Sunday 6 December 2009

හිටපු ජෙනරාල්ගේ එස්‌.එෆ්. මෙහෙයුම සහ ජාත්‍යන්තර කොටි ජාලයේ නැගිටීම! හිටපු ජෙනරාල්වරයාගේ මේ අපූරු රංගනයේ පසුබිම කුමක්‌ද?

කීර්ති වර්ණකුලසූරිය දිවයින
ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායම සමූල ඝාතනය වූ මැයි 19 වැනිදාට පසු චීනයේ සිට අවි ආයුධ විශාල තොගයක්‌ රැගෙන නැව් තුනක්‌ මෙරටට සම්ප්‍රාප්ත විය. යුද්ධය අවසන් නිසා මේ නැව්වලින් දෙකක අවි තොගවලට මුදල් ගෙවීම ආරක්‍ෂක බලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ. අනිත් නැව ආපසු යෑවීමට ද නියෝග විය. මේ අවි තොග රැගත් නැව්වලට සම්බන්ධ එජන්තවරයා පසුගිය ඉරිදා දක්‌නට ලැබුණේ කොළඹ පාක්‌ හිල්ටන් නම් වූ සුපිරි හෝටලයේදී හිටපු මාණ්‌ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ ශාලාවේ සිටියදීයි. එසේ ප්‍රංශයේ කොටි එජන්ත ටී. තිරුබාකරන්ලාගේ කණ්‌ඩායමට සම්බන්ධ කොටි හිතවාදියකුත් මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ විය. මොවුන් මෙම පසුබිමේ සිටියේ කුමක්‌ පිණිසද?



මෙහිදී හිටපු මාණ්‌ඩලික ප්‍රධානියා ප්‍රකාශයක්‌ කරමින් 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට බලය බෙදන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට තමා සමග එක්‌වන්නැයි ඉතිරිව සිටින කොටි සාමාජිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරන බවද කියා සිටියේය.

මෙලෙස හිටපු කොටි ත්‍රස්‌තයන්ගෙන් ද මාණ්‌ඩලික ප්‍රධානියා සහය ඉල්ලීමට පැය 24 කට පෙර නෝර්වේ සිට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු වූ සෙල්වරාජා කෙ-න්ද්‍රන් ද මෙරටට සම්ප්‍රාප්ත විය. පසුගිය දෙවසර මුළුල්ලේ නෝර්වේ රාජ්‍යයේ රැඳී සිටිමින් වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් කෙ-න්ද්‍රන් හිටි හැටියේම මෙරටට පැමිණියේ ඇයි?

ඔහු ඔස්‌ලෝ නුවරදී කොටි සමුළුවක්‌ අමතා දේශනයක්‌ ද පවත්වා ඇත. යාපන අර්ධද්වීපයේ සිටින ශ්‍රී ලංකා හමුදා සෙබළු 10000 ක්‌ පෙට්‌ටිවල කොළඹට එවන බවට පාර්ලිමේන්තුවේදී වහසි බස්‌ දෙඩූ කෙ-න්ද්‍රන් ප්‍රභාකරන්ගේ අවසරය මත නෝර්වේ බලා පිටත්ව ගොස්‌ තිබිණි.

කොටින්ට එරෙහිව දියත්වූ වන්නි මෙහෙයුම නතර කිරීම පිණිස චීන තානාපතිවරයා පවා හමුවෙමින් චීන අවි මෙරටට ලබානොදෙන්නැයි ඉල්ලූ තවත් දේශපාලනඥයෙක්‌ වන්නේ බස්‌නාහිර ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන්ය.මනෝගනේෂන් හිටපු මාණ්‌ඩලික ප්‍රධානියාට දීර්ඝ ලිපියක්‌ යවමින් සිය ඉල්ලීම් යොමු කර ඊට ප්‍රතිචාරය දක්‌වන්නැයි කියා සිටියේය.

අත්අඩංගුවේ සිටින හා රැඳවුම් මධ්‍යස්‌ථානවල සිටින රැඳවියන් මුදාහැරීම ගැන තමා අවධානය යොමු කරන බවට හිටපු මාණ්‌ඩලික ප්‍රධානියා ලිතව තමා වෙත දන්වා ඇතැයි මනෝ ගනේෂන් තවදුරටත් සඳහන් කළේය. එසේම හිටපු ජෙනරාල්වරයා දිනුවත් ඔහු තාවකාලික ජනාධිපතිවරයෙක්‌ බව ද හෙතෙම කියා සිටියේය.

එහෙත් කොටින්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කළ හිටපු ජෙනරාල්වරයා දේශපාලනයේ ස්‌ථිර සතුරන් නැතැයි කියා සිටී. මෙලෙස මෙරට හිටපු මාණ්‌ඩලික ප්‍රධානියා හිටපු කොටින්ගෙන් සහය පතද්දී විදේශගත කොටින් කියන්නේ කුමක්‌ද? "අපට සිංහලයන් සමග තවදුරටත් වාසය කළ නොහැක. අපි අභියෝගතා බාධක අභිබවා සතුරු හමුදා සමග සටන් වැද ද්‍රවිඩ නිජබිමේ නිදහස හිමි කරගත යුතු" යෑයි ජාත්‍යන්තර කොටි ජාලය විසින් නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත.

වන්නි මෙහෙයුමේදී 5200 කට අධික හමුදා සෙබළුන් හා නිලධාරීන් දිවි පිදුවේ රටේ එකීයභාවය උදෙසායි. ඔවුහු තම වර්තමානයත්, අනාගතයත් කොටි ඝාතක කණ්‌ඩායම සමූල ඝාතනය කිරීම සඳහා පුද කළහ. දැනට ඉතිරිව සිටින කොටි ත්‍රස්‌තයන් බලා සිටින්නේ අවස්‌ථාව එනතුරු යෑයි අවබෝධ කරගත යුතුය. මෙම තත්ත්වය යටතේ කොටි ඝාතකයන්ගේ සහය පැතීම දිවි පිදූ රණවිරුවන්ට කරන බරපතල අවමානයක්‌ නොවේද?

හිටපු ජෙනරාල්වරයාගේ මේ අපූරු රංගනයේ පසුබිම කුමක්‌ද?

විදේශ එන්.ජී.ඕ. සංවිධාන හතරක්‌ මෙහෙයවූ ස්‌විට්‌සර්ලන්ත සුරීච් සුළු ජාතික පක්‍ෂ සමුළුවේදී සම්මත වූයේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයටත් ඔබ්බෙන් බලය ලබාදිය යුතු බවයි.

හිටපු ජෙනරාල්වරයා කියන්නේ ද එවැනි බලතල දෙන බවයි. මෙලෙස පමණටත් වඩා බලතල දීමට තීරණය කළේ නම් යුද්ධ කළේ කුමකටද?

මෙම සුරීච් සමුළුව වෙත ඊ.පී.ආර්.එල්.එෆ්. එක්‌ පිලක ප්‍රධානියා වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් ගෙන ආ යෝජනාව වන්නේ ස්‌වයං පාලනයයි. ඊට සමගාමීව ද්‍රවිඩ කොන්ග්‍රසයේ ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම් රටවල් දෙකක්‌ ඇති කළ යුතු යෑයි පවසා ඇත.

සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ගෙන් හා පොන්නම්බලම්ගේ මෙම ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ මෙකී ක්‍රියාදාමය යුරෝපා වෙබ් අඩවිය මගින් ද විකාශනය කරනු ලැබීය. එහෙත් මෙම සුරීච් සමුළුවට සහභාගි වූ එන්.ජී.ඕ. කොන්ත්‍රාත්කරුවකු මෙරට ජනතාව වෙත සාවද්‍ය ප්‍රකාශයක්‌ කරමින් එකී සමුළුවේදී ස්‌වයං පාලනය ගැන සාකච්ඡා කර නැතැයි පවසා ඇත. එසේ වුවත් සමුළුවට සහභාගි වූ කොටි හිතවාදීන් නතර වී සිටි සුපිරි හෝටලයට පැමිණි පිරිස්‌ සුරීච් නගරයේ කොටි විරෝධීන් විසින් නිරීක්‍ෂණය කර තිබේ.

මේ කොටි හිතවාදීන් එකී හෝටලයේදී සුරීච් කොටින් සමග සාකච්ඡා කර ඇත්තේ ස්‌විට්‌සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට චොකලට්‌ එවීමටද? ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ යෝජනාව ඉදිරිපත්වූ අවස්‌ථාවේ ස්‌විස්‌ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් පවා සිටි අතර ඊ.පී.ඩී.පී. නායකයා ඊට එරෙහිවී තිබේ.

එසේම එකීය රාජ්‍යයක්‌ යටතේ බලතල බෙදාහැරිය යුතුයි යන යෝජනාව ඊ.පී.ඩී.පී. නායකයා ඉදිරිපත් කළ අවස්‌ථාවේ කොටි හිතවාදීහු ඊට එරෙහිවී තිබේ. මෙහිදී ප්‍රේමචන්ද්‍රන්ගේ හා පොන්නම්බලම්ගේ රට දෙකඩ කිරීමේ ප්‍රයත්නය ව්‍යර්ථ කළේ ප්ලොට්‌ නායක සිද්ධාර්ථන්, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්ද හා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්‌ඩමන්ය.

මෙම සුරීච් සමුළුවේ පසුබිමේ සිටියේ බ්‍රිතාන්‍ය එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. මේ නිසා යළිත් වරක්‌ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුමේ මූලිකයා බ්‍රිතාන්‍යය යෑයි සනාථ විය.

එහෙත් සුරීච් සමුළුව අසාර්ථක විය. මේ නිසා බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් හා විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් කල්ලිය තවත් පියවරක්‌ ගත්තේය. එ ශ්‍රී ලංකා රජය කොටින්ට එරෙහිව යුද වැදීම නිසා 2011 පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට තීරණය කිරීමයි. මේ වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූදේ නිසා (වන්නි මෙහෙයුම) ප්‍රතිවිපාක තිබිය යුතුයි යෑයි බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් විසින් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් කොටි නැව් තුනක්‌ අත්අඩංගුවට ගනු ලැබූ අතර එකී නැව් ශ්‍රී ලංකාවට භාරදීමට තීරණය විය. මෙම කොටි නැව් මෙහෙයවා ඇත්තේ ෂීසේල්ස්‌ දූපතේ හා පිලිපීනයේ කොටි සමාගම්වලින් යෑයි පරීක්‍ෂණවලදී අනාවරණය විය. කොටි ආයුධ ජාලයේ ප්‍රධානි කේ.පී. විසින් ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට හෙළි කළ තොරතුරු නිසා මෙම නැව් අසුවී තිබේ. මෙවැනි තොරතුරු අනාවරණය වෙද්දී කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව දියත්වූ යුද්ධයේදී දායකත්වයක්‌ දැක්‌වූ මාධ්‍යවේදීන් සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පසුගිය සඳුදා කොළඹ හිල්ටන් හෝටලයේදී ප්‍රණාමය දැක්‌වීමේ උත්සවයක්‌ පැවැත්වූහ.

එහෙත් 2002 රජය කොටි ත්‍රස්‌තයන් සමග අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුමට ආවැඩූවන් මෙන්ම දකුණේ ගොඩකවෙල මුස්‌ලිම් දේවස්‌ථානය අසල පිපිරවූ කොටි බෝම්බය නිසා රජය කොටි සමග සාම සාකච්ඡාවලට යායුතු යෑයි කියා සිටි පාර්ශ්වයන් ද මෙයට සහභාගි වන අයුරු දක්‌නට ලැබිණි.

මෙහිදී ආරක්‍ෂක බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු ප්‍රශ්නයක්‌ නම් කොටින්ට එරෙහිව ආරක්‍ෂක හමුදා සටන් වදිද්දී මෙපමණ විශාල පිරිසක්‌ මාධ්‍ය කොහේ සිටියේද යන්නයි. අපි එදා සිටම කොටි ඝාතක කණ්‌ඩායම විනාශ කළ යුතු යෑයි කියා සිටියෙමු. එහෙත් කිසිවෙක්‌ කොටින්ට එරෙහිව එදා දොස්‌ නැගුවේ නැත. ත්‍රස්‌ත යුද්ධය ජය ගැනීමත් සමගම පැය විසි හතරෙන් දේශප්‍රේමීන් වූ ඇතැම් මාධ්‍ය එදා කොටින්ව හඳුන්වනු ලැබුවේ ගරිල්ලන් නමිනි. ඇතැමුන් ප්‍රභාකරන් ප්‍රමුඛ මිනීමරුවන් කණ්‌ඩායමට කොතරම් බිය වූවාද කිවහොත් නිරතුරුවම සාමය ගැන හඬ නැඟූහ.

2007 නොවැම්බර් 2 දා සිට කොටි විනාශ කිරීම හැර වෙනත් මගක්‌ නැතැයි අපි කියා සිටියෙමු. එහෙත් පුදුමය නම් ප්‍රභාකරන්ට රටෙන් 2/3 ක්‌ ලබාගැනීමට ඉඩ ලැබෙන සටන් විරාම ගිවිසුමේ ආධාරකරුවෝ හිල්ටන් හෝටලයේදී ප්‍රණාම දැක්‌වීම සම්බන්ධවිමයිගමේ අතර ආරක්‍ෂක ලේකම්වරයා විසින් රටේ මහජනතාව නොදන්නා තොරතුරු රැසක්‌ අනාවරණය කරනු ලැබීය.

"හිටපු ජෙනරාල්වරයා ආරක්‍ෂාව ප්‍රමාණවත් නැහැ, සෙබළුන් 60 ක්‌ අවශ්‍ය යෑයි කියා සිටියා. අපි 62 ක්‌ ලබාදුන්නා. ඉන් පසු ඔහු රැකවළුන් 600 ක්‌ ඉල්ලා සිටියා. එපමණ සංඛ්‍යාවක්‌ විශ්‍රාමික හමුදා නිලධාරියකුට දීමට නොහැකියි. වන්නි මෙහෙයුමේදී දායක වූ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කොළඹ නාරහේන්පිට කිරිමණ්‌ඩල මාවතෙන් පර්චස්‌ 10 ක්‌ වටිනා බිම් කොටස්‌ දීමට අපි තීරණය කළා. එහෙත් හිටපු ජනරාල්වරයා පර්චස්‌ 30 ක්‌ ඉල්ලා සිටියා. ආරක්‍ෂක අමාත්‍යාංශය මේ ඉඩම් අයිති රජයේ ආයතන සමග අර්බුද පවා ඇති කරගෙන පර්චස්‌ තිහ බැගින් ලබාදුන්නා.

යුද හමුදාපතිවරයකු පත්වීමෙන් පසු ඔහු අයත් සේනාංකය යුද හමුදා මූලස්‌ථානයේ ආරක්‍ෂාව භාරගන්නවා. එය එදා සිට පැවැති සම්ප්‍රදායක්‌. එම මුර සේවාවන් වෙනස්‌ කළේ නැහැ. ඊළඟ කරුණ යුද හමුදාවට අයත් ජෙනරාල් හවුස්‌ මන්දිරයේ සිට දේශපාලනය කිරීමට නොහැකියි.

දැන් එයත් සිදුවෙනවා. මෙයට පෙර මෙවැනි දේවල් සිදුවී නැහැ කියලා මට එගැන පියවරක්‌ ගන්න බැහැ" යෑයි ආරක්‍ෂක ලේකම්වරයා සෘජුව සඳහන් කළේය.

එ වගේම අවතැන් වූවන්ගේ කඳවුරුවල සිටින ජනතාව මුදාහැරීමට ජනාධිපතිතුමාට ඕනෑ වුණා. එය වැළැක්‌වූයේ හිටපු ජෙනරාල්වරයා යෑයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පළ කළේය.

එසේම ජාත්‍යන්තර කොටින්ගේ සහය මත ශ්‍රී ලංකාවේ රජය වෙනස්‌ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බවද ආරක්‍ෂක ලේකම්වරයා අනතුරු ඇඟවීය. කොටින්ව බේරාගැනීම සඳහා ඇතැම් රටවල් වන්නි මෙහෙයුම දියත් වූ අවස්‌ථාවේ බලපෑම් එල්ල කළ නමුත් ජනාධිපතිවරයා ඊට යටත් වූයේ නැතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කිරීමේදී විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් විසින් කොටි බංකර් හදද්දී හමුදාව පුට්‌බෝල් ගැසීම කළ යුතුද යන්න කියා සිටි හිටපු ජෙනරාල්වරයා දැනට ඉතිරිව සිටින කොටින්ගේ සහය පැතීම ගැන විස්‌මයට පත්වී ඇත.

හිටපු ජෙනරාල්වරයා මෙලෙස ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා සහය පතද්දී තමිල්නාඩුවේ කොටි හිතවාදියකු වූ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෙබස්‌තියන් සිමන් නමැත්තාව පිටුවහල් කිරීමට කැනඩා ආගමන බලධාරීහු ක්‍රියා කළහ. කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැති කොටි මහවිරු සමුළුව ඇමතූ සිමන් මෙලෙස පවසනු ලැබීය. "එකම සිංහලයකුටවත් ජීවත්වීමට ඉඩදිය යුතු නැහැ. අපි නැවත වරක්‌ යුද්ධය ආරම්භ කළ යුතුයි. ප්‍රභාකරන් සිංහල පාසල් 100 කට බෝම්ම දැම්මා නම් යුද්ධය අවසානයි" යෑයි සිමන් කළ ප්‍රකාශය නිසා ඔහුව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ක්‍රියා කළ බව කැනඩා පොලිසිය හෙළි කර ඇත.


මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ පිබුන් නගරයේ පෙලිටි ශාලාවේදී කොටි මහාවිරු සතිය සැමරීමේ උත්සවයේදී කොටි දෙපාර්ශ්වයක්‌ අතර ඇතිවූ අරගලයට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල විය. එක්‌ කොටි පාර්ශ්වයක්‌ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව පවසමින් යළි අරමුදල් එකතු කළ අතර අනිත් පාර්ශ්වය විසින් තමන් ලබාදුන් අරමුදල් ආපසු දෙන්නැයි පැවසීම නිසා මේ අරගලය ඇතිවී තිබේ.

මෙම සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමෙදී ඇමරිකාවේ මෙන් මෙරට ද තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ජනාධිපතිවරණයට මෙන් මහා මැතිවරණයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළ යුතු යෑයි යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇත.

ජනතාව තොරතුරු දැනගත යුතු අවස්‌ථා මෙන්ම ජනතාවට නොදැන්විය යුතු අවස්‌ථා ඇතැයි බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරයකු වූ වින්සන්ට්‌ චර්චිල් වරක්‌ පැවසීය.මෙවන් පනතක්‌ සම්මත වුවොත් සිදුවන්නේ දෙස්‌ විදෙස්‌ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට පවා රාජ්‍ය තොරතුරු දැනගැනීමට ඉඩ ලැබීමයි.

තොරතුරු දැන ගැනීමේ පනත නිසා ඇමරිකානු රජයට ප්‍රශ්න රැසක්‌ මතුවී ඇතැයි අවබෝධ කරගත් රේගන් සහ බුෂ් සහ ඇමරිකානු ජනාධිපතිවරු එම පනත අනුව තොරතුරු හෙළි කිරීමට සීමා කරමින් විධායක නියෝග පනවනු ලැබීය.

රටේ ඕනෑම තොරතුරක්‌ දැනගැනීම සඳහා මෙම යෝජනාව රජය මගින් සම්මත කළ යුතු යෑයි මෙයට කලකට 1971 කැරැල්ලේ හිටපු ත්‍රස්‌තවාදියකු විසින් යෝජනා කර තිබිණි. මේ නිසා ජනාධිපතිවරයා මේ එන්.ජී.ඕ. උගුල්වලට ගොදුරු විය යුතුද? වන්නි මෙහෙයුම දියත් වෙද්දී ශ්‍රී ලංකාවට අවමන් කිරීමේ ක්‍රියාදාමයක්‌ දියත් කළ රාජ්‍ය නොවන සංවිධාන හා මාධ්‍ය පාර්ශ්වයන් ගැන ද සියලු තොරතුරු ආරක්‍ෂක බලධාරීන් වෙත ලැබී තිබිණි.

කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ.පී. මේ වන විට කොටින්ගේ සියලු වත්කම් හෙළි කර ඇත. කොටි සංවිධාන සතුව තවත් නැව් පහක්‌ හා බැංකු ගිණුම් 600 ක්‌ ඇතැයි ඔහු අනාවරණය කර තිබේ. මේ බැංකු ගිණුම්වලින් වැඩි හරියක්‌ ඇත්තේ ස්‌විට්‌සර්ලන්තයේ සුරීච් බැංකුවල යෑයි ඔහු තවදුරටත් හෙළිකර ඇත. මේ සතියේ අනාවරණය වූ තවත් තොරතුරක්‌ නම් වන්නියේ සිට කොටින්ට අවි මිලයට ගැනීම මෙහෙයවූ ප්‍රධානියකු ආරක්‍ෂක බුද්ධි අංශවලට අසුවීමයි. කොටින්ගේ ටී.ආර්.ඕ. සංවිධානය ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 700 ක) අවි මිලයට ගත් බව ඔහු හෙළි කර ඇත.

1 comment:

  1. Now we can see:

    Sarath Fonseka survived a marginally fatal suicide attack from LTTE at the beginning of his carrier as the commander. Now we can see that if such a threat was not there on him no doubt that he could have been grabbed by westerns, EU and local devils that are around him now and use him as a pawn to get fulfilled their conspiracies that would have lead the country into LTTE hands.

    ReplyDelete