Wednesday 16 December 2009

එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ ඝාතනය ගැන ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පුවත්පත් ප්‍රකාශය ශ්‍රී ලංකා යුද හමුදාව අනතුරකට ලක්‌කර තිබෙනවා-අධිනීතිඥ ගෝමින් දයාසිරි

ඒ. ඡේ. ඒ. අබේනායක-දිවයින

ප්‍රධාන පෙළේ එල්ටීටීඊ නායකයන් කිහිප දෙනකු හමුදාවට භාරවීමට පැමිණෙද්දී ඔවුන් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස්‌ දුන් බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සති අන්ත ඉංගී්‍රසි පුවත්පතකට කළේ යෑයි කියන ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා යුද හමුදාව විශාල අනතුරකට ලක්‌කොට ඇතැයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා ප්‍රකාශ කළේය.එම වකවානුවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතාගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව තුළදී අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි කිරීමක්‌ වන්නේ යෑයිද හේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා එලෙස ප්‍රකාශ කළේ නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති ඇසිදිසි විද්වත් කතිකාවකදී අදහස්‌ දක්‌වමිනි.


පෙරේදා (14) පස්‌වරුවේ පැවැති එම විද්වත් කතිකාවේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමීන් දයාසිරි මහතා, යුද පෙරමුණේදී හමුදාවට භාරවීමට පැමිණි චාල්ස්‌ ඇන්තනි, පුලිතේවන් හා නඩේසන් ඇතුළු එල්ටීටීඊ නායකයන් කිහිප දෙනකු ඝාතනය කරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 58 වැනි සේනාංකයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා විසින් කළේ යෑයි කියන ප්‍රකාශයක්‌ පසුගිය 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවුණා. එම ප්‍රකාශය යුද හමුදාව අනතුරකට ලක්‌ කිරීමත්, තමාටත් වඩා රට කියන සටන් පාඨය පෙරදැරිව ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වී සිටින හිටපු හමුදාපතිවරයෙකු වන එතුමා රටට, හමුදාවට අහිතකර එවැනි ප්‍රකාශ පුද්ගලික වාද භේද නිසා නොකළ යුතුව තිබුණා. එවැනි ප්‍රකාශ අප රට යුද අපරාධ කොමිසම් හමුවට ගෙන යැමට වෙරදමින් සිටින ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදෙන රුකුල් ලෙසයි අපි සලකන්නේ. මෙවැනි ප්‍රකාශ නිසා අප රට යුද අපරාධ අධිකරණය හමුවට ගෙනගිය හොත් එහි සාක්‍ෂිකරුවකු ලෙස එතුමාටත් පෙනී සිටීමට ඉඩ තිබෙනවා.


යම් හෙයකින් එතුමා ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් රටේ නායකයා මෙන්ම සේනාධිනායකයාද වන එතුමාට එලෙස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවේ සාක්‍ෂි දීමට සිදුවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌. එහෙම කෙනෙකුට ත්‍රිවිධ හමුදාවේ විශ්වාසය දිනාගන්න පුළුවන්ද? ඒ නිසා යුද අපරාධ හේතු සහිත යමක්‌ ප්‍රකාශ කරන විට වගකීමකින් එය කළ යුතුයි. එතුමාට සහය දක්‌වන එජාපය තුළ මෙන්ම ජවිපෙ තුළත් රටට ආදරය කරන පිරිසක්‌ ඉන්නවා. හමුදාව අප්‍රසාදයට හා අනවශ්‍ය උවදුරකට ලක්‌කරන එවැනි ප්‍රකාශ ඔවුන් අනුමත කරන එකක්‌ නැහැ. එම පුවත්පත එතුමා කළ ප්‍රකාශයේ අර්ථ නිරූපණය කිරීමේදී වරදක්‌ කළානම් එය නිවැරදි කිරීමේ වගකීම එතුමාට තිබෙනවා. මේ වන විට එය ප්‍රකාශයට පත්වී පැය 24 ක්‌ ගතවී තිබෙනවා. නමුත් එතුමා එය නිවැරදි කර නැහැ.


ජෙනරාල්වරයා විසින් කර ඇති එම ප්‍රකාශය පදනම් කරගෙන විදේශ රටක ජීවත් වන යම් අයෙකුට ශ්‍රී ලංකා රජයට එරෙහිව නීතිමය පියවර ගත හැකිදැයි එහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ගෝමින් දයාසිරි මහතා, සාධාරණ ලෙස කටයුතු කරන අධිකරණ පද්ධතියක්‌ ඇති මේ රට තුළදී එම ප්‍රකාශයට එරෙහිව යම්කිසිවකුට නඩුවක්‌ ගොනු කළ හැකි බවද එහිදී පෙන්වා දුන්නේය.


ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා(- රාජ්‍ය ආරක්‍ෂාව හා අයිතිවාසිකම් මූලික වශයෙන් සුරක්‍ෂිත කළ යුතුයි. සේවයේ යෙදී සිටින කිසිම තරාතිරමක රාජ්‍ය නිලධාරියකුට හෝ විශ්‍රාම ගිය අයෙකුට හෝ වේවා යුදමය මෙහෙයුමක කිසිම ක්‍රියාකාරීත්වයක්‌ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට බැහැ. එසේ කළොත් රාජ්‍ය රහස්‌ පනතේ වගන්ති යටතේ ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයාට පුළුවන්. යුද රහස්‌ ප්‍රකාශ කිරීම හෙළි කිරීම හා පළ කිරීමත් වරදක්‌. පොලිස්‌පතිවරයා පැමිණිල්ලක්‌ කළ විට විමර්ශනය කොට එයට එරෙහිව නඩු පවරන්න නීතිපතිවරයාට බලතල තිබෙනවා. යම් කෙනෙක්‌ එවැනි වරදකට වැරදිකරුවකු කරනු ලැබුවහොත් ඔහුට අවුරුදු 14 ක සිරදඬුවමක්‌ නියම කිරීමට අධිකරණයට බලතල තිබෙනවා.


සරත් ෆොන්සේකා මහතා වැදගත් පුද්ගලයෙක්‌ ලෙස අපි සලකනවා. යුද ජයග්‍රහණයේ සැබෑ අයිතිය ආරක්‍ෂක හමුදාවලට හිමිවන බව අපි පිළිගන්නවා. ඒ නිසා එතුමා එවැනි ප්‍රකාශයක්‌ කළා නම් එය මේ රට පාවාදීමක්‌. තම යුද හමුදාවට අයිති 58 වැනි සේනාංකයේ නිලධාරීන් පාවාදීමක්‌. එහෙමනම් එතුමා රාජ්‍ය ආරක්‍ෂාව හා අයිතිවාසිකම් පාවාදී තිබෙනවා. ලෝකයේ කිසිම රටක හමුදාපතිවරයකු ධුරය දරණ අවස්‌ථාවේදී හෝ විශ්‍රාමගිය පසු මෙලෙස රට පාවාදී නැහැ.


ජ්‍යෙෂ්ඨ නීතිඥ කුෂාන් ඩී. අල්විස්‌ හා ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්වරුන්ද එහිදී අදහස්‌ දැක්‌වූහ.

No comments:

Post a Comment