Thursday 17 December 2009

ජනපතිවරණයේ සහන පොරොන්දු ඉටු කළ හැකිද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත- දිවයින
ජනපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ජනපති අපේක්‍ෂකයන්ගේ කතාවලට මහජනයාගේ ඉහළම අවධානය ද යොමු ව ඇත. එහෙත් අපට පෙනෙන්නේ මේ ජනපතිවරණ කතාවලදී තම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ජනතාව හමුවේ තබනවා වෙනුවට හැම දෙනාම පාහේ දේශපාලන අවලාද හා මඩ ප්‍රහාර එල්ලකර ගනිමින් සිටින බවයි. මෙවැනි අවලාද හා මඩ ප්‍රහාර එල්ල වන අතරේ තමන් කිරීමට අපේක්‍ෂා කරන දේවල් ගැන ද අපට අසන්නට ලැබෙයි. මෙවර ජනපතිවරණයට අපේක්‍ෂකයන් විශාල පිරිසක්‌ ඉදිරිපත්ව ඇති බවට ද මාධ්‍ය වාර්තා පළවිය.
අපේක්‍ෂකයන් කොතරම් ඉදිරිපත් වුවත් ප්‍රධාන සටන ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ය. ඒ නිසා කාගේත් වැඩිම අවධානය යොමුව ඇත්තේ මේ දෙදෙනාගේ කතා වලට ය. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ජනපතිවරණයේ සහන පොරොන්දු පිළිබඳව ය.


තවමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හෝ පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්‌වා නැත. මේ දිනවල අපට නොයෙකුත් ජනපතිවරණ කතා අසන්නට ලැබුණත්, ජනපතිවරණයේ සහන පොරොන්දු පිළිබඳව හරිහැට විමසීමක්‌ කිරීමට නම්, මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වන තුරු සිටිය යුතුය. ඒ ඒ අපේක්‍ෂකයන් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන නිශ්චිත වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති අන්තර්ගත වන්නේ එහි ය. එහෙත් මේ දෙදෙනා දැන් සිටම තමන් ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබඳව ජනතාවට නොයෙකුත් පොරොන්දු ලබා දෙමින් සිටිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන වශයෙන් ම මේ ජනවරම ඉල්ලා සිටින්නේ යුද ජයග්‍රහණයෙන් පසු රට ගොඩනැගීම සඳහාය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ය. මේ අතරම තමන් බලයට පත් වූ පසු ලබා දෙන විවිධ සහන පිළිබඳව ද ජෙනරාල් ෆොන්සේකා සිය කතාවලදී සඳහන් කර ඇත. ඔහු බලයට පත්වීම කෙසේ වෙතත් මේ සහන පොරොන්දු පිළිබඳව අප අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.


ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා විසින් මෑතදී ලබා දුන් ප්‍රධාන සහන පොරොන්දුවක්‌ වූයේ තමන් ජනාධිපති ධුරයට පත් වී මසක්‌ ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන බවයි. මේ පොරොන්දුව ගැන කාගේත් අවධානය යොමු වූ අතරම, මේ සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් නොයෙකුත් විවේචන ද එල්ල විය. මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කළේ. මෙය කිසිදු පදනමක්‌ නැති ඉතා ජනප්‍රිය ප්‍රකාශයක්‌ බවයි. මේ වැටුප් වැඩිකිරීම සිදු කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් නිකුත් කර තිබූ එම ප්‍රවෘත්ති නිවේදනයේ මෙසේද සඳහන් විය.

"මේ සඳහා (රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු. 10,000 කින් වැඩි කිරීමට) මුදල් සොයා ගන්නේ කෙසේ දැයි එතුමා පැහැදිලි කළ යුතුය. රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප රු. 10,000 කින් වැඩි කිරීමට නම් ලක්‍ෂ 11 ක්‌ වූ රාජ්‍ය සේවකයන්ට මසක වැටුප ගෙවීමට රුපියල් කෝටි 1100 ක්‌ අවශ්‍ය වන අතර, වසරකට රුපියල් කෝටි 13200 ක්‌ අලුතින් සොයා ගත යුතුය.

එය දැනට පවතින වැටුප් වියදමට සාපේක්‍ෂව සියයට 33 ක වැඩිවීමකි. රාජ්‍ය ආදායමින් සියයට 95 ක්‌ බදු වලින් උපයා ගන්නා අප වැනි රටක එම මුදල සොයා ගැනීමට නම්, රාජ්‍ය ආදායම් වහාම සියයට 15.9 කින් වැඩි කර ගත යුතුය. එසේ කිරීමට නම් රාජ්‍ය සේවකයන් නොවන එක්‌කෝටි අනුලක්‍ෂයක්‌ වන ජනතාවගෙන්, සෑම පුද්ගලයෙකුගෙන්ම, සමෘද්ධිලාභියෙකුගෙන්ම, ළදරුවන්, වැඩිහිටි අයගෙන් ද මාසිකව රු. 578.90 ක්‌ අලුතින් බදු ලෙස උපයා ගත යුතුව ඇත. විශ්‍රාම වැටුප් වැඩි කිරීමට නම්, මේ තත්ත්වය තවත් වැඩි කර ගත යුතුය. ඒ අනුව සෑම පුරවැසියෙකුගෙන්ම අවම වශයෙන් බදු ලෙස අලුතින් රු. 1000 ක්‌ වත් අය කළ යුතුය."


මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැතිවරයා සඳහන් කරන මේ සංඛ්‍යා ලේඛන මහා භාණ්‌ඩාගාරය විසින් සැකසූ නිවැරැදි සංඛ්‍යාලේඛන විය යුතුය. ඒ ගැන අපට සැකයක්‌ නැත. මෙවැනි නිවේදනයක්‌ නිකුත් කිරීම ගැන අපි සියඹලාපිටිය ඇමැතිවරයාට ස්‌තුතිවන්ත වන අතරම ඒ මහතාට තවත් යෝජනාවක්‌ කිරීමට ද කැමැත්තෙමු. එනම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජය විසින් ලබා දෙන සහන පොරොන්දු පිළිබඳව ද මේ ආකාරයෙන්ම ඉතා ඉක්‌මනින් ගණන් බලා, ජනතාව මත පැටවෙන බදු බර පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි. තෙල් සංස්‌ථාව විසින් ඇති කරගත් හෙජින් ගිවිසුම් නිසා රජයට එම ගිවිසුම් ඇතිකර ගත් බැංකු සඳහා ගෙවීමට සිදුවන මුදල් පිළිබඳව ද ගණන් බලා එක්‌ පුද්ගලයකු මත පැටවෙන බදුබර පිළිබඳව ද ඇමැති සියඹලාපිටියට ජනතාව දැනුවත් කළ හැකිය. මෙවැනි තවත් බොහෝ කරුණු කාරණා ද තිබේ.


ජෙනරාල් සරත් ෆොන්සේකා පවසන පරිදි රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ හැකිද? මෙය කළ නොහැකි දෙයක්‌ ද?. මෙය කළ හැකි දෙයක්‌ වුවත් මේ පොරොන්දුව ඉටු කිරීමට නම් මූලික වශයෙන් ම ඔහු බලයට පත් විය යුතුය. මේ තීන්දුව ගනු ඇත්තේ ලබන ජනවාරි 26 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාව විසිනි. එම ජනතා තීන්දුවට පෙර ජනපතිවරණය ගැන අප තීන්දු ලබා දිය යුතු නැත. කවරක්‌ නමුත් රාජ්‍ය සේවක වැටුප රු. 10,000 කින් වැඩි කිරීම නිසා දරන්නට සිදුවන වැටුප් වියදම දරන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාවත්, එජාප නායක රනිල් වික්‍රමසිංහවත් ජවිපෙ නායක සෝමවංශ අමරසිංහවත් නොව මේ රටේ පොදු මහජනතාව විසිනි. මෙවැනි ප්‍රකාශ වලින් සමස්‌ත මහජනයාට සාපේක්‍ෂව සුළුතරයක්‌ වන රාජ්‍ය සේවකයන් සතුටු කළ හැකි වුවත්, අතිමහත් බහුතර පොදු මහජනතාව සතුටු කළ නොහැකිය. මෙවැනි තීන්දුවලින් සිදුවනු ඇත්තේ පොදු මහජනතාව මත පැටවෙන බර තව තවත් ඉහළ ගොස්‌ ඔවුන්ගේ අසහනය තව තවත් වර්ධනය වීමයි.


ආර්ථිකමය වශයෙන් බැලීමේදී රජයේ වැටුප් වියදම වැඩිවීම නිසා සමස්‌ත රාජ්‍ය වියදම් ඉහළ යයි. ඊට සාපේක්‍ෂව කෙටි කලක්‌ තුළ රාජ්‍ය ආදායම් ඉහළ නොයන නිසා රජයේ අය වැය හිඟය ඉහළ ගොස්‌ රජයට වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවෙයි. එවිට රජයේ ණය වියදම් (ණය වාරික සහ පොලී වියදම්) ද ඉහළ ගොස්‌ ජනතාව මත පැටවෙන ණය බර ද ඉහළ යයි. ඒ නිසා මෙවැනි සහන ඉටු කිරීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමට එක්‌කෝ ජනතාව මත තව තවත් බදු බර පැටවිය යුතුය. මෙසේ ජනතාවගේ බදුබර වැඩි කොට බදු ආදායම ඉහළ නංවා ගන්නේ නැත්නම්, පෙර සඳහන් කළ පරිදිම ඉහළ යන අය වැය හිඟය පියවා ගැනීමට රජයට වැඩි වැඩියෙන් ණය ලබා ගැනීමට සිදුවීම වැළැක්‌විය නොහැකිය. විදෙස්‌ ණයවලට වඩා දේශීය මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමට සිදුවන තත්ත්වයක්‌ තුළ උද්ධමනය ඇතුළු බඩුමිල තව තවත් ඉහළ යැම ද වැළැක්‌විය නොහැකිය. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ "(අ) සහන" පොරොන්දු ගැන පමණක්‌ නොව රජයේ "(අ) සහන" පොරොන්දු ගැන ද අපට මේ ආකාරයෙන් ම සාකච්ඡා කළ හැකිය. ඒ නිසා මැතිවරණයක්‌ අභියස යම් යම් කණ්‌ඩායම් සතුටු කිරිමට එම කණ්‌ඩායම් ඉලක්‌ක කර ගනිමින් ලබා දෙන සහන පොරොන්දුවලින් මෙවැනි ආර්ථික බලපෑම් සිදුවන බව ජනතාව දැන ගත යුතුය.


අපේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම හා බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යි. සරත් ෆොන්සේකා ජනාධිපති වුවත් ඔහුට විධායක බලය මිස ව්‍යවස්‌ථාදායක බලය නැත. ඔහු පක්‍ෂයක්‌ නියෝජනය කරන්නේ නැතැයි (නිර්පාක්‍ෂික) ප්‍රකාශ කරන නිසා සිදුවනු ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී ඒ ඒ දේශපාලන පක්‍ෂ හා සන්ධාන වෙන වෙනම මහ මැතිවරණයට තරග කිරීමයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතාට එක්‌සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණත් සහාය ලබා දුන්නත් එසේම එහිදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවලට පවා මේ දෙගොල්ලන් කිරියි පැණියි මෙන් සහභාගි වුවත් ඉදිරි මහ මැතිවරණයේදී මේ පක්‍ෂ එකම පක්‍ෂ සන්ධානයකට ගොනුවනු ඇතැයි අපට සිතිය නොහැකිය.

සෝදාපාළුවට ලක්‌ව ඇති ජනතා විමුක්‌aති පෙරමුණ වෙනම තරග කිරීමෙන් දිනාගත හැකි වනු ඇත්තේ ඉතා අඩු මන්ත්‍රීධුර ගණනකි. එවැනි පසුබිමක්‌ තුළ ඉදිරි මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ජය ගතහොත් සිදුවනු ඇත්තේ කුමක්‌ද? බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇත්තේ සරත් ෆොන්සේකාට ඕනෑ දේ කරනවාට වඩා එක්‌සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය දේ සිදුකරදීමට සිදුවන තත්ත්වයක්‌ නිර්මාණය වීමයි. රාජ්‍ය මූල්‍ය පාලන බලය තිබෙන්නේ ව්‍යවස්‌ථාදායකයට වීම නිසා සරත් ෆොන්සේකාට අවශ්‍ය දේවල් සිදු කරන්නට පුළුවන් කමක්‌ නැත. එහෙත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමේදී එක්‌සත් ජාතික පක්‍ෂය වැඩි ප්‍රවණතාවක්‌ දක්‌වා ඇතැයි තමන් පිළිගන්නා බව සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ නිසා අකමැත්තෙන් තොරව එජාප ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඔහු ඉදිරිපත් වනු ඇතිද? ඒ කියන්නේ ජෙනරාල් ෆොන්සේකාගේ ආර්ථික ප්‍රතිපත්තිය "යළි පුබුදමු ශ්‍රී ලංකා" ද? එසේ නම් සරත් ෆොන්සේකා මහතා දැන් සිටම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් "යළි පුබුදමු ශ්‍රී ලංකා" පොතක්‌ සොයාගෙන කියවන්නට පටන් ගැනීම නුවණට හුරු ය. එහෙත් චක්‍රලේඛ ගසා රාජ්‍ය සේවයට බඳවා ගැනීම පවා නැවැත්වූ, රාජ්‍ය සේවය කප්පාදු කළ එක්‌සත් ජාතික පක්‍ෂය, ජෙනරාල් ෆොන්සේකා පැවසූ පරිදි රාජ්‍ය සේවක වැටුප් රු. 10,000 කින් වැඩි කිරීමට ඉඩ දෙනු ඇතැයි අපට සිතිය නොහැකිය. අප මේ සටහන් කළේ ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත් වුවහොත් සිදුවිය හැකිව තිබෙන දේ පිළිබඳ පුංචි හිතළුවක්‌ පමණකි.


මේ හිතළු කතාව තුළ ජනතා විමුක්‌ති පෙරමුණේ තත්ත්වය කුමක්‌ දැයි අපට නම් සිතා ගැනීමටවත් බැරිය. ජනතා විමුක්‌ති පෙරමුණේ කේ. ඩී. ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගියදා අනුරාධපුරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ පවසා තිබිණි.


"එකසිය දහයක්‌ වන රජයේ ඇමැති මණ්‌ඩලය විස්‌සක්‌ දක්‌වා අඩු කිරීමෙන් හා රජය විසින් අසීමිත ලෙස සිදුකරනු ලබන අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් ඉතිරි වන මුදලින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළ හැකිය."


ඇමැති මණ්‌ඩලය විස්‌සක්‌ දක්‌වා අඩු කිරීමත්, රජයේ අනවශ්‍ය වියදම් කපා දැමීමත් හොඳ දෙයක්‌ බව ඇත්තය. එහෙත් එසේ කළත් ඉන් ඉතුරු වන මුදල් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට ප්‍රමාණවත් වන්නේද? ප්‍රමාණවත් වුවත් එසේ ඉතුරු කර ගන්නා මුදල්වලින් කළ යුත්තේ සමස්‌ත ජනගහනයෙන් අතලොස්‌සක්‌ වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ද? ප්‍රශ්න තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ට පමණද? අති මහත් බහුතර ජනයාගේ ප්‍රශ්නය ගැන සැලකීමේදී රට මුහුණ දී සිටින රාජ්‍ය මූල්‍ය අර්බුදය දෙස බැලීමේදී අපට කේ. ඩී. ලාල් කාන්ත මන්ත්‍රීවරයාට පමණක්‌ නොව, ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාටත් කීමට ඇත්තේ මෙය කළ හැකි දෙයක්‌ වුවත් නොකළ යුතු දෙයක්‌ වන බවයි.


සමාවන්න. ජෙනරාල් සරත් ෆොන්සේකා තවමත් ජනපතිවරණයෙන් ජයගෙන නැත. මේ අප සටහන් කළේ අප මුලින් කී හිතළු කතාවේම තවත් ටිකක්‌ පමණය. ඒ නිසා කළබල වීමට හේතුවක්‌ නැත. එහෙත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයාගේ පැත්තෙන් ද අපට කීමට ඇත්තේ කළ හැකි වුවත් සමස්‌ත ජනයාගේ පැත්තෙන් බැලීමේදී නොකළ යුතු (අ) සහන තීන්දු තීරණ ඔවුන් විසින් ද ගනිමින් සිටින බවයි.

No comments:

Post a Comment