Wednesday 9 December 2009

මන්ත්‍රී ධුරයක් හෝ දරා නැති පුද්ගලයකුට සහාය දෙන්න බෑ - - මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු

නිරූෂි විමලවීර - දිනමිණ
විධායක ජනාධිපති ධුරය වැනි උත්තරීතර තනතුරක් සඳහා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක් හෝ දරා නැති පුද්ගලයකුට සහාය ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිසා මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.
ඒ මහතාට දේශපාලනය පිළිබඳ පළපුරුද්දක්, හැකියාවක් හෝ කිසිදු අවබෝධයක් නොමැති බව ද එහෙයින් කිසිදු සහායක් ලබා දිය නොහැකි බව ද හෙතෙම සඳහන් කෙළේය. කොළඹ නගර සභාවට කණ්ණාඩියෙන් තේරී පත්වූ නගරාධිපති ඇතුළු පිරිස ඉවත්කරගැනීමට නොහැකි වූ එජාපය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව මන්ත්‍රීවරයා කීය.

කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (08දා) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් ඒ මහතා එසේ සඳහන් කෙළේය.

1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි වූ ජනතා විමුක්ති පෙරමුණට 2005 දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්වී ද විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට නොහැකි වූ බවත්, එය ඉදිරියේදී ද සිදු කළ නොහැකි බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.
එජාපයෙන් ජනාධිපතිවරණය සඳහා තරග කළ හැකි හොඳ අපේක්‍ෂකයන් දෙදෙනකු අපට සිටින බවත්, පක්‍ෂය විනාශ නොකොට ඔවුනට අවස්ථාවක් දීමට තවමත් අවස්ථාවක් ඇති බවත්, ඒ සඳහා ලබන 17දා තෙක් කාලය ඉතිරිව ඇති බවත් හෙතෙම අවධාරණය කෙළේය.

ඒ මහතා මෙසේ ද කීය.
පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳ වැරදි මතයක් ගොඩනැගී තිබෙනවා. ඉන්දික බණ්ඩාරනායක මහතා එදින මාධ්‍ය හමුවට සහභාගි නොවී ජෙනරාල්ගෙන් හමුවීමට වෙලාවක් ඉල්ලා ඇති බවට මාධ්‍ය මඟින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනවා. එය අසත්‍ය ප්‍රකාශයක්.

එසේම පසුගිය මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් නොවන පුද්ගලයන් දෙදෙනකු මෙතනට පැමිණ තිබෙනවා. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී තිබෙන නිසා අද මාධ්‍ය හමුවට ආරක්ෂාව දැඩි කිරීමට සිදුවුණා.
අවුරුදු දොළහක දහහතක කාල සීමාවක් අපට ආදරය කළ පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අයට පක්ෂ නායකයාගේ ඒකාධිපති තීන්දුව පිළිබඳ දැනුවත් කළ යුතුයි. අපට ආදරය කරන අය දැනුවත් කිරීමේ අයිතියක් අපට තිබෙනවා.
පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. සතියකට දෙවරක් මාධ්‍ය සාකච්ඡා හරහා පක්ෂ නායකයාගේ ඒකාධිපති මතය යම් යම් මන්ත්‍රීවරු හරහා මාධ්‍යයට ලබා දෙනවා.

පක්ෂයෙන් එළියට පැමිණි අප ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව දැනුවත් කරනවා. ඊට තර්ජන එල්ල වනවා. මැතිවරණයට පෙර නාමයෝජනාවලට පෙර මෙහෙම නම් ඊට පසු කෙසේ වේවිදැයි හිතන්න බැහැ. අප කිහිප දෙනා පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම නතර කරන්නේ නැහැ.

එජාප සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒක කිසිසේත් අනුමත කරන්න බෑ. තමා විවේචන ප්‍රශංසා දරාගන්න බැරි ආත්ම ශක්තිය නැති අය තමා මාධ්‍යයට පහර දෙන්නේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාද මාධ්‍ය නිදහස කියන්නේ මේකද? අප ඉතා ආදරය කළ එස්. බී. දිසානායක මහතා කොන්ද කෙලින් තබාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පල කළා.

අවසානයේ එස්. බී. පක්ෂයෙන් ඉවත් වුණා. එස්. බී. මොන ප්‍රකාශ කළත්, හිතේ දුකෙන් ඉන්නේ ඒ බව වෙන කාටත් වඩා මම දන්නවා. දක්ෂයෙක් ගියාම සමහරු සතුටුයි. කෘත්‍යාධිකාරී ජනාධිපති අපේක්ෂකයාව මණ්ඩලයේදී අනුමත කර ගිය බව මහ ලේකම් කියනවා. පක්ෂය අතහැර 17ක් ගියා 2 – 3 යනවා තනිවම යනවා. ඒ අය එන බව පේනතෙක් මානයක නැහැ. ඒකට රනිල් සතුටුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා අටක් ආවා. අද ඒ අය කිසි කෙනෙක් නෑ. ආණ්ඩුව පෙරලුනාට පසුව පැමිණි කිරිඇල්ල විතරයි ඉතිරි වුණේ. ගෙනත් අතාරිනවා විතරයි වැඩක් නැහැ. කවුරු හෝ මෙහෙට ආවොත් ඒක ටිකක් ලොකු වැරැදීමක්. සරත් ෆොන්සේකා ගෙන ඒමට සාකච්ඡා කළා කියා පක්ෂ සභාපති මට චෝදනා කරනවා. මගේ නම කෙළින් ප්‍රකාශ කරන්න කොන්ද පණ නැහැ. දේශපාලන හව්හරණක් නැති අය ගේන්න මට පිස්සු නැහැ.

ජ.වි.පෙ. සරත් ගේන බව කීවා. රනිලුත් සරත් කියා කියනවා. රනිල් අගමැති වීමේ සිහින මවනවා ජ.වි.පෙ. තවත් එක් කෙනෙක් ගැන කියනවා. මේවා මොන විහිළුද? විධායක ජනාධිපති ක්‍රමය අගේ කිරීමක් ගැන කතා කරනවා. මේවා පක්ෂ නායකකම රැක ගැනීමට කරන බොරු විප්ලවයක්.

එජාපයට මැතිවරණ සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් එකතු වෙනවා. පසුගිය ඡන්දයට ලක්ෂ 30,000ක් එකතු වුණා. ඉන් වැය වුණේ ලක්ෂ 9000 යි. ඉතිරි සල්ලි වලට මොකද වුණේ කියා කිසිවෙක් දන්නේ නැහැ. මේවා රනිල්ගේ අයියා මල්ලිගේ බූදලය නෙමේ. ඩී. එස්. හැදූ පක්ෂය ඉතා සාධාරණ පක්ෂයක්.

ඒත් මිස්ටර් ක්ලීන් සල්ලි හම්බ කරනවා. ඒත් සිරිකොතේ ටෙලිෆෝන් බිල්, වතුර බිල් ගෙවන්න සල්ලි නෑ. සිරිකොතේ නිලධාරීන්ගෙන් සියයට 75ක් 90ක් නායකයාට විරුද්ධයි. සමහර නිලධාරීන් නගරයක් නගරයක් පාසා යමින් සල්ලි හම්බ කරනවා.

ඒවා අප රටට හෙළි කරනවා. ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනා ඉන්නේ කලකිරිලා. පාර්ලිමේන්තු යන්නේ දන්ගෙඩියට ගෙන යනවා වගේ මස් කඩේට ඇදන් යන හරක් වගේ. ඒත් තව සමහරුන්ට හරි සතුටුයි.

එස්. බී. නෑ, ජොනී නෑ. මේ නායකයා එක්ක පරාජයට ඉදිරියට යන්න බැහැ. කොන්ද පණ නැති නායකයෝ ඉන්නවා නම් මේ අපරාධයෙන් පක්ෂය රැකගන්න ඉදිරියට එන්න කියා අප ආයාචනා කරනවා.

එල්ලෙන්න තැනක් නැතිව සිටි ජ.වි.පෙ.ට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු හතළිහක් ගේන්න අවකාශය රනිල් සකසමින් සිටිනවා. පක්ෂයට හෙණ ගැසුවත් රනිල්ට කමක් නෑ එයාට අවශ්‍ය තවත් අවුරුදු 5ක් විපක්ෂනායක ධුරයේ සිටීමයි.

රනිල් පිහිටවපු යොවුන් පෙරමුණේ තරුණයින්ට දැන් අවුරුදු 30ත් පැනලා. බොහෝ දෙනා දැන් බැඳපු ඇය. ප්‍රේමදාස ජේ. ආර්. ගේ කාලේ රස්සාවල්වලට ආපු අයට රැකියාවේ අවසාන කාලේ වත් එජාප ආණ්ඩුවක් යටතේ ඉන්න හැකියාවක් නෑ. හැමදාම විපක්ෂයේ එජාපයට දිනන්න බෑ.

තම සුඛ විහරණය සඳහා රනිල් එජාපය දන් දී තිබෙනවා.

එජාප කුරුණෑගල දිසා මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක මහතා. මාගේ පෞද්ගලික හේතුවක් නිසා පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පක්ෂයට ඉදිරි ගමනක් නැති බව 2004 දී ප්‍රථමයෙන් ප්‍රකාශ කෙළේ මමයි. ගමේ ගැමි සුවඳ හඳුනන ජනතා හද ගැස්ම හඳුනන ජන නායකයෙක් පක්ෂයට අවශ්‍ය බව ගමෙන් ආ අප දැන සිටියා. ඒත් එම අවස්ථාව උදාවුණේ නැහැ.

කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා. ජනාධිපතිවරණයෙන් පසු 27 දා ප්‍රකාශ කරන ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතා දැනටම හදාගෙන සිටිනවා. මම තරග කළා නම් සුළු ජාතීන්ගේ ඡන්දය මට ලැබෙනවා.

කැරළිකාර මන්ත්‍රීවරු පොදු අපේක්ෂකයෙක් ඕනෑ කියා ඒ නිසා අප එය කළා යැයි වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරනවා. සුළු ජාතීන් ඡන්දය දෙන්නේ කාටද කියා 27 දා දැනගන්න පුළුවන්.

අප 17 දා තීන්දුවක් ගන්නවා. ජනාධිපතිවරණය තීරණාත්මක පොදු අපේක්ෂකයා ජනාධිපති වුවහොත් ප්‍රථමයෙන් විපක්ෂ නායක ළඟට යන්නේ මොකද තොප්පිගල කැළෑවක් කී නිසයි.

දෙවනුව මංගල සමරවීර මහතා ළඟටයි. ඒ ගැලවීමේ හමුදාවේවත් නායකත්වයට සුදුසු නෑ කියූ නිසයි. තෙවනුව යන්නේ රවි කරුණානායක ළඟටයි. ඒ අලිමංකඩට පාමංකඩ කියූ නිසයි.

No comments:

Post a Comment