මානුෂික මෙහෙයුමේදී සිවිල් ජනයා තෝරා බේරා ගෙන ඔවුන් නිදහස් කර ගනිමින් යුද්ධ කළේ. එහෙම වුණත් අතරින් පතර වැරැදි සිදු විය හැකියි. ඒත් හිතා මතා නොවෙයි. මෙවන් දැවැන්ත මෙහෙයුමක සාමාන්‍ය සිදුවීම් විය හැකියි.

ලෝකයේ ඕනෑම යුද මෙහෙයුමක යම් යම් සිදුවීම් වාර්තා විය හැකියි. එම වාර්තා අන්තර් ජාතික වශයෙන් විවිධ අතිශෝක්ති ප්‍රභවයන් සමඟ පැතිරී යනවා. ඊට හේතුව ඕනෑම යුද්ධයක පාර්ශවයන් දෙකක් සිටීම. වන්නි මානුෂික මෙහෙයුමේදී රට නිදහස් කර ගැනීමේ පාර්ශවය හා ත්‍රස්තවාදීන්ගේ පාර්ශවය යනුවෙන් කොටස් දෙකක් සිටියා. ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී පාර්ශවය බටහිර ලෝකයේ විවිධ රටවල ජීවත් වුණා. ඔවුන් වන්නි මානුෂික මෙහෙයුම සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් ගෙනයමින් සිටියා.


එහෙත් ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිව යුතු රාජ්‍ය හා මානව හිමිකම් ආයතන මේ බේගල් ඒ තරම් බාර ගත්තේ නැහැ. ඊට හේතුව ඔවුන් දැන ගෙන සිටියා එල්. ටී. ටී. ඊ. පැත්තෙන් විවිධ බොරු ප්‍රවෘත්ති ශ්‍රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව ගෙන යන බව. මේ නිසාම මානුෂික මෙහෙයුමට මැදිවී සිටි සිවිල් ජනයා සම්බන්ධයෙන්ද ජාත්‍යන්තරය අවධානයෙන් සිටියා. මේ නිසා කොටි හිතවාදීන්ගේ පට්ටපල් බොරු ඒ ආකාරයෙන් පිළිගැනීමට ජාත්‍යන්තර ආයතන සූදානම් වුණේ නැහැ.


මේ අතර කටකතා හා විවිධ ආරංචි නොවැදගත් සිදුවීම් ලෙස ඉතිහාසයට එක් වී තිබුණා. සරත් ෆොන්සේකා ගේ සුදු කොඩි කතාව මතු වන්නේ මෙවන් පසුබිමක. දැන් එය ඡන්ද කාලේ දෙමළ ඡන්ද ආකර්ශනය කර ගැනීමට ගොතන ලද්දක් පමණක් නොවෙයි. සරත් ෆොන්සේකා වැනි යුද්ධයේ වගකිව යුත්තෙක් එසේ සඳහන් කරන විට ඒ කතාව ඇත්තක් වුවත් බොරුවක් වූවත් වටිනාකමක් ලැබෙනවා.


ඊට හේතුව එවන් ප්‍රකාශයක් කරන්නා ඒ මොහොතේ යුද හමුදාවේ සිටි ප්‍රධානියා වීමයි. ඔහු ඊට හසු කරනු ලබන්නේ ආරක්ෂක ලේකම් වරයායි. යුද බිමේ තම අණසක ක්‍රියාත්මක කළ හමුදා නිලධාරියා හා ඔහුගේ කණ්ඩායමයි. මොන විදියකින් හෝ ඔහු මේ කියන්නේ මම නම් නොවෙයි. ඒවා අනුන්ගේ වැඩ වගෙයි කියලයි.


ඒ අනුව මම නිවැරැදියි අනික් අය වැරැදියි. ඔහු නොකියා කියන්නේ් ඒක. වෙන විදියකින් සඳහන් කරන්නේ නම් එදා තමාගේ මිතුරා හා යුද්ධය පැවැති සමයේ ඊට සජීවී සහභාගි වූ ලේකම්වරයා ගැනයි ඔහු මේ සඳහන් කරන්නේ. ඒ අනුව ඔහු කියන කාරණය බොරුවක් වුණත් බාහිර ප්‍රජාව එය වැදගත් ප්‍රකාශයක් සේ සලකනවා.


අද සිදුවී තිබෙන්නේ එයයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පදනම් කර ගෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප්ස් ඇලස්ටන් අහන්නේ මෙහෙම දෙයක් සිදු වුණා ද කියලයි. එම චෝදනාව වැරැදිද ? නිවැරැදිද ? යනුයි. එසේ ම එය වැරැදි නම් වැරැදිය කියා ඔප්පු කළ යුතු බවයි.


මානව හිමිකම් කවුන්සලයට තමා මේ පිළිබඳ ලබා දෙන විශේෂ වාර්තාවට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයක් අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා. තමා විශේෂයෙන් ම විමසන්නේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය පිළිබඳ බව ද පිලිප්ස් ඇලස්ටන් සඳහන් කරනවා.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය මේ තොරතුරු සොයන්නේ ඇයි ? ආරක්ෂක ලේකම් ඉලක්ක කර පරීක්ෂණයක් පැවැත්වීමට බවයි පෙනෙන්නේ. එය කිසිසේත්ම රටට හොඳක් වෙන්නේ නැහැ.


එවැන්නක් සිදු වන්නේ නම් අද වන විට ඊට පාදක වී තිබෙන්නේ සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතට කර ඇති ප්‍රකාශයයි. පසුව ඔහු එවැන්නක් සිදු වුණේ නැතැයි කීම ඔවුන් ගණන් ගෙන නැහැ. ඔවුන් විමර්ශන කටයුතු ඇරැඹීමට සූදානම් වන්නේ ‘සන්ඩේ ලීඩර්’ මුල් ප්‍රකාශයට.


ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක වුණත් අදාළ සිදුවීම් සිදු වුණාය කියා ඔහු සඳහන් කළ මොහොතේ රණ බිමේ සිටි රණ විරුවන්ට ද මෙම චෝදනා එල්ල වෙනවා.


මෙහි භයානකත්වය ඇත්තේ මෙතැනයි. මෙවැනි ක්‍රියාවක් සාධාරණවන්නේ කෙසේ ද ? පටු දේශපාලන වාසි අබියස රට තබා ඇත්තේ භයානක තැනක. ගෙවී ගිය සිව් වැනි ඊළාම් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාව කටයුතු කළ ආකාරය ගැ. යුරෝපයේ වෙසෙන දෙමළ සරණාගත ප්‍රජාව කැමති නැහැ. සරත් ෆොන්සේකා හේතු සපයමින් සිටින්නේ ඔවුන්ට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නයි.


රටට වැදගත් වන්නේ එක දෙයයි. මේ මැතිවරණයෙන් පසුව ද අපට රටක් තිබිය යුතුයි. රටේ කීර්ති නාමය සුරැකිය යුතුයි. ඡන්ද වල දිනුම් පැරදුම් වලට වඩා අපට එය වටිනවා.


අපට අවශ්‍ය වන්නේ යුද්ධයෙන් පසු කඩිනමින් ගොඩනගන රටක් දකින්න. ජනාධිපති මහින්ද රාජපක්ෂ වැනි අත්දැකීම් සහිත නායකයෙක් සොයන්නේ ද ඒ සඳහායි. එසේ නොමැතිව කාගේ හෝ පවතින ධුර කාලය රැකදීමටත් අලුත් කෙනෙකුට ධුර කාලයක් ලබා දීමටත් නොවෙයි.


යුද්ධය නිමා කළ රටවල් ඉදිරි සංවර්ධන සඳහා සූදානම් වන්නේ පරණ කුණු කන්දල් ඉවත දමමින්. කිසිවෙකුට අවශ්‍ය නැහැ හෙට දවසේ යුද්ධයේ බිහිසුණු සෙවනැලි අධ්‍යයනය කරන්න. රට සිටින්නේ එතැනයි. එම වේගවත් ගමනට මෙවැනි මානව හිමිකම් ප්‍රශ්න මතුවීම හෝ මතු කර දැමීම සියල්ල අවුල් කිරීමක්. සරත් ෆොන්සේ්කාට අවශ්‍යව තිබෙන්නේ එම කාරණය ද කියා කියන්න දන්නේ නැහැ. නැත්නම් ඔහු සුදු කොඩි කතාවක් ඇද ගත්තේ ඇයි.
යන එකා කොරහත් බිඳ ගෙන යන්නා සේ මට නො හැකි නම් ඔබට අවුල් සහගත රටක් නිර්මාණය කර දීම ඔහුගේ ප්‍රාර්ථනය වී තිබේ ද කියා දන්නේ නැහැ. කොහොම වුණත් එය හොඳ ප්‍රාර්ථනයක් නොවෙයි. මේ සිදුවීම් ඇසුරින් සරත් ෆොන්සේකා ආණ්ඩුව බිත්තියට ම ගෙන හේත්තු කරනවා වගෙයි. රටක් විදියට එය භයානක තත්ත්වයක්.


ඒත් ජනාධිපතිවරණයක් අබියස අපේක්ෂකයෙකු ගේ මෙවන් හැසිරීමක් කිසිසේත්ම යුක්ති සහගත වන්නේ නැහැ. එය ඔහුගේ කෙළින් කතාවටත් කෙළින්වැඩ කිරීමටත් ප්‍රශ්නයක්. ඔහු තුළින් විද්‍යාමාන වන්නේ පළිගැනීමේ චේතනාවෙන්, කිසිදු දේශපාලන අවබෝධයකින් තොරව වගකීමක් නොමැති දේශපාලනයක යෙදෙන කෙනෙකුගේ ස්වරූපයක්. එය ජනාධිපතිකමකට නම් කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ.

No comments:

Post a Comment