Thursday 10 December 2009

2010 ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඔබේ ජනතා විමුක්ති පෙරමුණේ තීරණය සම්බන්ධවයි.

එඩ්වඩ් ගුණසේකර ගෙන් සෝමවංශ අමරසිංහ මහතා වෙතට

සෝමවංශ අමරසිංහ මහතා
ජනතා විමුක්ති පෙරමුණ

ශ්‍රී ලංකාව
ගරු මහත්මයාණෙනි,
2010 ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඔබේ ජනතා විමුක්ති පෙරමුණේ තීරණය සම්බන්ධවයි.

1965දී රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ තරුණයින් ඒකරාශිවී විප්ලව වාදී  සංවිධානයක් ගොඩනැංවීමේ පරමාර්තය වූයේ කුමක්ද යන්න, විමර්ශනාත්මකව අවබෝධකර ගැනීම, මෙම දේශපාලන ව්‍යාපාරය ගොඩනැංවීමට දායක වූ සියලූම සහෝදරවරුන්ගේ මූලික  වර්තමාන කාර්යය භාරය වන්නේය.
ඒ සම්බන්ධව නැවත නැවත මෙනෙහි කොට, ඒ අරමුණට සාපේක්ෂව වර්තමාන ජනාධිපතිවරණය සදහා එදා අප ගොඩනැංවූ පක්ෂය කිරීමට බලාපොරොත්තු වන කාර්යය භාරය කොතරම් නිවැරදිදැයි සොයා බැලීම යුගයේ අප සතු කාර්යය භාරයයි.


අපි එදා මේ භූමියේ නොතිබූ ‍දේශපාලන පක්ෂයක් රෝපණය කිරීමට දායක වූවෝ වෙමු. එදා මේ පක්ෂය ගොඩනැංවීමට දායකවීම; අද එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීම තරම් පහසු කටයුත්තක් නොවූ බව ඔබට මනාව වැටහෙනවා ඇත.


එදා පැවතියේ එක්සත් ජාතික පක්ෂ රජයක් වූ අතර, එම රජය යලි වෙනත් දේශපාලන පක්ෂයකට බලය ලබාගැනීමට ඉඩ නොතබන බව අපි තරයේ විශ්වාසය කෙළෙමු. ඊට ප්‍රධාන හේතුව වූයේ, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරුවන් එම රජය තුලවූ වැදගත් ආයතනයන්හි ස්ථානගතව සිටීම හා අධිරාජ්‍යවාදීන් එම රජය හා පෙලගැසී ව්‍යාපෘති ගනනාවක් ආරම්භ කර තිබීමයි. එපමණක්ද නොව, ඒ වනවිට මුලු කලාපය තුලම අධිරාජ්‍යවාදින් යුධ ගිනිදැල් අවුලවා තිබීම අප නොරිස්සූ කාර්යය භාරයක් විය. අපගෙන් ලෝකයේ යුක්ති ගරුක ජනතාව ඉල්ලා සිටි අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්මාදන් වීමේ කාර්යය කිරීමට අපටද දැඩි උවමනාවක් තිබිණ. අප ජනතාව මතවාදීව සන්නද්ධ කලා සේම, එම ප්‍රතිගාමී ක්‍රියාදාමයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් ආයුධ සන්නද්ධ වීමටද අපේක්ෂා කලහ.


එදා අප සහෝදරයින් කථා කලේ වීශ්වය හා විශ්වීය කාර්ය භාරයන්, ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර කාර්යභාරයන් සම්බන්ධවය. අප මනාව හදුනාගත් ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය මුලුමහත් ලෝකයේ සකල විද ගැටලු සම්භාරයකට මූලික හේතුව බව අප මනාව අවබෝධ කර ගත්තෙමු. ඒ හේතුවෙන්ම අපගේ ප්‍රධාන සටන් පාඨය "අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය" නම් විය.


අපට එදා පැහැදිලි ඉලක්කයක් තිබිණ. චේ ගුවේරා සහෝදරයාගේ ජාත්‍යන්තර විප්ලවවාදිත්වය පිදෙල් කැස්ත්‍රෝ සහෝදරයාගේ නොසැලෙන අධිරාජ්‍ය විරෝධී හඩ අපව ගොඩනැංවූ මූල බීජයන් විය. ඒ අනුව පිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා රතු ලතින් ඇමරිකාවක් ගොඩනැංවීමට සපත කරන සමයේ, රෝහණ විජේවීර ‍සහෝදරයා රතු ආසියාවක් කරා යන ගමන ආරම්භ කරන ලදී.


ගරු මහත්මයාණෙනි, අප ව්‍යාපාරයේ ආරම්භක සහෝදරවරු බොහෝමයක් පැරණි වාමාංශික ව්‍යාපාරයන්ගෙන් බිදී අවෝ වම්හ. අප පැරණි වමෙන් බිදුණේ ඇයි? පැරණි වාමාංශික පක්ෂ එක්සත්ව ගොඩනගා ගත් වාමාංශික එක්සත් පෙරමුණ; ලංකා සම සමාජ පක්ෂය විසින් කඩා බිද දැමීමට ගත් ප්‍රථම පියවර මෙරට තුල වාමාංශික පක්ෂ දුසිම් ගනනාවක් බිහි කිරීමට මුල්වූ ‍හේතුවූ බව ඔබට මනාව මතක ඈතැයි සිතමු.


එදා මෙරට ජාතික ධනේශවර පංතියේ දේශපාලන පක්ෂය වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීම දරා ගැනීමට නොහැකි වූ වාමාංශිකයෝ විවිධ වාමාංශික දේශපාලන පක්ෂ ගොඩනංවා ගත් පසුව ඒවාද විඛණ්ඩනය වී ජනතා විමුක්ති පෙරමුණ නිර්මානය විය.


ගරු මහත්මයාණෙනි, පක්ෂයේ නිර්මාණයේ ස්වභාවය අපට බලකරනුයේ කුමක්ද? ජාතික ධනේශ්වර පංතිය හා සන්ධාන ගතවීමට දැක්වූ ප්‍රබල විරෝධයයි. මෙසේ සන්ධාන ගතවීම සාධාරණ වන්නේ, මේ රට හා ජාතිය විදේශීය ආක්‍රමණයකට බදුන්වී ඇති අවස්ථාවකදී, ඊට මුහුණ දීම සදහා යම් යම් දේශපාලන පක්ෂ හා සන්ධාන ගතවීමකදීයි. ඒ හැර අන් කිසිදු අවස්ථාවකදී දේශපාලන පක්ෂ සමග සන්ධාන ගත නොවිය යුතු බව පක්ෂයේ ආරම්භක ස්වරූපය අපට කියා පායි.


අපේ ජාත්‍යන්තර මිතුරෙකු හා ගුරුවරයකු වූ කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා අධිරාජ්‍ය ගැති බලවේගය මෙහෙයවූ කිසිවෙකු සමග කුමන පදනමකින්වත් සන්ධාන ගතවීමකට නොගියහ. ජාත්‍යන්තරව මුලුමහත් සමාජවාදී ව්‍යාපාරයම; ගොර්බචොෆ් විසින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ඉදිරියේ පාවාදුන් යුගයේදී කියුබාව තරම් දුෂ්කරතා රාශියකට මුහුණ දුන් රාජ්‍යයක් ලොව නොතිබිණ.


දුෂ්කරතා හමුවේ ස්ව ශක්තිය මත පදනම්ව දෙපයින් සිටගන්නට කියුබානු ජනතාවට ආත්ම ශක්තියක් ලබාදුන් කස්ත්‍රෝ සහෝදරයා; එදා ලොව බලවත්ව හා ශක්තිමත්ව වැජඹුන බටහිර අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දණ නමනවාට වඩා මුලු දේශයම බර කරත්ත හා බයිසිකල් යුගයකට යොමුකොට; නැවත කියුබාවනු ආර්ථිකය ශක්තිමත් කල ආකාරය අතිපූජණීය බව අප මෙන්ම ඔබත් පිලිගන්නවා ඇතැයි හැගේ. එවන් වූ පිරිසකට ජාත්‍යන්තරව ඥාතිත්වය දක්වන අප අධිරාජ්‍යවාදීන් ආර්ථික වශයෙන් හතරගාතයෙන් වැටී සිටින මේ මොහොතේ; අධිරාජ්‍යවාදී කුලී හේවායින්ට ජාත්‍යන්තර පරාජයක් හිමිකරදී විජයග්‍රාහීව වැජඹෙන අප; එම කුලී හේවායින්ව අපේ මාතෘ භූමියට එරෙහිව මෙහෙයවූ ඔවුනගේ හාම් පුතුන් ඉදිරියේ දෙදණ නමා ජී. එස්. පී. ප්ලස් නම් වූ ආර්ථික සහනය යදින්නයි, ඔබ ඉල්ලා සිටීම, එසේ ඉල්ලා සිටින්නට ඔබ යුරෝපා හවුලේ නායකයින් හමුවීමට ගියායයි කීම අප තරයේ පිලිකුලින් හෙලා දකින අතර එසේ කිරීමට ඔබට කිසිදු අයිතියක් නැති බවද අවධාරණය කර සිටින්නෙමු.


කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවද, සතුරාගේ ආයුධ වලින් සතුරාට පහරදීම මහත් පහත් ක්‍රියාවක් සේ සලකා ඒවා ප්‍රතික්ෂේප කල වීර කැප්පෙටිපොල පරම්පරාවට උරුම කම් කියන ශ්‍රී ලාංකික ජාතික බලවේගය, ජී. එස්. පී. ප්ලස් ඉල්ලා හඩා වැටෙන නිවටයින් රෑනක් සේ නොසලකන්න.


වර්තමානයේදී ඔබ පක්ෂය පැරණි වාමාංශික ව්‍යාපාරයේ වාර්තාව අභිබවා, අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයා හා සන්ධාන ගත නොවී; ඒ ඒජන්තයාගේ නියෝජිතයා වෙනුවෙන් මැතිවරණ කටයුතු කරන බව ප්‍රකාශ කොට ඇත. ඒ සමගම පක්ෂය 1965 ආරම්භයේදී ඉලක්ක කල සතුරා අහෝසි වි ඇත. දැන් නව ඉලක්කය මහින්ද රාජපක්ෂ නම් වූ පුද්ගලයෙකු කේන්ද්‍ර කොටගෙන ගොඩනැංවී ඇත. එදා රෝහණ සහෝදරයා වේදිකා දෙදරවමින් හඩනැංවූ,


"අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය"නම්වූ සටන් පාඨය වර්තමානයේ සෝමවංශ සහෝදරයාගේ යුගයේදී සංවරධනය වී,"මහින්ද රාජපක්ෂට විනාශය- ජනතාවට විමුක්තිය"ලෙස පරිවර්තනය වී ඇත.


ඒ සමගම අපගේ සතුරා ගජ මිතුරා වී ඇත.


ඔබ විසින් ගොර්බචොෆ්ගේ පෙරස්ත්‍රොයිකා න්‍යාය අප විසින් මහත් පරිශ්‍රමයක් දරා ගොඩනැංවූ දේශපාලන ව්‍යාපාරයට ආදේශ කර, පාක්ෂිකයින් නොමග යවා පක්ෂය විනාශ කිරීමේ කාර්යය භාරයට අත ගසා ඇතැයි අපි ඔබට චෝදනා කරන්නෙමු. ලක්ෂ ගනනක සහෝදර සහෝදරියන්ගේ ඇස්, ඉස්, මස්, ලේ වලින් පූජණීය ලෙස පෝෂිතව ගොඩනැංවූ මේ දේශපාලන ව්‍යාපාරය කිසිවෙකුටත් විනාශ කිරීමට ඉඩ නොතබන බව දිවුරා පොරොන්දු වන අප, මේ යුගයේ ජාත්‍යන්තර ප්‍රගතිශීලී ව්‍යාපාරය හා අත්වැල් බැදගෙන අධිරාජ්‍යවාදයට එරෙහිව ශ්‍රී ලංකාව මෙහෙයවන මහින්ද රාජපක්ෂ මහතා අත "අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය" යන සටන් පාඨය සහිත පුවරුව ඇතිබව දකින්නෙමු.


මේ විශ්වාශීවූ,


එඩ්වඩ් ගුණසේකර

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. Excellent Mr.Gunaseakara.We have bitter past in 1989.We lost thoudsands of educated people in SL. What JVP is doing now.Absolutely wrong.JVP is not belongs to 1-2 persons.They could not make such a nasty decision against to families those who have died in 1989.We should stand for our self.
    Ranjanie.

    ReplyDelete