Wednesday 2 December 2009

ජාතිකත්වය විනාශ කිරීමේ පාප කර්මයට අත ගසන්න එපා -- වෛද්‍ය ගුණදාස අමරසේකර

අමල් යශෝමන් ජයසිංහ -දිනමිණ
බටහිර විජාතික බලවේග විසින් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට යන ජාතිකත්වය විනාශ කිරීමේ මහා පාපකර්මයට අතගසන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින දේශමාමක සියලු දෙනාගෙන් තමන් ඉල්ලා සිටින්නේ යැයි දේශහිතෛෂී ජාතික පෙරමුණේ සභාපති ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විශ්‍රාමික සරත් ෆොන්සේකා විජාතික බලවේග සහ රනිල් වික්‍රමසිංහලා විසින් රූකඩයක් කර ඇති බවත් විශ්‍රාමික හමුදාපතිවරයාට ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඔවුන් ද දැන සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය.

දේශමාමක සංවිධාන රැසක් විසින් සංවිධාන කරන ලද ජාතික සංවිධාන එකමුතුව මැයෙන් පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවැසීය.

මෙය ටොරින්ටන් හි ප්‍රලේඛනාගාර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ කවුද කියා අප කවුරුත් දන්නවා. ජාතිකත්වය මෙරටින් වනසා දැමීමේ විජාතික බලවේගවල වුවමනාව මෙවර ක්‍රියාත්මක වී ඇත්තේ මින්පෙර සිදු වූවාට වඩා වෙනස් ආකාරයකින්.
එහෙත් රනිල් වික්‍රමසිංහලා වගේම එම විජාතික බලවේගත් සරත් ෆොන්සේකා ජයග්‍රහණය නොකරන බව ඉතා හොඳින් දැන සිටිනවා.

අප රටේ සංස්කෘතිය, සදාචාරය හා ස්වාධීනත්වය විනාශ කිරීමේ මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට දේශහිතෛෂී සියලු දෙනාම එක්විය යුතුයි.

දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ ලේඛකාධිකාරී බෙංගමුවේ නාලක හිමි මෙහිදී අනුශාසනාවක් කරමින් - 2005 වසරේ දී අප රටේ ජාතිකත්වය රැකගැනීමෙහිලා කටයුතු කලා සේම මෙවරත් එයම ඉටුකරන්නට අප පෙල ගැසී සිටිනවා.

ජාතික බලවේගයේ එකම නියමුවා මහින්ද රාජපක්ෂ මහතාමයි. එජාපය හා ජ.වි.පෙ. එක්ව විජාතික බලවේග ක්‍රියාත්මක කිරීමට ඔහු ඉදිරිපත් කිරීම නිසා ඔහු ජාතිකත්වය රැක ගැනීමේ ක්‍රියාවලියේ නොමැති කෙනෙක් බව දැන් අප දන්නවා. ඔහු මා ඉතා හොඳින් හඳුනනවා. දවසක් මම රනිල් විවේචනය කළා කියා ඔහු මා සමග අමනාප වුණා.

තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක, සුගීස්වර බණ්ඩාර මහතා - 2010 වසරේ ජාතිකත්වය හා විජාතික බලවේග අතර සටනක් ඇති වී තිබෙන්නේ. දක්ෂ හමුදා නිලධාරියෙකු සහ අප කවුරුත් ආදරය කළ ගෞරව කළ අයෙක්. මෙවර විජාතික බලවේගයේ නියමුවා වීම ඉතා කනගාටුවට කරුණක්.

මානෙල් මල් ජාතික ව්‍යාපාරයේ සභාපති අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතා - සරත් ෆොන්සේකා විජාතික බලවේගවල රූකඩයක් වී සිටීම ගැන අප ඉතාමත් කනගාටුවෙනවා.
ඔහු ගැන අප තුළ විශාල ගෞරවයක් තිබුණා. දක්ෂ හමුදාපතිවරයෙක් හැටියට ත්‍රස්තවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයාට සහාය දීම ගැන අප තුළ ඔහු පිළිබඳව ගරුත්වයක් තිබුණා.
විජාතික බලවේගවල ඕනෑ එපා කම් ඉටු කිරීමට අද ඔහු ඉදිරිපත් වී තිබීම ගැන කනගාටුයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යනුවෙන් ව්‍යවස්ථාව ගැන කිසිත් නොදැන ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුනක්.

රුහුණු රට භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී ඕමාරේ කස්සප, ජාතික සංඝ සභාවේ ලේඛකාධිකාරී මාදුරුයායේ ධම්මිස්සර හිමිවරු ද ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයේ විධායක සභික බන්ධුල චන්ද්‍රසේකර, ආයුර්වේද වෛද්‍ය එකමුතුවේ වෛද්‍ය නිමල් කරුණාසිරි, රකිමු ශ්‍රී ලංකා කමිටුවේ දිමුන් ගුණවර්ධන මහත්වරුද අදහස් දැක්වූහ.

No comments:

Post a Comment