Tuesday 1 December 2009

සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නොවෙයි: ඔහු එක්සත් ජාතික සන්ධානයේ අපේක්ෂකයායි - ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නුවන් කොඩිකාර- දිනමිණ
සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයෙකු නොව එක්සත් ජාතික සන්ධානයේ අපේක්ෂකයා බව ඔහු පැවැත් වූ මාධ්‍ය හමුවෙන් අනාවරණය වූ බව ජාතික නිදහස් පෙරමුණේ් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර විමල් වීරවංශ මහතා පැවැසීය.

හංසයා ලකුණ යටතේ ලියාපදිංචිව ඇත්තේ එම සන්ධානය බැවින් තවදුරටත් ජනතාවට සත්‍ය වසන් කිරීමට නොහැකි යයිද හෙතෙම කීය. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා එසේ ප්‍රකාශ කෙළේය.

ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස මුලින් ප්‍රකාශ කළද, එම ප්‍රකාශය කිරීමට පෙර ජවිපෙ සහ එජාපය සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමේ එකඟතාවකට පැමිණ සිටි බව ජනරාල්වරයාගේ මාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිවුණ බවද වීරවංශ මහතා කීය.

සරත් ෆොන්සේකා මහතා පත්වන්නේ කෙටි කාලයකට බව ජවිපෙ පවසා සිටියත් ඒ මහතා කළ ප්‍රකාශ කෙටි කාලයකින් නිම කළ හැකිද යන ප්‍රශ්නය පැනනගින්නේ යයි හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට සරත් ෆොන්සේකා මහතා අවශ්‍ය නොවන බවත් විදේශයන්ගේ ඉත්තෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා එය අපූරුවට කරගෙන යනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

මීට පෙර සිටි රාජ්‍ය නායකයන්ට යුද්ධය අවසන් කිරීමට අවශ්‍යතාවක් තිබුණද නිසි හමුදා නායකත්වයක් නොතිබුණ හෙයින් එය පසුබෑ බවට ජනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සමස්ත හමුදාවට අගෞරව කිරීමක් ලෙස තම පෙරමුණ දකින බවත් එම ප්‍රකාශය කණගාටුවෙන් හෙළා දකින බවත් ප්‍රකාශ කෙළේය.

එහිදී විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කෙළේය. රාජ්‍ය නායකයන්ට යුද්ධය අවසන් කරන්න අවශ්‍යතාව තිබුණත්, හමුදා පසුබෑම නිසා ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වුණ බව සරත් ෆොන්සේකා මහතා කියා සිිටිනවා. එයින් ඒ මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයටවත් ඒ ඕනකම තිබුණා කියන එකද?, දේශද්‍රෝහී ගිවිසුම් ගහලා රට පාවලා දුන් පුද්ගලයන්ට ෆොන්සේකා මහතා සුදුහුණු ගාමින් සිටිනවා.

අද ජවිපෙ වෙන කතාවක් කියනවා. එජපෙ තවත් කතාවක් කිියනවා. මේ දෙගොල්ලන්ටම පරස්පර කතාවක් සරත් ෆොන්සේකා කියනවා. කාගේ කතාවද පිළිගන්නේ කියන ප්‍රශ්නය රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙලා.

සරත් මහත්තයා මාධ්‍ය සාකච්ඡාවේදී ගෙනාවේ දේශප්‍රේමී වට්ටෝරු නෙවෙයි. අධිරාජ්‍යවාදී බලවේගවල වට්ටෝරු. එය මනාව පැහැදිලි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තුන්වේල කන්නෙත් විදේශීය බලවේගවලින් අහලා. එවැනි අයෙකු සමඟ මිතුරු වන සරත් මහතාටත් එයම තමයි සිදුකරන්න වෙලා තියෙන්නේ.

තමන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා එල්.ටී.ටී.ඊ. යෙන් හරි උදව් ගන්නනවා කියලා සරත් ෆොන්සේකා මහතා කියනවා. එහෙම නම් ඇයි මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ එල්.ටී.ටී.ඊ. යෙන් සල්ලි අරන් ලියනවා කියලා.

හමුදා නිළධාරියෙකු ලෙස සිටි සරත් ෆොන්සේකා මහතා සහ අද එම ඇඳුම ගලවලා කතා කරන ෆොන්සේකා මහත්තයා අහසයි පොළවයි වගේ. පරස්පරයි. විජාතික බලවේගවල කොන්ත්‍රාත්වලට කර ගහලා සරත් ෆොන්සේකා මහතා ඔහුගේ කීර්තිනාමය හානිකර ගන්නවා. එය වලක්වන්න බැහැ. ජවිපෙ හා එජපෙ හදපු තිර පිටපතකට සරත් ෆොන්සේකා රඟපාමින් සිටිනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එදා ජවිපෙ ගිවිසුම් ගහද්දි එය ලිඛිතව තිබුණා. එහෙත් අඩුම ගානේ මේ පිරිස් ගහපු අවබෝධතා ගිවිසුම්වලට කොළයක්වත් නැහැ. ජවිපෙ කරන්නේ අත්වැල් ගායනා කිරීම පමණයි. මෙය සමස්ත ජවිපෙ සාමාජිකයන් හෑල්ලු කිරීමක් ලෙසයි මා දකින්නේ. ඉදිරි මැතිවරණයේදී අපගේ සහය උපරිමයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙනවා.
අප අතර ගිවිසුම් නැහැ. ගිවිසුම් ගහන්න අප අතර පරස්පර නැහැ. මේ රට හදන වැඩපිළිවෙළට උපරිමයෙන්ම සහයෝගය දෙන බවද හෙතෙම කීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීීර, මොහොමඩ් මුසාමිල් මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

No comments:

Post a Comment