Sunday 27 December 2009

ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණූ අයට දූෂණය නැතිකරන්න බෑ

මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කල්‍යානන්ද තිරාණගම සාකච්ඡා කළේ පාලිත සේනානායක

අපේ රටේ දූෂණය හා නාස්‌තිය නැතිකරන බවට සපථ කරන පොරොන්දු මේ දිනවල ජනතාවට නොඅඩුව ලැබෙමින් තිබෙනවා. දූෂණය හා නාස්‌තිය පිළිබඳ මේ දෙපාර්ශ්වයම දක්‌වන අදහස්‌ පිළිබඳ ඔබේ මතය කුමක්‌ද? දූෂණය හා නාස්‌තිය නැති කරන කතා කොයි පක්‍ෂයෙන් කෙරුවත් ඒවා පට්‌ටපල් බොරු. විපක්‍ෂයේ ඉන්න කොට අල්ලස්‌ කොමිසමට දූෂණ පිළිබඳ ලැයිස්‌තු ඉදිරිපත් කරන දේශපාලකයො ආණ්‌ඩු බලය ගත්තහම ඒව ගැන සොයා බලන්නෙ නැහැ. දෙපැත්තෙම දූෂණ දෙගොල්ලො ආරක්‍ෂා කිරීමයි අපේ රටේ සිද්ධවෙන්නෙ. දූෂණ කිරීම ව්‍යවස්‌ථාපිත කරල තියෙනවා. මේ සමානුපාතික ක්‍රමය යටතේ ඡන්ද කරන්න කෝටි ගාණක්‌ සල්ලි ඕන. සල්ලිකාරයා දිනනව. පළාත් සභා ඡන්ද වලිනුත් ඉහළින්ම දිනල තියෙන්නේ සල්ලිකාරයො. අපේ රටේ තියෙන්නෙ දූෂණයට මගපාදන ව්‍යවස්‌ථාවක්‌. මේ ජනාධිපති ක්‍රමය නැති කළත් ඒක නැති කරන්න බැහැ. මේ දූෂණය නැති කරන්න නම් සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඕන.මේ සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඡේ.වී.පී. එකවත්, හකීම්වත්, මනෝ ගනේෂන්වත් කැමති නෑ. සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කළොත් ඔය කාටවත් පාර්ලිමේන්තු එන්න හම්බවෙන්නෙ නැහැ. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය තියෙන තාක්‌ කල් මේ රටේ දූෂණය නැති කරන්න බැහැ.


අද දූෂණය හා නාස්‌තිය නැතිකරන්න කතාකරන ඔය නායක නායිකාවො පහුගිය කාලෙ කරපු කතා සිහිපත් කරල බලන්න. දූෂිතයො ගෝල්ෆේස්‌ පිටියට ගෙන ගිහින් හම ගහන බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළා. නමුත් සිදුවුණු දෙයක්‌ නැහැ. ප්‍රේමදාස රජය කාලේ සිදුවුණු කිසිදෙයක්‌ සොයා බැලුවෙ නැහැ. අපේ රටේ දූෂණය ගැන හොයන්නෙ තෝරගත්ත පිරිසකගෙයි. දූෂණය නැතිකරනවා කියලා පොරොන්දු දෙන කවුරුත් කරන්නෙ කාටහරි පහර දෙන්න ඕන වුණහම එහෙමත් නැත්නම් තමුන්ට කිසියම් පුද්ගලයෙක්‌ විරුද්ධ වුණහම ඒ පුද්ගලයා කළ දූෂණ වංචා ගැන සොයන එකයි. අපේ රටේ දූෂණ සෙවීම කියන කාරණය අද පාවිච්චි කරන්නෙ කෙනෙකුට පහර ගහන්නයි. තමුන්ගෙ ආණ්‌ඩුවෙ සිටිද්දී මොන වංචා දූෂණ කළත් ඇහැ කන පියාගෙන ඉඳළ ආණ්‌ඩුව අතෑරල ගිය ගමන් ඒ සියල්ලම හොයන ක්‍රියාදාමය පටන් ගත්තෙ ඡේ. ආර්. ජයවර්ධන මහත්තයයි.

දූෂණය හා නාස්‌තිය සම්බන්ධයෙන් අපේ රටේ හැම ආණ්‌ඩුවකටම අඩු වැඩි වශයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. දූෂණය හා නාස්‌තිය වැළැක්‌වීමේ විධිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්න පසුගිය ආණ්‌ඩු අසමත් වී තිබෙන්නේ ඇයි?

මේ ගැන අප සොයාගත් කරුණු වලට අනුව පැවති රජයන් අතුරෙන් වැඩිපුරම දූෂණ චෝදනා එල්ල වී තිබෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයන් වලටයි. ඒ පිළිබඳ තිබෙන උදාහරණ විශාල ප්‍රමාණයක්‌ අතුරෙන් එකක්‌ කියන්නම්.


වනාතමුල්ලට යන පාරේ තිබෙන ආණ්‌ඩුවේ බේකරිය සහ කුස්‌සිය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ දී ලක්‍ෂ 20 කට විකුණුවා. ආහාර දෙපාර්තමේන්තුවේ මේ මුළුතැන්ගෙය හා අවන්හල ලක්‍ෂ 20 කට විකුණන කොට ඊට කලින් අවුරුද්දෙ එහි ශුද්ධ ආදායම රුපියල් ලක්‍ෂ 74 ක්‌ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. මේ විදිහට රජයේ දේපල තම තමන්ගේ හිතවතුන්ට ජාවාරම් කාරයන්ට කුණු කොල්ලෙට දීලා තියෙනවා. මේ රටේ ජනතා වගේ දේපලට එහෙම කරපු අය දූෂණය නැතිකරන්න නැවත බලයක්‌ ඉල්ලීම විශාල විහිළුවක්‌. මේ කිසිවෙක්‌ අපේ රටේ දූෂණ වංචා නැති කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස්‌ කරන්නේ නැහැ. අද තියෙන තත්ත්වය අනුව දූෂණයක්‌ පිළිබඳ පැමිණිල්ලක්‌ ගෙන එන පුද්ගලයාට ඒ පැමිණිල්ල ඔප්පු කරගන්න බැරි වුණොත් ඔහුට විරුද්ධව නඩු දාන්න පුළුවන්. රජයක්‌ කරන දූෂණයක්‌ නීතිය හමුවේ ඔප්පුකරන එක පහසු කාරණයක්‌ නෙමෙයි. සියලු ලියකියවිලි තියෙන්නේ රජය සතුවයි. ඒනිසා අපේ රටේ දූෂණ පිළිබඳ හෙළිදරව් වුණේ පත්තරවල පළවුණු වාර්තාවලින් විතරයි. කාටවත් ඒව නීතිය හමුවේ ඔප්පු කරන්න පුළුවන්කමක්‌ නැහැ. අපේ රටේ එහෙම කරන්න ඉදිරිපත් වෙන පුද්ගලයාට අවදානම් දෙකකට මුහුණ දෙන්න සිදුවෙනවා. එකක්‌ යම්හෙයකින් තමුන්ගේ පැමිණිල්ල ඔප්පු කරගන්න බැරිවුණොත් තමන්ට එරෙහිව නඩු පවරනු ලැබීමේ අවදානම. අනෙක ඔප්පු කරන අන්දමේ පැමිණිල්ලක්‌ අධිකරණයක්‌ හමුවේ ගොනු කළොත් ඔහුට පාතාලයෙන් එන මරණීය තර්ජන. මේ නිසා දූෂණය අද අපේ රටේ ඔඩු දුවපු තුවාලයක්‌. මේ ව්‍යසනය අපේ රටෙන් තුරන් කරන්න නම් විප්ලවීය වෙනසක්‌ ඇති කළ යුතු වෙනවා.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්‌ඩු පක්‍ෂය හෝ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ විපක්‍ෂ සන්ධානය අපේ රටේ දූෂණය නැති කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය ඇතිකර ගන්න යම් හේතු සාධකයන් තියෙනවද?


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට උවමනා වුණත් දූෂණය නැති කිරීම පහසු නැහැ. එයට හේතුව තමන්ගේ මන්ත්‍රීවරු ඇමැතිවරු දූෂණ වංචා කරන බව දැනගත්තත් එයට එරෙහිව පියවරක්‌ ගැනීමට පුළුවන් කමක්‌ නැහැ. දූෂිතයකුට එරෙහිව පියවරක්‌ ගත්ත ගැටියෙ ඒ දූෂිතයා පිළිගන්න - භාරගන්න විපක්‍ෂය සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යැමේ අවශ්‍යතාව නිසා සියලු දූෂණ ගැන ඇස්‌ වහගෙන දූෂිතයන් ආරක්‍ෂාකර ගැනීමේ තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා.


දූෂණය නැති කරන්නට බලය ඉල්ලන විපක්‍ෂයේ අතීත ක්‍රියාකාරකම් දිහා බලන්න. ප්‍රේමදාස ජනාධිපති වරයාගේ සමයේ ආණ්‌ඩුවට අයත් කර්මාන්ත ශාලා 28 ක්‌ විකුණා තිබෙනවා. හෝටල් සහ වෙළෙඳ සමාගම් 15 ක්‌ විකූණා තිබෙනවා. මේ ගනුදෙනු වලදී සිදුවී තිබෙන දූෂණ මහා පරිමාණයි. ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීම සඳහා යොදා ගෙන ඇති උපක්‍රමය බලන්න. මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ පඩි අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ පඩි හා සම්බන්ධකර තිබෙනවා. මේ අය කරන්නේ ඉතාමත් ම සූක්‍ෂමව කාලයෙන් කාලයට විනිශ්චයා රවරුන්ගේ පඩි වැඩි කරනවා. ඒ අනුව ඉබේම මැති ඇමැතිවරුන්ගේ පඩිත් වැඩිවෙනවා. මේ විදිහට දූෂණය නීත්‍යා නුකූල කරල තියෙනවා.


ගෑස්‌ සමාගම විකිණීම පිළිබඳ ගිවිසුම දෙස බලන්න. ගෑස්‌ සමාගම් මිල වැඩිකරනවාට බන්දුල ගුණවර්ධන මහතා විරුද්ධ බව කියනවා. නමුත් විරුද්ධ වුණාට වැඩක්‌ නෑ. ගෑස්‌ මිල වැඩිකරන්න ලෝක වෙළෙඳ පළේ මිල ඉහළ යැමට අවශ්‍ය නොවන බව ගිවිසුමේ තියෙනවා.


පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ තිබෙන්නෙ වගන්ති 76 යි. එයට එකතු කර තිබෙන අලුත් වගන්තියෙ එනම් 77 වගන්තිය වන්නේ රජයත් සමග ගිවිසුම් අත්සන් කර ඇති ව්‍යාපාර වලට පාරිභෝගික අධිකාරි පනත බලපාන්නේ නැත යන්නයි. එවිට ඒවායේ මිල පාලනයක්‌ කරන්න බැහැ. එවැනි ව්‍යාපාර තුනක්‌ එනම් ප්‍රීමා පිටි, ෂෙල් ගෑස්‌ සහ කැල්ටෙක්‌ස්‌. මේවායේ මිල පාලනයක්‌ කරන්න බැරි විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ පනතට 77 වගන්තිය එකතු වුණේ කොහොමද කියල කවුරුවත් හොයල බැලුවේ නැහැ. ඔය පනත අනුමත කළේ රවී කරුණානායක මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැතිව සිටි කාලේ. නමුත් රවී කරුණානායක මහතා කිව්වෙ ඔය පනත හැදුවෙ මම නෙමෙයි හකීම්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්න කාලෙ කියල. එවිට හකීම් මහතා කිව්වෙ ඕක හැදුවෙ මම නෙමෙයි චන්ද්‍රිකා ජනාධිපතිතුමිය කියල. මේ පනත පාස්‌කරන වෙලාවෙ ඡේ.වී.පි.යත් පාර්ලිමේන්තුවේ හිටිය. පනතක්‌ පාස්‌ කරනකොට මේ වගන්ති එකතු වුණේ කොහොමද කියල ඒ කවුරුවත් දන්නෙ නැද්ද? මේවා තමයි මහා පරිමාණ දූෂණ. මේ පනත්වලට මේ වගන්ති එන්නේ නිකම්ම නෙමෙයි. ඒවට කාටහරි කෝටි ගණනින් සල්ලි ලැබුණ කියල ඔප්පු කරන්න බැහැ. සමහර විට ඒ සල්ලි එංගලන්තෙ හරි ඇමරිකාවෙ හරි ස්‌විට්‌සර්ලන්තෙ හරි බැංකුවල ඇති.


අපේ රටේ සිදු වූ මහා පරිමාණ දූෂණ අතර මුලින්ම තියෙන්නෙ රාජ්‍ය ආයතන විකිණීමේදී සිදු වුණු දූෂණයි. කෝටි හැටදාහකට වඩා වටිනාකමකින් යුත් රක්‍ෂණ සංස්‌ථාව කෝටි හයසිය පහක්‌ වැනි මුදලකට විකිණීම වැනි දූෂිත ගනුදෙනු සිදුවුණු ඒ වකවානුවල ආණ්‌ඩු බලයේ හිටි අය ඒ පක්‍ෂවල අය රජයේ දූෂණ නැතිකරන්නට යළි බලය ඉල්ලීම විශ්වාස කළ හැකිද යන්න ජනතාව තීරණය කළ යුතුයි. මහජනතාව සතු සම්පත් කුණුකොල්ලයට විකුණූ අයට දූෂණය නැති කරන්න බැහැ. ප්‍රේමදාස මහතාගේත් චන්ද්‍රිකා මහත්මියගේත්, රනිල් වික්‍රමසිංහ මහතාගේත් ආණ්‌ඩු පසුගිය වසර 15 තුළ අපේ රටේ කර්මාන්ත ශාලා, බැංකු, වතු ඇතුළු සියලු රාජ්‍ය දේපළ විකුණා ලැබූ මුදල කෝටි හත්දහසක්‌ පමණයි. නමුත් මැදපෙරදිග ගිය අපේ ජනතාව ගිය අවුරුද්දේ පමණක්‌ රුපියල් කෝටි තිස්‌දහසක්‌ ගෙනැවිත් තියෙනවා. රාජ්‍ය දේපළ විකුණා කර ඇති විනාශයේ තරම ඉන් පෙනෙනවා. කෝටි 650 කට විකුණූ රක්‍ෂණ සංස්‌ථාව අද එක්‌ අවුරුද්දකට කෝටි 300 ක බෝනස්‌ දෙන ආයතනයක්‌ වීමෙන් ම රාජ්‍ය දේපල වලට ඒ පාලකයන් කළ විනාශයේ තරම පෙනෙනවා.


ත්‍රස්‌තවාදය අවසන් වූ පසු අපේ රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව සංවර්ධිත රටක්‌. මේ ජනතා බලාපොරොත්තුව ඉටුකර දීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් දෙදෙනා තුළ ඇති හැකියාව හා උවමනාව ඔබ දකින්නේ කොහොමද?


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පසුගිය වසර 4 ක කාලය තුළ සිදුවූ දෑ පිළිබඳ චෝදනා තිබෙනවා. ඥති සංග්‍රහය, නුසුදුස්‌සන් තනතුරුවලට පත්කිරීම්, නාස්‌තිය, නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු ආදී චෝදනා තිබෙනවා. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය සම්පත් කොල්ලකෑ බවට කිසිවකුට චෝදනා කරන්න බැහැ. ඔහු මහජන දේපල විකුණා නැහැ.


නමුත් එදා බලයේ සිටි අද විපක්‍ෂයේ සිටින පිරිස රටේ දූෂණය නැති කරන්නට නැවත බලයක්‌ ඉල්ලන්නේ දූෂණය නැති කිරීමට නොව රටේ ඉතිරිව ඇති ස්‌වාභාවික සම්පත් ටිකත් විකිණීමට බව මගේ අදහසයි. රාජ්‍ය ආයතන විකුණා රටක්‌ සංවර්ධනය කරන්න බැහැ.

No comments:

Post a Comment