Wednesday 9 December 2009

නන්දිමිත්‍ර රජකම ඉල්ලුවේ නෑ පැහැදිළිවම රජ ගෙදර බණ ගෙයක් බවට පත් වුණේ එතුමා බලයට පැමිණි පසුවයි. - මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද

සාකච්ඡා කෙළේ අසේල කුරුළුවංශ-දිනමිණ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන් සමඟ ඉදිරි ජනාපතිවරණය අලලා සිදුකළ සාකච්ඡාවකි මේ.

නියමිත කාලයට දෙවසරකට පෙර ජනපතිවරණයක් පැවැත්වීමට දැන් දින නියමකර අවසානයි. මෙම අවස්ථාවේ ජනපතිවරණයක් පැවැත්වීමට ජනපතිතුමන් ගත් තීරණය නිවැරැදි යැයි ඔබ වහන්සේ හිතනවද ?


මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රථම මේ රටේ විධායක ජනාධිපතිධූරයේ සිව් දෙනකු කටයුතු කළා. ඔවුන් කිසිවකුටත් රටට පිළිලයක් වූ ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳන්න පුළුවන් වුණේ නැහැ. පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට ලබාදුන් වැදගත්ම පොරොන්දුව ත්‍රස්තවාදය පරාජය කැර රටට ස්ථිර සාමයක් ගෙන එන බවයි. නියමිත ධූර කාලය අවසන්වීමට වසර දෙකටත් කලින් එතුමා එම පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුකළා. රට ආර්ථික අතින් දියුණු කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ බිඳ දැමීම සඳහා ඉදිරියේ දී කුමන්ත්‍රණ දියත් නොවණු ඇතැයි කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකියි.

ත්‍රස්තවාදය පරාජය කිරිමේ සටන ඉදිරියට යද්දී ඊට එරෙහි නැඟුණු කුමන්ත්‍රණ පිළිබඳ අවබෝධයක් ඇති මේ රටේ අති බහුතර ජනතාව මා සමඟ එකඟ වේවි. ඉදිරියේ මතුවිය හැකි කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා ජනපතිතුමන් සමඟ රජය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා එතුමන් මෙම අවස්ථාවේ ජනතාව අතරට ගොස් ජනවරමක් ඉල්ලීම සාධාරණයි.


අනික් කාරණය පසුගිය කාලය තුළ තමන් ජනතාව වෙනුවෙන් කළ සේවය පිළිබඳ එතුමා තෘප්තිමත් බව මෙම තීරණයෙන් පෙනෙනවා. එතුමා බයක් සැකයක් නොමැතිව නියමිත ධූර කාලයට පෙර ජනතාව අතරට යන්නේ මෙම විශ්වාසය ඇතිවයි. තමන් ජනපති ලෙස ජනතාව වෙනුවෙන් ගත් තීන්දු තීරණ එතරම් දුරට නිවැරැදිද යන්න තීරණය කිරීමේ අවස්ථාව ජනපතිතුමන් ජනතාවට බාරකර තිබෙනවා. මෙය ප්‍රජාත්‍රන්තවාදී රටක යහපත් ලක්ෂණයක් බව කිව යුතුයි.

 යුද්ධය වෙනුවෙන් රජය අති විශාල මුදලක් වැය කළා. ? දැන් ඒ ප්‍රශ්නය විසඳී ඇති නිසා යුද්ධයට වැය කළ මුදල ඉතිරි වන නමුත් ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභයක් නොමැති බවට විපක්ෂය චෝදනා කරනවා.

යුද්ධය නතර වූ පමණින් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. යුද්ධයේ නිමාවත් සමඟ උතුරේ එල්. ටී. ටී. ඊ ග්‍රහණයේ සිට නිදහස ලැබූ ජනතාව අද අවතැන් ව සිටිනවා. ලක්ෂ ගානක් වන මේ ජනතාවගේ් සැපදුක රජය සොයා බැලිය යුතු වෙනවා. මේ වෙනුවෙන් රජය දිනකට සුවිශාල මුදලක් වැය කරනවා. මේ යුද්ධය තිබියදී පැවැති ගැටලුවක් නොවේ. ඔවුන් යළි පදිංචිකරවීමට ප්‍රථම අදාළ ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කළ යුතුයි. බිම් බෝම්බ ඉවත් කිරීම් වැනි කටයුතු තාමත් සිදු වෙනවා. මේ සියල්ල තුලනය කිරීමේ දී විශාල මුදලක් ඉතිරි නොවන බව පැහැදිලිය.


අනිත් කාරණය ලෝක ආර්ථික අවපාතයත් එක්ක , සෑම රටක්ම පසුගිය කාලයේ යම් පසු බෑමකට ලක්වුණා. ඇත්තෙන්ම එය ශ්‍රී ලංකාවට එතරම්ම තදින් නොදැනුනු බව මගේ හැඟීමයි. වැඩිපුරම අපි පාවිච්චි කරන්නේ ආනයනික භාණ්ඩයි. මේවායේ මිල ඉහළ යෑම රජයට පාලනය කරන්න බැහැ. දේශීය කෘෂිකර්මාන්තයේ යම් වර්ධනයක් පසුගිය කාලයේ ඇති වුණා. දැන් අපිට උතුරු නැඟෙනහිර භූ®මි ප්‍රදේශයන්ද වගා කටයුතු සඳහා යොදා ගැනීමේ අවකාශ සැලසෙනවා.


මේ පසුබිම තුළ ඉදිරියට පැමිණීමට නියමිත ඇත්තේ ජනතාවට සහන සැලසෙන කාල පරිච්චේදයයි.


 මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ අපේක්ෂක ලසෙ විශ්‍රාමික ෆොන්සේකා මහතා ඉදිරිපත්ව සිටිනවා. ඔහුගේ දේශපාලන ආගමනය පිළිබඳ ඔබ වහන්සේ දක්වන්නේ කෙබඳු ආකල්පයක් ද ?


තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදී ප්‍රශ්නය නිම කිරීම සඳහා ඔහු දැක් වූ දායකත්වය අපි නිරතුරුව අගය කරනවා. යුද්ධය නිමා වූ විගසම විශ්‍රාමික ෆොන්සේකා මහතා ජනපතිතුමන්ගේ දේශපාලන ප්‍රතිවාදියකු ලෙස පැමිණීම අපට කිසිසේත් අනුමත කරන්න බැහැ. ඔහු හුදකලාව පැමිණියානම් අපට ඔහු පිළිබඳ කිසියම් සිතා බැලීමක් හෝ කරන්න තිබුණා.

නමුත් අද ඔහු දේශපාලන කරළියට ගෙන ඒම පිටුපස සිටින කණ්ඩායම පිළිබඳ ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අකුල් හෙළමින් එය සමච්චලයට ලක් කරමින් පමණක් නොනැවතී රජයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පවා උසි ගැන්වීමට කැසකැවූ කුමන්ත්‍රණකාරින් පිරිසකගේ අත කොළුවක් බවට අද ඔහු පත්වීම ඇත්තටම කණගාටුවක්.


 මෙරට ජනතාව සෑම විටම රටේ බලය ලබා දී තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකින් එකක් නියෝජනය කරමින් පැමිණි කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුටයි. මේ තුළ විපක්ෂයේ අපේක්ෂකයාට ඔබ වහන්සේ පවසන පරිදි හුදෙකලාව තමන්ගේම පක්ෂයකින් තරග කැර ජය ගැනීමේ පසුබිමක් නැහැ නේද ?


විශ්‍රාමික ෆොන්සේකා මහතා යුද නායකයකු ලෙස අපි අගය කරනවා. ඔහු එම තත්ත්වයට පැමිණියේ 40ස් වසරක හමුදා සේවයේ අත් දැකීම් ඇතිවයි. එහෙත් ඔහු දේශපාලනයට ආධුනිකයෙක්. ඔහු ජනතා හිතවාදියෙකු බව ක්‍රියාවෙන් ජනතාවට ඔප්පු කර පෙන්විය යුතුයි. ඔහු පසුපස සිටින පිරිස අතීතයේ කළ ක්‍රියාකාරකම් මොනවාද? ඔවුන් බලය ලබා ගැනීමට කරන කුමන්ත්‍රණ මොනවාද? බලය ලබාගත් පසු ඔවුන් සිදුකරන්නේ කුමක්ද? කියන කරුණු මේ රටේ ජනතාවට රහසක් නොවේ’ .

අද විපක්ෂයේ අපේක්ෂකයා පසුපස සිටින දේශපාලන පක්ෂවලට න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඔවුන් ඒ සියල්ල පසෙක තබා ජෙනරාල් දිනවයි ද ? තොප්පිගල මහ ගලක් කිව්වා. මේ අය එතනින් නොනැවතී හමුදාව කිළිනොච්චි නොවේ මැදවච්චි යනවා කිව්වා. මේ විශ්‍රාමික ෆොන්සේකා යුද හමුදාපති ධූරයට නොව සැල්වේෂන් ආමි එකට නායකත්වය දෙන්නවත් සුදුසු නැහැ කිව්වා. ඉතින් මෙහෙම අගෞරව කරපු කට්ටියක් එක්ක ඔහු එකතු වීම ඇත්තෙන්ම කනගාටුවක්.


යුද ජයග්‍රහණයෙන් පසු රජය තමන්ව අමතක කළ බවට විශ්‍රාමික ෆොන්සේකා චෝදනාවක් එල්ල කරනවා ?
මේ යුද ජයග්‍රහණය සඳහා කැපවීම් කළේ ඔහු විතරක් නොවේ. යුද්ධය පැවැති කාලය තුළ මේ රටේ ජනතාව කළ කැපකිරීම අතිවිශිෂ්ටයි. ඔවුන් උද්ඝෝෂණ කරමින් පාරට බැස්සනම් රජයට යුද්ධය කරන්න ලැබනේනේ නැහැ. මොන අමාරුකම් තිබුණත් ජනතාව ඉවසීමෙන් ඒවා විඳගත්තා. රජය මුලින්ම සහන සලසන්න ඕන ඔවුන්ටයි. ඔවුන්ටත් ලබා නොදෙන වරප්‍රසාදයක් තවත් කෙනෙකුට ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. ජනාධිපතිතුමා විශ්‍රාමික ෆොන්සේකාට අසාධාරණයක් කළේ නැහැ. ඔහු ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානියා ලෙස පත්කළ බව අප අමතක නොකළ යුතුයි.


ජනපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාවෙන් එකක් වන යුද හමුදාව සඳහා නායකත්වය දුන්නේ විශාමික ෆොන්සේකා මහතායි. යුද ජයග්‍රහණයෙන් පසු ඔහු අද ජනාපතිතුමන්ට එරෙහිව මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මෙවැනි සිද්ධි ඉතිහාසය තුළත් වාර්තා වෙනවද ?


ඕන තරම් තියෙනවා. හැබැයි ඒ කිසිවකුට සාර්ථක ගමනක් යන්න බැරිවුණා. සද්ධාතිස්ස රජුගේ පුත් කල්ලාට නාග රජ කරන සමයේ කුමන්ත්‍රණය කරලා මහරත්තක රජය පැහැර ගන්නවා. මේ මහරත්තක රජුගේ සෙන්පතියා, රාජ්‍ය පාලනය සහ හමුදාවේ සෙන්පතිකම දැරීම කාරණා දෙකක්. එකකින් දක්ෂයකු වූ පමණින් අනිකට දක්ෂයි කියන්න බැහැ. මහ රත්තක පසු කාලීනව වලගම්බා රජු අතින් ඝාතනය වෙනවා.


යුද වීරයකු වූ පමණින් ඔහු වටා ජනතා ප්‍රසාදය ගොනු වෙන්නේ නැහැ. මේ ආකාරයට ඉතිහාසය පුරා බලය අරභයා විවිධ පුද්ගලයන් එකතු වීම් , අයින්වීම්, පැහැර ගැනීම් සිදුකළා, මෙතෙක්කල් අපට රට කියන හැඟිම පසෙකලා පුද්ගලයන් කේන්ද්‍ර කර ගෙන දේශපාලනය කිරීම තුළ රට අස්ථාවර වුණා. මේ රටේ ජනතාව නිදහසින් පසු ප්‍රථම වතාවට ජාති , ආගම්, පක්ෂ බේදයෙන් තොරව එක් කොඩියක් යටතට ගේන්න ජනපතිතුමාට හැකි වුණා. රටට ජනතාවට හිතවත් කවුද රටට අනාගතයට පැහැදිලි අනාගතයක් ඇති කළ හැක්කේ කාටද කියන කාරණය ජනතාව තේරුම් ගත යුතුයි.


 ඔබ වහන්සේ ඔය කියන කාරණා ඉෂ්ඨ කිරීමේ හැකියාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සතුව ඇතැයි විශ්වාස කරනවාද ?


පැහැදිළිවම රජ ගෙදර බණ ගෙයක් බවට පත් වුණේ එතුමා බලයට පැමිණි පසුවයි. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයට අවහිර වූවත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර සදාචාර සම්පන්න පරපුරක් බිහි කිරිම උදෙසා එතුමා මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කළා.


රාජා භවතු ධම්මිකෝ යන්න බුදු වදනයි. රජු දැහැමි විය යුතුයි. එය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. අද භික්ෂුව හා එතුමා එක්ව කටයුතු කරනවා. මේ සියල්ලෙන්ම පැහැදිළි වන්නේ එතුමා තුළ රට දියුණු කිරීම සඳහා කටයුතු කරන අතරතුර සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට ඇති වුවමනාවයි.


 යුද ජයග්‍රහණයේ සැබෑ උරුමක් කාරයා කවුද යන්න පිළිබඳ අද සමාජයේ විවිධ මත පළවෙනවා. ඔබ වහන්සේ හිතන පරිදි මේ ගෞරවය කාටද හිමිවිය යුත්තේ ?


එය තනි පුද්ගලයකුට කිසිසේත් හිමි වන්නේ නැහැ. සේනාධිනායක ලෙස ජනපතිතුමන්ටත්, ආරක්ෂක ලේකම් සිට ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පති ඇතුළු ඉන් පහළ සියලු නිලධාරින් හා සෙබළුන්ටත් මෙම ගෞරවය බෙදී යනවා. මෙහි දී ජනතාව කළ කැපවීම් අති විශිෂ්ටයි. හැබැයි එක් කාරණයක් කිව යුතුයි.

මෙහි දී ජනපතිතුමන් සේනාධිනායක ලෙස කළ කාර්යභාරය විශිෂ්ටයි. විදේශීය බලවේගයන් හි බලපෑම පාලනය කර ගනිමින් රටේ ජනතාවගේ මානසිකත්වය බිඳ වැටීමට ඉඩනොදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන ඉදිරියට ගෙන ගියේ එතුමයි. කුමන හෝ හේතුවකින් යුද්ධය පරාජය වුණා නම් සියලු චෝදනා එතුමා පිට පැටවෙන එක වලක්වන්න බැහැ.

යුද්ධය නිම නොකළා කියා මෙයට පෙර සිට හමුදාපතිවරුන්ට මිනිස්සු චෝදනා කරනවා ඔබ අසා තිබෙනවාද . නැහැ. මිනිස්සු චෝදනා කරන්නේ හිටපු පාලකයින්ටයි. මෙයින් පැහැදිළි වෙනවා යුද ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි විය යුත්තේ ජනපතිතුමන්ට බව.


 පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් ජ. වි. පෙ සහය මෙවර ලැබී ඇත්තේ විශ්‍රාමික ෆොන්සේකාටයි , ජ. වි. පෙ කියන්නේ ඔවුන් සහය ලබාදෙන පුද්ගලයා සැම විටම ජයගන්නා බවයි.


ජ. වි. පෙ. මේ උත්සාහ කරන්නේ පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමටයි. පසුගිය කාල පරිච්ඡේදය විමසීමේ දී එ. ජා. ප ය හා ජ. වි. පෙ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කළ ක්‍රියාදාමය කුමක්ද යන්න ගැන ප්‍රශ්න තිබෙනවා. යුද්ධය පවතිද්දී රජය මහ පරිමාණ සංවර්ධන වැඩසටහන් ඇරඹුවා. වරායවල් , ගුවන් තොටුපළවල්, පාරවල් හැදුවා , මේවායේ පලදායිතාව තියෙන්නේ අද නොව අනාගතයටයි.


මේක තමයි නායකත්වයේ දැක්ම. පසුගිය කාලයේ මේ ජ. වි. පෙ අය කළේ දක්ෂ ලෙස කතා කිරීමයි. නමුත් කතාවෙන් රටක් සංවර්ධනය කරන්න බැහැ. ක්‍රියාවයි අවශ්‍යය. ඒක ජනපතිතුමන් සිදුකර තිබෙනවා. ජ. වි. පෙ මන්ත්‍රීවරු 39ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ අය එකතු වෙලා ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක් ද , මේ නිසා අද ජ. වි. පෙ ට එදා තිබූ ජනපදනම ඔවුන් විසින්ම නැතිකර ගෙන අවසානයි.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete