Sunday 20 December 2009

“මට පෙර රට” කියා කිව්වත් රට ගැන අබමල් රේණුවකවත් වගකීමක් නැහැ-අධිනීතිඥ ගෝමින් දයාසිරි

සාකච්ඡා කෙළේ සරත් පෙරේරා -සිළුමිණ
කොහොම බැලුවත් මේ රට ත්‍රස්තවාදය පරදා ලැබූ ජයග්‍රහණය ම්ලේච්ඡත්වය පරදා මිනිසත්කම ලැබූ මහා ජයග්‍රහණයකි. මෙතැනදී මා කිවයුත්තේ යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රස්තවාදයට යටවූ ජනතාව නිදහස් කරගැනීමට කටයුතු කරන අතරම සතුරාට ද සම්පත් ප්‍රදානය කරමින් ඔවුන්ගේ් ද සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් වැනි ඕනෑ එපාකම් සොයා බලා රජය ඉටුකළ වැඩ කොටස ප්‍රශංසනීයය. මේ යුද්ධයේ දී රජය සෑම විටකම ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටි ජනතාව තමන්ගේ ම රටේ පුරවැසි කොටසක් ලෙස සලකමින් ඔවුන් එම ග්‍රහණයෙන් මුදවා ගැනීමට කටයුතු කළ අතර ක්‍රියාත්මක කළ මෙහෙයුම සෘජුවම ත්‍රස්තවාදීන් ඉලක්ක කර එල්ල කළ එකක් විය. එවැනි මානුෂික මෙහෙයුමක් ක්‍රියාත්මක කර ජයග්‍රහණය කළ එකම රාජ්‍ය ලෙස ලෝකයෙන්ම ගෞරවය පිරිනැමී ඇති අවස්ථාවකයි අප මේ පසුවන්නේ එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ සුදු ජාතික බටහිර බලවේග අදටවත් ඒ ඉලක්කය ළඟා කරගෙන නැත.



අප වැනි දිළිඳු රාජ්‍යයන් තුළ ඇමෙරිකාවට හා යුරෝපා සංවිධානයට ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේ ලබාගත නොහැකි වූ ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීමම සුවිශේෂ කරුණකි. මේ කරුණ උඩ අපේ රටට විරුද්ධව එම බටහිර බලවතුන් ඇතිකර ගත් ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය නිසාම ජාත්‍යන්තරයෙන් අප දිනාගත් හොඳනමට කැළැල් කිරීමට මානුෂික අයිතිවාසිකම් ගැන කතා කරමින් හා යුද අපරාධ සිදු කළාය කියන චෝදනාව නැගීමේ උත්සාහයක් ද දක්නට ලැබිණි.


මෙහිදී නැඟූ® සුවිශේෂ චෝදනාවක් වූයේ උතුරේ සටනේ අවසන් හෝරාවේදී සුදු කොඩි දමාගෙන හමුදාවට යටත්වීමට පැමිණි එල්ටීටීඊ නායකයන් වෙඩිතබා ඝාතනය කළේය කියන චෝදනාවක් ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ල කිරීමයි. මෙම කරුණු අඩංගු කරමින් ඇමරිකන් සෙනෙට් මණ්ඩලය විසින් ද සිදු කරන ලදැයි කියන මානුෂික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා පත්‍රයක් පරීක්ෂා කිරීමට ලංකාවට යොමු කරන ලදී.


මෙම වාතාවරණය යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා කරන ලදැයි කියන චෝදනාවේ හරය ගත් කළ එය වෙනත් කෙනෙකුගෙන් අසා කරන ලද ප්‍රකාශයක් බැවින් සාක්ෂි වශයෙන් එහි වටිනාකම සීමිතය. මෙම කරුණ ගැන එතුමා විවිධ අවස්ථාවල කරන විවිධ ප්‍රකාශ නිසා එහි සත්‍යතාව පිළිබඳව ද ප්‍රශ්න මතුවෙයි.


ඇරත් මැතිවරණ අවස්ථාවකදී විරුද්ධවාදීන්ට එල්ල කරන ;චීදනාවක් බැවින් ද විශාල ලෙස ප්‍රමාද වී එල්ල කරන චෝදනාවක් බැවින් ද එය සාක්ෂි තුලනය කිරීමේදී වටිනාකමේ විශාල හීනවීමක් සිදුවන්නේය. නමුත් මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ එවකට රටේ සිටි හමුදාපති වන නිසා ලෝකයාගෙන් එම ප්‍රකාශයට අමතර වටිනාකමක් ලැබීම ද අපේ සැලකිල්ලට ගත යුතුය.


යුද්ධයේ හවුල්කරුවකු ගෙන් නැඟුණ මේ චෝදනා නිසා දැනට ශ්‍රී ලංකාවට විරුද්ධව චෝදනා නැඟීමට තැත්කරන එතෙර දෙමළ ඩයස් පෝරාවට, එන්ජීඕ සංවිධානවලට හා එල්ටීටීඊ මිත්‍රයන් මෙයින් අනවශ්‍ය ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම කිසිදු ලෙසකින් වැළැක්විය නොහැකි වනු ඇතැයි සිතමි.


මගේ විශ්වාසය නම් මෙය දේශපාලන ආධුනිකයකු විසින් අපරීක්ෂාකාරීව කරන ලද ප්‍රකාශයක් යැයි මම සිතමි. එවැනි පුද්ගලයන් රටේ අනාගත ජනාධිපති වුවහොත් ත්‍රිවිධ හමුදාවම එවැනි ජනාධිපතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වන බැවින් රටට අත්වන ඉරණම සිතාගත හැකිය.


අපගේ රණවිරුවන්ට මෙවැනි පුද්ගලයෙක් ගැන ඔවුන් තුළ යම් හෝ විශ්වාසය තිබුණේ නම් එය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවද කිව යුතුය. මෙහි ඇති විශාලම දුර්වලකම නම් “මට පෙර රට” කියන සටන් පාඨය අතටගත් ජනාධිපතිවරණ අපේක්ෂකයාම රට ගැන කිසිදු අබමල් රේණුවක තරම්වත් වගකීමක් නැතිව මෙවැනි ප්‍රකාශයක් කිරීමට ඉදිරිපත් වීමයි.


එතුමා තමාගේ මෙම ප්‍රකාශයේ අර්ථ නිරූපණයේ දෝෂයක් ඇති බවත් ඔහු විසින් කියා ඇත්තේ මෙවැන්නකට වෙනස් අදහසක් බවත් පසුව කියා ඇති නිසා එයද මෙතැනදී සැලකිල්ලට ගත යුතුය. එසේ නම් එතුමා රට හා හමුදාව අවදානම් කලාපයට ගෙනැවිත් ඇති බැවින් වගකීමක් ඇති ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් කළ යුත්තේ ඔහු විසින් කරන ලද සැබෑ ප්‍රකාශය මොකක්දැයි අවුල් නැතිව රටට පහදා දීමයි. අවාසනාවකට මෙතෙක් එවැනි පැහැදිලි කිරීමක් හිටපු හමුදා ප්‍රධානී සරත් ෆොන්සේකා මහතාගේ පැත්තෙන් දක්නට නොලැබේ.


යුද්ධයේ සියලු වගකීම තමා බාර ගන්නේ යැයි සරත් ෆොන්සේකා මහතා දැන් කියා සිටින නමුත් අප අද ජාත්‍යන්තර අධිකරණවලින් ලැබුණ තීරණ දෙස නෙත් යොමු කළ විට පෙනී යන්නේ එම අධිකරණවලින් මෙවැනි වරදවලට එතුමා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයේ අඩංගු කරුණු මත වගකීම පැවරෙන්නේ රටේ ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්තුමාටය.


අද සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා තම දේශපාලන සතුරන් වශයෙන් සලකයි. (ජාත්‍යන්තරය දෙස බලන විට මෙවැනි යුද අධිකරණවලින් නැඟුණ චෝදනාවලින් සූඩානයේ ජනාධිපතිවරයා ද, චිලී රටේ නැසීගිය පිනෝෂේ ආඥාදායකයා ද ලයිබීරියාවේ ටේලර් නමැත්තාට ද නීතිමය නිගමන අනුව වගකීම පැවරිණි.


දැනට පවතින කාම්බෝජයේ පොල්පොට්ට විරුද්ධව ඇති එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයේදී හා සර්බියාවේ යුද නායකයින්ට විරුද්ධව කරන ලද චෝදනාවලිනුත් වටහා ගත යුත්තේ රටේ හතුරන් පොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශයන්වලින් අනිසි වාසි ලබාගෙන මේ රට බාල්දු කිරීමේ ව්‍යාපාරයක් සඳහා යොමු වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.


මින් ඉදිරියට එතුමා මෙයට වඩා වගකීමක් සහිතව පරීක්ෂා සහගතව ප්‍රකාශ කිරීමට වග බලාගත යුත්තේ එතුමාගේ තේමාව අනුවම රට ආරක්ෂා කරගැනීමට පැමිණි පුද්ගලයන් ආරක්ෂා කරගැනීමයි. මේ අවස්ථාවේදී ඔහුම කරන ලද මේ ප්‍රකාශ මේ රටේ ජාතික ආරක්ෂාවට හා තමාම මෙහෙයවූ යුද සේනාංකාධිපතිවරුන්ට හිංසාකාරී ප්‍රකාශ ලෙස සැලකීමට හැකිවීම අභාග්‍යයකි.


ගෙන යන යුද්ධ සම්බන්ධයෙන් මෙවැනි චෝදනා අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නැතිනම් එසේ අසන්නට නොලැබෙන තරම් ය.


ශ්‍රී ලංකාව ස්වාධීන බැඳීම් නොමැතිව තනිවම කරන ලද සටනකින් ජයග්‍රහණය කිරීම නිසා එම ජයග්‍රහණ බාල්දු කිරීම පිණිසම ඉදිරිපත් කරන මෙවැනි චෝදනාවලට ලංකාවේ නැගී එන දේශපාලනඥයන් කරුණු ඉදිරිපත් කිරීමෙන් සිදු කරන්නේ අපේ මව්බිම ශ්‍රී ලංකාව අනාත කිරීමයි.


ඇත්තෙන්ම රජයට දැඩි ලෙස එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා එල්ල කළත් ඔවුන් මෙවැනි චෝදනා හමුදාව කෙරෙහි ඉදිරිපත් කරන්නේ නැත.


අද ජනාධිපතිවරණයේදී එම පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් වී සිටින සරත් ෆොන්සේකා මහතා මෙවැනි ප්‍රකාශයක් කිරීම ඛේදවාචකයකි. තවම මතුව ඇති ප්‍රශ්නයට ඍජුව පිළිතුරක් දීමට නොහැකි වීමෙන් ඔහු විසින් කරන ලදැයි කියන ප්‍රකාශය ඔවුන්ට අනුමත කිරීමට දුෂ්කර කාර්යයක් වනවාට සැක නැත.


ඇත්තෙන් ම සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශයෙන් එල්ල කරන විදියේ චෝදනාවක් විපක්ෂයෙන් රජයට විරුද්ධව ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ වුව ද එල්ල නොකරන්නේ යම් වගකීමක් සහිත දේශපාලන පක්ෂ නිසා ය. ඔවුන් ද අපගේ හමුදාවලට චෝදනා එල්ල කරන්නේ නැත. අපගේ හමුදාවල චිත්ත ධෛර්යය මේ ආකාරයෙන් දුර්වල කරන්නේ නැත. ඔවුන් හොඳින් දන්නා කරුණක් වන්නේ වර්තමානයේ මොන තරම් ජනාදරයක් මේ රටේ ජනතාව හමුදාව කෙරෙහි දක්වනවා ද යන්නයි.


මෙහි ඇති තවත් දුර්වලතාවයක් නම් සරත් ෆොන්සේකාගේ නම පාවිච්චි කර ඔහු විසින් කරන ලද ප්‍රකාශය හෝ විකෘති ප්‍රකාශය ආධාරයට ගෙන මින් ඉදිරි දිනකට වුවද යුද අධිකරණ හෝ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් ත්‍රිවිධ හමුදාව බාර ජනාධිපතිතුමා ප්‍රමුඛව ආරක්ෂක ලේකම්තුමා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විරුද්ධව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ හතුරු බලවේග වලට ඉඩ ප්‍රස්ථාවක් ලබාදීම ය.


සරත් ෆොන්සේකා මහතා හමුදා මෙහෙයුම්වල සියලු වගකීම තමා බාරගන්නා බව දැන් කියා සිටින නමුත් එම බාරගැනීම මත එවැනි ප්‍රකාශයක් මත රටේ වගකීම බාර පුද්ගලයන්ට විරුද්ධව චෝදනා නැගීම වැළැක්වීමට හැකියාවක් නැත. කෙසේ වුවත් මෙය වෙන කෙනෙකුගෙන් අසා කරන ලද ප්‍රකාශයක් නිසා සරත් ෆොන්සේකා මහතා වුව ද මේ ප්‍රකාශයේ සත්‍යතාව ගැන නියම වශයෙන් කීමට දන්නේ නැත. එවැනි අවස්ථාවකදී ඔහු මෙවැනි කරුණු පිළිබඳව අදහස් පළ නොකිරීමට හිටපු හමුදාපතිවරයකු වශයෙන් වග බලා ගත යුතු ය.

මෙම පුවත පළවී ඇත්තේ දැනට එතුමාගේ ඡන්ද ව්‍යාපාරයට විරුද්ධවාදී පුවත්පතක නොවේ. එවැනි පුවත් පතක එසේ විකෘති කර ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී වුව ද මෙම කරුණ විස්තරාත්මකව තමා විසින් ප්‍රකාශ කරන ලද සත්‍ය කරුණු හෙළි කළා නම් එවැන්නක් ඔහුගේ පැත්තෙන් වාසි සහගත වන අතරම රටටද මෙහි නිවැරදි චිත්‍රය පැහැදිලි වනු ඇත. එය තවත් ප්‍රමාද නොකර ඔහු කළ යුතු ය. මේ පැහැදිලි කිරීමට රටට එතරම්ම වැදගත් ය.


කෙසේ වුව ද මින් ඉදිරියට සියලු ජනාධිපති අපේක්ෂකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මෙවැනි වගකීම් රහිත හා අනවශ්‍ය ආකාරයට අපේ හමුදාවන් හා යුද ක්‍රියාදාමයන් අවතක්සේරු කරන අන්දමින් කතා නොකිරීමට අධිෂ්ඨාන කරගැනීම රටේත් ජනතාවගේත් පැතුම බව පෙන්වාදීමට කැමැත්තෙමි.

No comments:

Post a Comment