Friday 4 December 2009

ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික බලවේග පිබිදීම!

සිරිමෙවන් කස්‌තුරිආරච්චි -දිවයින
දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒ තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති. සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්‍ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි.


එසේම එය කිසිසේත්ම නො විය යුතු සහ කිසිසේත්ම අනුමත කළ නො හැකි දෙයකි.කෙසේ වුවත් දැන් එය සිදු වී ඇත. එදා එකට එක්‌ වී ප්‍රභාකරන් නමැති ජාතියේ පොදු සතුරාට එරෙහිව යුද වැද ඒ සතුරා විනාශ කළ රටට සාමය උදාකළ ඒ දේශපාලන හා යුද නායකයන් දෙදෙනා මෙදා දෙපසකට වී එකිනෙකාට එරෙහිව දේශපාලන යුද පිටියට බැස යුද වැදීම කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ ද යන්න රටේ බහුතර ජනතාව දනිති. එහෙත් ඒ බව නො දන්නා පරාජිත දේශපාලන නායකයෝ සහ පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ ප්‍රමුඛ දෙස්‌ විදෙස්‌ බලවේගවල බලපෑම්වලට අවනත වී මෙවන් අනුවණ තීරණයක්‌ ගෙන දේශපාලන සටනකට පිවිසීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ගත් පියවර පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ සහ ඔවුන්ට සහාය දක්‌වන විදෙස්‌ ප්‍රජාව මහත් උද්දාමයට පත්ව සිටින බව ද නො රහසකි.

කොතරම් දක්‍ෂ යුද හමුදාපතිවරයකු සිටියද, දක්‍ෂ යුද හමුදාවක්‌ තිබුණ ද ඒ තුළින් පමණක්‌ යුද්ධය ජය ගැනීමට නො හැකි බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ බව යුද්ධය කෙරීගෙන ගිය පසුගිය කාලය දෙස විමසා බැලීමේදී හොඳින් තහවුරු වනු ඇත.ත්‍රස්‌තවාදයට පිළිතුර යුද්ධය පමණක්‌ බව හොඳින් වටහාගත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ඒ පිළිබඳ නිවැරැදි සෘජු තීරණයක්‌ එඩිතරව ගෙන යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක්‌ ලබා දීම මෙම යුද විජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන හේතුව බව පැහැදිලිය.

වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ලුතිනන් ජෙනරාල් නිලයට උසස්‌ කර ඔහුට යුද හමුදාපති තනතුර ලබාදීමට ජනාධිපතිවරයා එදා කටයුතු නො කළා නම් ජෙනරාල් ෆොන්සේකාට අද යුද වීරයකු ලෙස මෙසේ ජනප්‍රසාදය දිනා ගැනීමට නොහැකි වනු නිසැකය.

ජෙනරාල් ෆොන්සේකා එදා ගෙදර නො යවා යුද හමුදාපති තනතුරට පත් කරවීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීරණය ද මේ විජයග්‍රහණයේ ප්‍රබල සාධකයකි. ඔහුගේ බලවත් ඉල්ලීම සහ නිර්දේශ නිසා ජනාධිපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුර පිරිනැමීය. එවන් තත්ත්වයක්‌ යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සටනට පිවිසීම පිළිබඳව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද දැඩි කලකිරීමකට සහ පසුතැවීමකට පත්ව සිටින බව ද ප්‍රකට රහසකි.

ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී සිදු කර ඇත්තේ තමා වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආරක්‍ෂක ලේකම්වරයා අපහසුතාවකට පත් කිරීමක්‌ නොවේද? අනෙක්‌ අතට මෙම යුද්ධයට එරෙහිව තමන් ඇතුළු රජයටම අවමන් කළ දේශපාලනඥයන් සමග වීම අනෙක්‌ පුදුමයයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් නිවැරැදි දේශපාලන නායකත්වය යටතේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දක්‍ෂ මෙහෙයවීම සහ සම්බන්ධීකරණය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ එඩිතර යුද නායකත්වය කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමේ සටනේ ජයග්‍රහණයට හේතු වූවා මිස මෙය එක්‌ පුද්ගලයකුගේ තනි ජයග්‍රහණයක්‌ නොවන බව පැහැදිලිය.ඒ හැර මෙය ඒක පුද්ගල ජයග්‍රහණයක්‌ හෝ තනිව ඔටුනු පළඳවා ගැනීමක්‌ නොවනු ඇත.

යුද්ධය සාර්ථකව කෙරීගෙන යන සමයේදී පවා මේ බව අප "ආරක්‍ෂක විවරණය" තුළින් වරින් වර පෙන්වා දුන් බව පාඨක ඔබට මතක ඇතැයි විශ්වාස කරන්නෙමු.ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීමට ප්‍රධාන හේතුව ලෙස ඔහු යුද හමුදාපති තනතුරින් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ ඔහු තුළ ඇති වූ කලකිරීම බව ද ඔහු පවසා තිබිණි.මෙම මස 17 වැනිදා දක්‌වා ඔහුට යුද හමුදාපති තනතුරෙහි කටයුතු කිරීමට තිබියදී ඊට පෙර ඔහු එම තනතුරින් ඉවත් කර එම තනතුරට ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පත් කිරීම ජෙනරාල් ෆොන්සේකාගේ නොසතුටට හා අමනාපයට හේතු වී ඇතැයි කියති.

යම් හෙයකින් ඔහු ඉල්ලා සිටි පරිදි මේජර් ජෙනරාල් ජී. ඒ. චJද්‍රසිරි ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මීළඟ යුද හමුදාපති තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවා නම් මෙම ප්‍රශ්නය උද්ගත නො වන බව ජෙනරාල් ෆොන්සේකාගේ අදහස්‌ වලින් පෙනී යයි.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරින් ඉල්ලා අස්‌වීම සඳහා යෑවූ ලිපියේ අඩංගු කරුණු වලින් ද ඒ බව තහවුරු වනු ඇත.ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ නොවූ ප්‍රදේශ රැකගෙන සිටීමේ නිරතව සිටි ආඥපතිවරයකු පමණක්‌ බව ද ජෙනරාල් ෆොන්සේකා එම ලිපියෙන් කියා ඇත.

එහෙත් එය සත්‍යයක්‌ ද?අප දන්නා පරිදි වන්නි මෙහෙයුම් සිදු වූ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් දිස්‌ත්‍රික්‌ක සියල්ල අයත් වන්නි ආරක්‍ෂක සේනා ආඥපති (Seජමරසඑහ Fදරජැ ඤපප්බාeර ආබබස) වශයෙන් එවකට මේජර් ජෙනරාල්වරයකුව සිටි ජගත් ජයසූරිය ඔහු යටතේ පැවැති සියලුම සේනාංක සහ බලසේනා මෙහෙයවමින් සටනට නායකත්වය දුන් සෙන්පතියෙකි.

එවන් මෙහෙවරක්‌ ඉටු කරමින් වන්නි මෙහෙයුම් වලට සක්‍රීය දායකත්වය දුන් වන්නි ආරක්‍ෂක සේනා ආඥපතිවරයා යුද හමුදාපති තනතුරට නුසුදුසු වන්නේ කෙසේද? අනෙක්‌ අතට වසර 03 කට අධික කාලයක්‌ කිසිදු හමුදා මෙහෙයුමකට සක්‍රීයව සම්බන්ධ නොවී යාපනයේ භූමි ප්‍රදේශ රැක ගැනීමේ සහ සිවිල් සබඳතා කටයුතු මෙහෙයවීමේ පමණක්‌ නිරතව සිටි මේජර් ජෙනරාල් ජී. ඒ. චJද්‍රසිරි යුද හමුදාපති තනතුරට සුදුසු වනුයේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි.

මවුබිම කොටි ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීමේ ඓතිහාසික සටනේ විජයග්‍රහණයේ ප්‍රබල කොටස්‌කරුවකු සහ ඊට යුද නායකත්වය දුන් හමුදා ප්‍රධානියකු ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැප කිරීම කිසිසේත් අවතක්‌සේරුවට ලක්‌ කිරීමට හෝ ඔහුගේ නායකත්වය හා දක්‍ෂතාව ද පිළි නොගැනීමට අපි උත්සාහ නො දරන්නෙමු.

කෙසේ වුවද මෙම සියලු විජයග්‍රහණයන් ආපසු හැරවීමට වෙර දරන දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකාරී බලවේග සමඟ එක්‌ වී එක පෙළට සිටීමෙන් සිය විජයග්‍රාහී අතීත කීර්තියට අවමන් කරන්නේ ද ජෙනරාල් සරත් ෆොන්සේකා මිස වෙනින් කවුරුවත් නොවේ.

දේශපාලනය යනු තමනට අලුත් හා ආධුනික ක්‍ෂේත්‍රයක්‌ බව සරත් ෆොන්සේකා මහතා ම සිය මංගල පුවත්පත් හමුවේදී ම සඳහන් කර තිබිණි. ඇත්ත වශයෙන් ම එදා ඔහුගේ මුවින් ගිලිහී ගිය ඇතැම් දේ වලින් අපට ද ඒ ආධුනික බව තහවුරු විය. වසර 40 ක හමුදා අත්දැකීම් දේශපාලන පරිණතභාවයට පත්වීමට ඉවහල් විය හැකිය. එහෙත් ඒ සඳහා දේශපාලනයේ ද කලක්‌ කල් ගෙවිය යුතුය. දේශපාලන හැසිරීම් සමඟ ගැටෙමින් ද, ඒවාට මුහුණ දෙමින් ද කල් ගෙවිය යුතුය. දැන වෙළඳන් - නොදැන ගොවිතැන් යන ජනවහර ගැන එතුමා දැන සිටිය යුතුය.

විනයක්‌ නැති සංස්‌කෘතියක්‌ නැති දේශපාලනයක දේශපාලන ඇම්ඩන් ඉදිරිපිට මොන්ටිසෝරි දරුවකු බවට පත් වීමට ජෙනරාල්ට සිදු වී තිබේ. එය වෙනම කතාවකි. එය ඔහුගේ තෝරා ගැනීම නම් අපට ප්‍රශ්න කළ නොහැකිය. අප විමසා සිටියේ ඔහුගේ හමුදා මෙහෙවර හා ඔහු එතැනට රැගෙන ගිය ආරක්‍ෂක ලේකම්වරයාට ද පිටුපාමින් සිදු වූ දේ යුක්‌ති සහගත ද යන්නයි.

මෙම සටහන අවසන් කිරීමට පෙර අපගේ පෞද්ගලික කරුණක්‌ ද සඳහන් කිරීමට අවසර පතමි. ඒ මෙම ජෙනරාල්වරයාගේ උදහසට ලක්‌ වූ මාධ්‍යවේදියකු ලෙස අපට දිගු කලක්‌ ක්‍රියා කිරීමට සිදුවීමය. වසර 16 ක්‌ පමණ අප සමඟ මිත්‍රශීලීව ක්‍රියා කළ ජෙනරාල්වරයා යුද හමුදාපති ධුරයට පත්ව නොබෝ කලකින් ම අප සමඟ බිඳුණි. මා එයට හේතු වූ බොරුව හා කේලාම් ගැන මෙහිදී සඳහන් නොකරමි. මට කළ දේ එතුමාට මතක තිබිය යුතුය.කෙසේ හෝ එතුමාගේ නියෝගය අනුව මට හමුදාව තහනම් විය. කිසිදු හමුදා ප්‍රදේශයකට යැමට වරම් නොලද මා ෙද්‍ර`හියකු ලෙස සැලකීමට තරම් එතුමා සාහසික විය. මට හමුදා ක්‍රියාන්විත ප්‍රදේශවලට යැම පවා තහනම් විය. මගේ තුන් අවුරුද්දකටත් වැඩි අසාධාරණ තහනම ඉවත් කර යළි මට ආරක්‍ෂක ක්‍ෂේත්‍රයට පිවිසීමට වරම් උදා කරන ලද්දේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය බව ද කෘතවේදීව සඳහන් කරමි. යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ මේජර් එච්. පී. මහින්ද, ලුතිනන් උභය පෙරේරා ද මා වෙනුවෙන් පෙනී සිටියහ. ඒ මාධ්‍ය නිදහස ගරු කරමින්ය. ඔහු උදුරාගත් මගේ පෑන දැන් මට ලැබී තිබේ.

No comments:

Post a Comment