Tuesday 22 December 2009

ඇයි මේ වෛරීය දේශපාලනය ? තම තමන්ට ඇති කලායැයි කියන මදි පුංචිකම් ඇත්නම් එයට පලිගැනීමක් ලෙස රටේ නායකයා ඉවත් කිරීම කොතරම් අසාධාරණද?

මහාචාර්ය කේ. ඒ. නන්දසේන කෘෂිකර්ම පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඇයි මේ වෛරීය දේශපාලනය ? තම තමන්ට ඇති කලායැයි කියන මදි පුංචිකම් ඇත්නම් එයට පලිගැනීමක් ලෙස රටේ නායකයා ඉවත් කිරීම කොතරම් සාධාරණදැයි සළකා බැලීම සියලුම ජනකොටස් සහ ජාති හිතෛෂී ලාංකික ජනතාවගේ යුතුකමකි. රටේ වසර 30 ක් පැවති දරුණු යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා යොමු කිරීම තම එකම අරමුණ කරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීමට වෙර දරන මේ වෛරීය දේශපාලනය කුමක්ද ? රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඇයි ? ඔහු රටට ජනතාවට කර ඇති වරද කුමක්ද ? මෙය ඉතා සිහි බුද්ධියෙන් සිතා බැලිය යුතු කාරණයක්.



2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංවිධානය යටතේ තරග කරමින් ජයගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එක් හවුල්කාර පක්ෂයක් වනුයේ ජනතා විමුක්ති පෙරමුණයි.


එකළ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනවීමට ප්‍රබල සහයෝගයක් දෙන ලදී. මාවිල්ආරු මානුෂික මෙහෙයුමේ සිට නන්දිකඩාල් කලපුවෙන් යුද්ධය අවසන් කිරීම තෙක් මෙම දරුණු යුද්ධය නිමා කිරීමට රටේ සේනාධිනායකයා ලෙස විධායක ජනාධිපති බලතල යොදවමින් යුද හමුදාවන්ට අණදෙමින් ආරක්ෂක ලේකම් හරහා නිසි උපදෙස් දෙන ලදී.


ඒ හේතුව නිසාම යුද්ධය සාර්ථකව නිමා කිරීමට එතුමාට හැකි විය. එපමණක් නොව රටේ පැවති යුද්ධයට සමාන්තරව ගොඩනැඟී ආ ජාත්‍යන්තර මෙන්ම දේශීය බලවේග, කූ®ට උපක්‍රම, කෙනෙහිලිකම් නතර කිරීමට ද එතුමා සමත්විය. මෙය සත්‍ය වශයෙන්ම නියමාකාර යුද ජයග්‍රහණයක් වේ.


එසේ රට එක්සේසත් කළ ජනාධිපතිතුමා ඉදින් මාස හයක් ගතවන තැන එතුමා ජනාධිපති ධූරයෙන් පහ කිරීමට විරුද්ධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙරදැරීම අතිශය කණගාටුවට කරුණකි. ඉතා පැහැදිලි කරුණක් නම් මෙහි ඇත්තේ වෛරී දේශපාලනයක යටි අරමුණුයි.


කෙසේ හෝ ජනාධිපති මහින්ද පැරදවිය යුතුªය යන ස්ථාවරයේ සිටිමින් රටේ අනෙකුත් සංවර්ධන කටයුතු අවුල් කරමින් රට නැවතත් අරාජික කර දෙකඩ වීමේ බරපතල ගැටලුවකට ඉදිරියේදී යොමු කිරීමට කටයුතු කිරීම මෙම කණ්ඩායම්වල ඒකායන අරමුණ බව පැහැදිලිය.


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ වෙත පැහැදිලි කරදීමට එක් කරුණක් ඇත. එනම් විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් මෙසේ රටක් එක්සේසත් කිරීම සඳහා සේනාධිනායකයා ලෙස හමුදාවට අණකිරීම අපහසු කාර්යයක් නොවන්නේද ? විධායක බලතල ඇති අගමැති තනතුරක් තිබුණේ නම් මෙය කෙසේ කළ හැකිද ? සියලුම ප්‍රතිපත්තිමය හමුදා තීරණ ගැනීමට සිදුවන්නේ පාර්ලිමේන්තුවටයි.


එහිදී යම් යම් දේශපාලන උවමනා ඉටුකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදුවුුවහොත් දැඩි තීරණ ගැනීම කෙසේවත් ඉටු නොවන තත්ත්වයක් තුළ යුද හමුදාවට යුද කිරීමට නියමාකාර අණදීමක් සිදු නොකෙරෙණු ඇත.


දාං ලෑල්ලක ඉත්තන් මාරුවන සේ පක්ෂ මාරුවීම් ආදී කරුණු හේතුවෙන් මෙසේ තීරණ ගැනීම අපහසු වනු ඇත. මෙවන් පසුබිමක් තුළ කෙසේවත් මෙවැනි දරුණු ත්‍රස්ත කණ්ඩායමක් පරාජය කර රට එක්සේසත් කිරීම ඉතා අපහසු කරුණක් වනු ඇත.


එබැවින් කලින් සඳහන් කළ පරිදි විධායක ජනාධිපති ක්‍රමයක් තුළින්ම මෙම යුද ජයග්‍රහණය සාර්ථක කරගත හැකි විය.


ඒ යුද්ධය අවසන් කිරීමටත් කලින් සිටම ජනාධිපතිතුමා ඇතුළු රජය රටේ සංවර්ධන ඉලක්ක කරා පියනගමින් එය ආරම්භ කර තිබිණ. එයට රටේ දැනට සිදුවෙන සංවර්ධන ක්‍රියාදාමයන් සාක්ෂි දරුණු ඇත.


ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන තුළින් එතුමා දුන් පොරොන්දු හයසිය ගණනින් හාරසිය ගණනක් දැනටමත් ඉටුකර හෝ ඉටුකරමින් පවතී.


එතුමාගේ දර්ශනයට අනුව ඉදිරි කාලයේදී රටේ සංවර්ධනය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එවන් පසුබිමක් තුළ විරුද්ධ පක්ෂ විසින් ජනාධිපතිතුමා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළයුතුව ඇත.


ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වන්නේ් කුමක්ද ? ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිතන තරම් පහසු නොවන කටයුත්තක් බව කවුරුත් දන්නා කරුණකි. පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දය ඊට අවශ්‍යයි.


නොබෝදා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු විසින් මේ පිළිබඳව පරස්පර ප්‍රකාශ සිදුකර ඇති බව පැහැදිලිය. ඔහුද ප්‍රකාශ කර ඇත්තේ නාමික ජනාධිපතිවරයෙක් ලෙස තමා සේවය කිරීමට අකමැති බවයි. එසේ නම් ඉන් හැඟවෙනුයේ ඔහුද විධායක ජනාධිපති ක්‍රමය රස බැලීමට සූදානමක් ඇති බවයි. කවර අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය දිනුවත් 2/3 ඡන්දය ලබා ගැනීම අති දුෂ්කර කාර්යයක් බව පැහැදිලිය.


එනමුත් පසුගිය පළාත් සභා ඡන්දයේදී රටේ ඡන්දය දෙන ලද ජනතාවගෙන් 2/3 ට වඩා ඡන්දයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණි. ලක්ෂ 51 පමණ නිදහස් සන්ධානයටත්, ලක්ෂ 26 පමණ එක්සත් ජාතික පක්ෂයටත් ලැබෙන විට ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ ඡන්ද ලක්ෂ 2 1/2 ටත් වඩා අඩු ප්‍රමාණයකි.


ඒ අනුව අනුමාන කළත් මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඊළඟ ජයග්‍රහණයද ලැබෙන බව විශ්වාසයි. එයට ආසන්නයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ද එම බලපෑම් මතම 2/3 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම අසීරු නොවනු ඇත.


මෙහිදී ශ්‍රී ලාංකික ජනතාව ඉතාමත් අවදියෙන් සහ අවධානයෙන් සිටින බව පැහැදිලිය. ශ්‍රී ලාංකිකයන් යුක්තිගරුක කළගුණ සලකන ජාතියක් බව අමතක නොකළ යුතුය. එම වාසිය ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවනු ඇත. එවන් මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට බොහෝ විට ආසන 2 ක් හෝ 3 ක් ලබාගත හැකිවේ යැයි අනුමාන කළ හැක. ඒ බව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේ.


මෙවන් පසුබිමක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වනුයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ඉදිරි මැතිවරණයේදී ආසන 20 හෝ 30 ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදීමයි. අප දන්නා පරිදි පසුගිය 2004 මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට ආසන 39 ක් ලැබුණේ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් සන්ධානගත පක්ෂවල ඡන්ද දායකයන්ගේ ඡන්ද ලැබීම හේතුවෙනි.


අප පවා එකළ ඔවුනට මනාප ලබාදුන්නේ එබැවිනි. ජනතා විමුක්ති පෙරමුණ නැවතත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන මුවාවෙන් කෙරෙනුයේ අනාගත පාර්ලිමේන්තු ඡන්දයකින් තම ආසන සංඛ්‍යාව වැඩිකර ගැනීමයි.


අප ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය කුමක්ද ? ශ්‍රී ලාංකිකයන් විදියට අප කල්පනා කළ යුත්තේ රට යුද්ධයෙන් දිනා එක්සේසත් කළ ජනාධිපතිතුමා ගෙන යන සංවර්ධන වැඩසටහන ගැන විශ්වාසය තබා එතුමාට අවශ්‍ය සහයෝගය ලබාදීමයි.


අපට ජීවත්වීමට රටක් අවශ්‍යයි. විපක්ෂ සංධානය පවසන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒකාධිපති ක්‍රමය නැතිකර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම බවයි. දැනට රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද ? ඒකාධිපතිවාදයක්ද ඇත්තේ ? මේ ගැන තීරණ ගැනීම කළගුණ දත් ශ්‍රී ලාංකික ජනතාවට භාරයි.


ජනාධිපතිතුමා ඒකාධිපති ස්වරූපයෙන් ප්‍රජාතන්ති‍්‍රක නොවන ආකාරයෙන් වැඩකටයුතු කරන්නේ නම් මෙසේ ඡන්ද පවත්වයිද ? පසුගිය වකවානුවේ සියලුම පළාත් සභා ඡන්ද ඉතා සාර්ථකව පැවැත්වූවා. තමාගේ යුද නායකයාට ද තනතුරින් ඉල්ලා අස් වී ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා දුන්නා. මාධ්‍ය නිදහස ස්ථාපිත කළා. මෙය ඒකාධිපතිවාදයද ? ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයක්ද ?


ජනාධිපතිතුමා ආරම්භ කළ සංවර්ධන සංග්‍රාමය අති සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතී. මෙවිට රටේ සියලුම පළාත්වල එක හා සමානව දැවැන්ත සංවර්ධනයක් සිදුවේ. නැඟෙනහිර නවෝදය, උතුරු වසන්තය උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සංවර්ධනය උදෙසාම විශේෂිත වූ සංවර්ධන ක්‍රියාවලීන්ය.


මෙසේ කරුණු කාරණා සලකා බැලීමේදී රටට හිතැති සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අවංක හිතවත් මිතුරෙකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර රටේ සෞභාග්‍ය සහ සංවර්ධනය උදාකර ගැනීම ඔබ සැමගේ එකම අභිලාෂය සහ බලාපොරොත්තුව විය යුතුය.

No comments:

Post a Comment