Tuesday 22 December 2009

බටලන්ද වධකාගාරය නිර්මාණය කළ රනිල්ට, සෝමවංශ චරිත සහතික දීම ඛේදවාචකයක්- - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

නුවන් කොඩිකාර-දිනමිණ

බටලන්ද වධකාගාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මානව හිතවාදියකු කරමින් සෝමවංශ අමරසිංහ මහතා චරිත සහතික දීම මහා ඛේදවාචකයක ආරම්භයක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.මේ පිළිගැනීමෙන්ම සෝමවංශ මහතා ජවිපෙ වෙනුවෙන් ජීවිත කැපකළ හැට දහසක පමණ පිරිසකගේ ජීවිත පාවාදී ඇතැයිද හෙතෙම කීය.



පසුගිය දින මහනුවර දී සෝමවංශ මහතා කළ ප්‍රකාශයට ජවිපෙ සාමාජිකයන් කිසිදු දිනෙක සමාව නොදෙන බවද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ ඊයේ (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡවේදී වීරවංශ මහතා එසේ සඳහන් කෙළේය.

ජවිපෙ සාමාජිකයන් අමු අමුවේ ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවුණු ජවිපෙන් ඉදිරියේදී මීටත් වඩා අරුම පුදුම කතා අසන්න හැකිවේ යැයිද ඒ මහතා පැවැසීය.


රනිල්, සෝමවංශ, හකීම්, මනෝ ගනේෂන්, මංගල හවුලේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පිරිස රට වුණත් පාවාදීමට පසුබට නොවන බව පවසන වීරවංශ මහතා දේශපේ‍්‍රමී ජනතාවගෙන් ඊට ඉඩක් නොලැබෙන බවද කීවේය.


මේ හවුල එකතුවීමට පෙර තමන් රටට හෙළිකළ බොහෝ දේ අද එළිපිට සිදුවෙමින් පවතින බවද වීරවංශ මහතා කීය.


එහිදී විමල් වීරවංශ මහතා මෙසේද කීය.


ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට කර තිබූ ප්‍රකාශය ගැන ප්‍රසිද්ධියේම ජනතාවගෙන් සමාව ගත යුතුයි. එසේ නොමැතිව අස්සන් යොදමින් ව්‍යාජ ලේඛන යොමු කළා කියලා කරපු වැරැද්ද නිවැරැදි වෙන්නේ නැහැ.


ඉරිදා එම පුවත්පත නිකුත්වෙලා තිබියදීත් ෆොන්සේකා මහතා කළ පුවත්පත් සාකච්ඡාවේදීවත් ඔහු ප්‍රකාශ කෙළේ නැහැ එය බොරුවක් කියලා. ෆොන්සේකා මහතාගේ දෙපැත්තෙන් එදා සෝමවංශ සහ රනිල් මහත්වරුන් හිටියා.


දේශපාලන වශයෙන් පීඩනයක් එල්ල වෙන්න පටන් ගත්තම කියනවා එවැන්නක් ප්‍රකාශ කෙළේ නැහැ කියලා. එහෙත් පුවත්පත පිළිගෙන නැහැ ඔවුන් වැරැද්දක් කළ බවට.


මේ ප්‍රකාශය විදේශීය වුවමනාවකට කළ එකක් බව දැන් වැටහෙනවා. රනිල්, සෝමවංශ, මංගල, හකීම්, මනෝ ගනේෂන් හවුලේ අය ෆොන්සේකා මහතා ගොනාට අන්දමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සඵලකර ගනිමින් සිටිනවා.


පසුගියදා රනිල් මහතා පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුණා ඊළඟ ආණ්ඩුවේ විධායක අගමැති තමන් කියලා. එහෙම නම් අප ජවිපෙ නායකයින්ගෙන් අහනවා ෆොන්සේකා මහතා ඉදිරියට දාගෙන රනිල්ව අගමැති කරන්නද යන්නේ කියලා. තවදුරටත් බොරු මවන්නේ නැතුව දැන්වත් සත්‍ය කරුණු ජනතාවට හෙළි කරන්න කියලා අප ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.


මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසාමිල් මහත්වරු සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment