Thursday 3 December 2009

අතුරුදන් වූවන්ගේ මව්පිය දූ දරු සංවිධානයේ සහාය ජනපතිට

දිවයින
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට අතුරුදන් වූවන්ගේ මව්පිය දූ දරු සංවිධානය තීරණය කර ඇත. ඉකුත් 25 වැනිදා පැවැති සිය සංවිධානයේ නියෝජිත සමුළුවේදී අදාළ තීරණය ගනු ලැබූ බව සභාපති කේ. පී. ශාක්‍ය නානායක්‌කාර මහතා පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් කරන ලද අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් රට තුළ භීෂණයක්‌ ඇති වූ බවත් ඉන් පවුල් ලක්‍ෂ එකහමාරක්‌ පමණ අසරණ වූ බවත් අතුරුදන් වූවන්ගේ මව්පිය දූ දරු සංවිධානය සඳහන් කරයි. දකුණේ භීෂණයෙන් විසි දහසක පමණ පිරිසක්‌ අතුරුදන් කර පාරදිගේ හා අගුපිල්වල ටයර් සෑයවල මරාදමා තිබූ අතර 1983 සිට 2004 දක්‌වා කාලය තුළ පැවැති උතුරු නැගෙනහිර යුද්ධයෙන් පුද්ගලයන් විසිදහසකට අධික පිරිසක්‌ අතුරුදන් කිරීම බලහත්කාරයෙන් පැහැරගෙනයාම සිදුකරන ලදී.

මෙවැනි පුද්ගලයන්ගේ පවුල්වල අයිතීන් වෙනුවෙන් හඬ නගන සිය සංවිධානය යළිත් වරක්‌ රට තුළ එවැනි අඳුරු ඉතිහාසයක්‌ ඇතිවනවාට විරුද්ධ බව එම සංගමය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වසර හතරක කෙටි කාලය තුළ තිස්‌ වසරක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන්ම විනාශකර දැමීමට හැකිවූ බැවින් රට තුළ ආර්ථික සංවර්ධනයක්‌ සහ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ සමාජයක්‌ ගොඩනැගීම නිසා ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම සංවිධානය යටතේ සිටින සියලුම සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්හි සාමාජිකයන් කටයුතු කරන බවද ශාක්‍ය නානායක්‌කාර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

No comments:

Post a Comment