Monday 7 December 2009

"විජාතික කුමන්ත්‍රණයේ අවසාන මෙහෙයුමයි මේ"- ආචාරය ගුණදාස අමරසේකර

සාකච්චා කළේ පාලිත සේනානායක -දිවයින

"එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා"-ආචාරය ගුණදාස අමරසේකර .


මේ එළඹ ඇති ජනාධිපතිවරණය ඔබ දකින්නෙ කොහොමද?


මේ ජනාධිපතිවරණය 2005 පැවැති ජනාධිපතිවරණයට වඩා ප්‍රබල හා වඩා තීරණාත්මක අවස්‌ථාවක්‌ ලෙස මම දකිනවා. මෙය ජාතියේ අනාගත ඉරණම විසඳෙන සටනක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම එදා පැවැති සටනේ දකින්නට නොලැබුණු දුර්බෝධාත්මක කුමන්ත්‍රණකාරී ස්‌වරූපයක්‌ මේ සටන පිටුපස තිබෙනවා. මෙතෙක්‌ විජාතික බලවේග ගෙන ගිය මහා කුමන්ත්‍රණයේ අවසාන මෙහෙයුම ලෙස මේ ජනාධිපතිවරණ සටන හඳුන්වන්න පුළුවන්.

කුමක්‌ද මේ ඔබ කියන දුර්බෝධාත්මක කුමන්ත්‍රණකාරී ස්‌වරූපය?


එදා මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,
සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක්‌ වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා.


ජෙනරාල් සරත් ෆොන්සේකා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම විජාතික බලවේග ගෙන යන කුමන්ත්‍රණයක්‌ කියල ඔබ කොහොමද කියන්නෙ?


මේ රටේ පහුගිය කාලය තුළ සිදුවුණු දේවල් දිහා පරීක්‍ෂාවෙන් බලා සිටිය කාට වුණත් මෙය ඉර හඳ සේ පැහැදිලි කාරණයක්‌. මහින්ද රාජපක්‍ෂ මේ විජාතික බලෙවේගවල ඉත්තා වූ ප්‍රභාකරන් වැනසීමට තැත් කරපු දවසේ සිට මේ විජාතික බලවේගවල එකම අරමුණ වුණේ මහින්ද රාජපක්‍ෂට එරෙහිව කටයුතු කිරීමයි. ඔහු බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණය කිරීමයි. ඒ විජාතික හතුරන් කළ දේවල් ගැන අටුවා ටීකා ඕනෙ නැහැ. ඔවුන් යුද්ධය නවත්වන්න තරවටු කරපු හැටි. අපට අවි ආයුධ නොදී සිටි හැටි, විදේශ ආධාර වළක්‌වා සිටි හැටි, මිලිබෑන්ඩ්ලා, කුෂ්නර්ලා ඇවිල්ලා තර්ජනය කරපු හැටි. මානව හිමිකම් උල්ලංඝනය වෙනවාය කියා මහා උද්ඝෝෂණයක්‌ දියත් කරපු හැටි. ජිනීවා එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී ඒවා ඉදිරිපත් කළ හැටි. අපේ සේනාධිනායකයන් ලෝක යුද්ධ අධිකරණය වෙත ගෙන යැමට කරුණු එක්‌රැස්‌ කරපු හැටි. මේවා හඳුන්වන්න ඕනෙ කුමන්ත්‍රණකාරී ක්‍රියා ලෙස මිසක්‌ වෙන මොන විදිහකින්ද? ඔවුන් දැන් මේ කරන්නේ ඒ කුමන්ත්‍රණකාරී අතිසූක්‍ෂම අවසාන මෙහෙයුමයි. ඒ සඳහා ඉත්තා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යොදවා ගැනීම මහා කූඨ බුද්ධියකින් සැලසුම් කරන ලද දෙයක්‌. සී. අයි. ඒ. සැලැස්‌මක්‌.


ප්‍රභාකරන් ත්‍රස්‌තවාදය ආරම්භ කළ කාලේ මේකෙ ඇති ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෑ. මේකෙ තියෙන්නෙ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්‌ කියලා ඔබේ ගනඳුරු මැදියම නිබන්ධනයෙන් ඔබ කියා තිබුණා. ඔබ දැන් මේ කියන්නෙ අද සිද්ධ වෙන්නේ ඒ කුමන්ත්‍රණයේම තවත් පියවරක්‌ කියලද?


ඇත්ත වශයෙන්ම ඔව්. ඒ දවස්‌වල ඒ අර්ථකථනය මම ඉදිරිපත් කලාම මේ රටේ ඉන්න ඊනියා බුද්ධිමතුන් මට හිනාවුණා. ඒත් එදා මෙදා සිදුවී ඇති සියලු සිද්ධීන් වලින් පෙන්නුම් කරන්නෙ මගේ ඒ අර්ථකථනය සම්පූර්ණයෙන්ම නිවැරදි බවයි. අඩු ගණනේ පහුගිය අවුරුදු දෙක තුළ මහින්ද රාජපක්‍ෂ බලයට ඒමෙන් පසු සිදුවූ දේවල්වලින් ඕනම කෙනෙකුට මේ සත්‍යය පෙනී යන්න ඕනෙ. ඒක අද ඉර හඳ වගේ පැහැදිලියි. අද අපි මේ දකින්නේ ඒ කුමන්ත්‍රණයේ අවසාන මෙහෙයුමයි.


මේ කුමන්ත්‍රණයේදී එක්‌ එක්‌ අවස්‌ථාවලට අනුකූලව ඒජන්තයින්, ඉත්තන් අල්ලා ගැනීමට මේ විජාතික බලවේග සමත් වුණා. එදා ඉත්ත වශයෙන් ප්‍රභාකරන් යොදා ගත්තා. රනිල්, චන්ද්‍රිකා යොදා ගත්තා. දැන් සරත් ෆොන්සේකා යොදවාගෙන තියෙනවා කියන වග පැහැදිලියි.


ජෙනරාල් සරත් ෆොන්සේකා නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් ඝාතනය කළ වීරයායි. එවැන්නෙකු ඉත්තෙකු ලෙස යොදා ගන්න පුළුවන් කියල විශ්වාස කරන්න පුළුවන්ද?


ඒ වීර වික්‍රමය තමයි සරත් ෆොන්සේකා සතු ප්‍රධානම සුදුසුකම විදිහට මේ විජාතිකයන් දකින්න ඇත්තෙ. තමන් පෝෂණය කරපු ඉත්ත මරා දැමූ වීරයා තමන්ගේ අලුත්ම ඉත්තා බවට පත්කර ගැනීම නිසා තමයි මේ කුමන්ත්‍රණය එකවරම කුමන්ත්‍රණයක්‌ විදිහට දැකගත නොහැකි විස්‌මයාවහ මහා කුමන්ත්‍රණයක්‌ වන්නේ. කැලේ නසන්නට කැලේ ගසක්‌ යොදා ගන්නවා කියන්නේ, ඌරගෙ මාළු ඌරගෙම පිටට තියලා කපනවයි කියන්නෙ මේ වගේ කුමන්ත්‍රණවලටයි.


නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කියන්නේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ අද මේ රටේ තිබෙන දූෂණය, භීෂණය නැතිකරන්නට කියලයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්නට කියලයි. රට නියම ආර්ථික පිළිවෙතක පිහිටුවා සංවර්ධනය කිරීමට කියලයි. ඒ සඳහා ඔහුට හැකියාව නැද්ද?


අද අපේ රට තුළ දූෂණය ඉහ වහා ගොස්‌ ඇති බව අපි කවුරුත් පිළිගන්නව. කොටින්ම කියනවා නම් අද ඉන්න මැති ඇමැතිවරුන් වැඩි දෙනෙකුගේ මූණත් තහඩු රූපවාහිනියෙන් දකිනකොට මට ඇති වෙන්නේ පුදුම කේන්තියක්‌. මහා පිළිකුලක්‌. ඒත් තමන්ගේය කියා කිසිදු ප්‍රතිපත්ති මාලාවක්‌ නැති, විජාතික කොන්ත්‍රාත්තුවක්‌ බාරගෙන සිටින සරත් ෆොන්සේකා මහතා ඔය කියන දේවල් කරන්නෙ කොහොමද? තමාට මේවා නොතේරන බවත් එය කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ට තල්ලුවක්‌ දෙන පක්‍ෂවල පිහිටෙන් බවත් ඒ මහතාම කියා තිබෙනවා. රට සංවර්ධනය කරන ප්‍රතිපත්ති ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂය තුළ බව ඒ මහතා පිළිගත්තා. එහෙනම් මේ "වහෙන් ඔරෝ" භාෂාවෙන් ඒ මහතා කියන්නේ රනිල්ගේ "රීගේනිං ශ්‍රී ලංකා" ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම තමන්ගේ කොන්ත්‍රාත්තුවේ කොටසක්‌ බව කීම නොවේද? මට ඡන්දය දෙන්න රට රනිල්ට දෙන්න කියන කතාව නේද මේ කියන්නෙ? විජාතික බලවේග සරත් ෆොන්සේකා ඉදිරිපත් කර ඇත්තේ රනිල්ගේ මාර්ගයෙන් රට තමන් අතට ගැනීමටයි. එපමණක්‌ නොවෙයි ජනවාර්ගික අර්බුදය විසඳීමට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එහාට යන බලය බෙදීමක්‌ වෙත යන බවක්‌ සරත් ෆොන්සේකා මහතා කියා තිබෙනවානෙ. මම කියන කොන්ත්‍රාත් කොන්දේසි තමයි මේවා. මේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව උඩ තමයි කොන්ත්‍රාත්තුව බාරදී තිබෙන්නේ.


නමුත් ජෙනරාල් ෆොන්සේකා මහතා බලයට පත්වුණොත් එවිට ඔහු විධායක ජනාධිපති නිසා ඔය ඔබ කියන කොන්ත්‍රාත් බාරදුන්නු අයට පිටුපාල කැමැති තීරණයක්‌ ගන්න ඒ මහතාට පුළුවන් නේද?


ෆොන්සේකා මහතා වැරදිලාවත් එහෙම හිතාගෙන ඉන්නව නම් ඒක ලොකු මුළාවක්‌. ඒ වගේ හිතන ඉත්තන් බ්ලාස්‌ කිරීමේ හොඳ පුරුද්දක්‌ මේ කොන්ත්‍රාත් දෙන විදේශ බලවේගවලට තියෙනවා. ඔවුන් පිනෝෙච්, මාකෝස්‌, මුෂාරෆ් බ්ලාස්‌ කරපු හැටි අපි දැක්‌කා. සරත් ෆොන්සේකා මහතාට ඒ ඉරණම අත් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

ඇත්ත වශයෙන්ම මේ විජාතික බලවේග සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කර තිබෙන්නේ ඒ මහතා දිනන බව පිළිබඳ ස්‌ථිර විශ්වාසයකින් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ෆොන්සේකා මහතා බිල්ලට දීල අයින් වුණෙත් ඒ නිසයි. සරත් ෆොන්සේකා මහතා පැරදුණත් ඔහුගෙන් ඉතා වැදගත් අපේක්‌ෂාවක්‌ ඉටුකර ගැනීමට මේ විජාතික බලවේග සූදානම් වී සිටිනවා. ඒ තමයි ත්‍රස්‌තවාදය විනාශ කිරීමට මුල් වූ ජනාධිපති ඇතුළු නායකයන් යුද්ධාධිකරණය වෙත ගෙන යැම සඳහා අවශ්‍ය රහස්‍ය හමුදා තොරතුරු ලබා ගැනීම. එවැනි ප්‍රවණතාවක්‌ දැන්ම දියත් වී ඇති බව පෙනෙනවා. සිවිල් වැසියන් ඝාතනය කිරීමට තමන්ට උපදෙස්‌ ලැබුණාය කියා ෆොන්සේකා මහතා පැවසූ බව පසුගිය දිනෙක වෙබ් අඩවියක පළවී තිබුණා. මං හිතන්නේ ඒක බොරුවක්‌. කාගෙ හරි අතේ රෝලක්‌. ඒත් සුළඟ හමන්නේ කොයි අතටද යන්න ගැන අපි අවදියෙන් සිටිය යුතු වෙනවා.

No comments:

Post a Comment