Wednesday 23 December 2009

ෆොන්සේකාගේ මහා පාවාදීම රණවිරුවන්ට විදේශ පුහුණුව ඇන හිටී අපේ රණවිරුවන්ට සාම හමුදාවේ දොර වැසේ 58 වැනි සේනාංකයටම තර්ජනයක්

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර-දිනමිණ

සරත් ෆොන්සේකා මහතා කළ දේශ ද්‍රෝහී පාවාදීම නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන්ට පමණක් නොව පනස් අට වැනි සේනාංකයටම බරපතළ තර්ජනයක් එල්ලවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ අවධාරණය කරති.මේ පාවාදීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවටම විදේශ පුහුණු අවස්ථා, සාම සාධක බළකාවල සේවය කිරීමේ අවස්ථා පවා අහිමි වී යා හැකි බව පෙන්වා දෙන ඔවුහු, මේ පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ජයග්‍රහණය කිරීමට නොව රණවිරුවන් පාවා දීමේ අරමුණෙන් යැයි පෙන්වා දෙති.

මානුෂීය මෙහෙයුම් කරමින් මවු බිම ත්‍රස්තවාදයෙන් මුදා ගත් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමේ අවදානම පරාජය කිරීමට දේශපාලන පක්ෂ, ජාති, ආගම් බේද අතහැර සියලු ජනතාව හා එක්ව නැගී සිටිය යුතු බව ඔවුහු අවධාරණය කරති.
සරත් ෆොන්සේකා මහතා රණවිරුවන් පාවා දෙමින් කළ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහිව රජය, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම පියවර ගන්නා අතර මේ ප්‍රකාශයට එරෙහිව සමස්ත ජනතාව එක පෙරමුණක සිටින බව ලෝකයට පෙන්නුම් කළ යුතු යැයි ඔවුහු පෙන්වා දෙති.
එදා වීරෝදාර රණවිරුවන් ත්‍රස්තවාදය පරාජය කරමින් ඉදිරියට යන විට මෙන්ම ජාත්‍යන්තර බලපෑම්වලට යටත් නොවී ජනාධිපතිවරයා එඩිතරව රණවිරුවන් ට අණ දෙන විට එක ජාතියක් වශයෙන් නොසැලී හිඳිමින් ශ්‍රී ලාංකිකයන් දුන් ධෛර්ය හා ශක්තිය මේ මොහොතේත් රටට අවශ්‍ය බව ඔවුහු කියා සිටිති.
ජනාධිපතිවරණ සටන මොහොතකට අමතක කොට මේ වෙනුවෙන් පෙනී සිට රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණ තොණ්ඩුවෙන් ගලවා ගැනීමේ ජාතික මෙහෙවර ඉටු කළ යුතු යැයි පෙන්වා දෙන ඔවුහු මේ කුමන්ත්‍රණයට ඉඩ දෙනවාද? නැතහොත් රටක් වශයෙන් ඊට එරෙහිව නැගී සිටිනවා ද යන්න මේ මොහොතේ තීරණය කළ යුතු යැයි ද පවසති.
එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් මේ බව ප්‍රකාශ කෙළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවක දීය. සරත් ෆොන්සේකා මහතා ඉරිදා පුවත් පතකට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බව කියමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවන ලද ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔවුහු මෙසේ ප්‍රකාශ කළහ.
හිටපු යුද හමුදාපතිවරයා වශයෙන් සරත් ෆොන්සේකා කළ මේ ප්‍රකාශය පැහැදිලි සාක්ෂියක් වශයෙන් භාවිතා කිරීමේ අවස්ථාව එක්සත් ජාතීන් ගේ සංවිධානයට ලැබී තිබෙන බවත් බොහෝ බටහිර රටවල් දිගු කලක් තිස්සේ මෙවැනි සාක්ෂියක් බලාපොරොත්තුවෙන් පසු වූ බවත් ඔවුහු පැවැසූහ.
මෙවැනි චෝදනා එල්ල කොට පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකාව ලෝකයේ හුදකලා රාජ්‍යයක් කිරීම මේ අයගේ අරමුණ බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එරෙහිව සම්බාධක පැනවීමේ අවධානමක් ද පවතින බව පැවැසූ ඇමැතිවරයා මේ පාවා දීම හේතුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට විදෙස් පුහුණු අවස්ථා මෙන්ම වෙනත් රටක සංචාරය කිරීමේ අවස්ථාව පවා අහිමි විය හැකි යැයි අනතුරු ඇඟවීය.
මේ ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවා දීමේ ප්‍රකාශයක් පමණක් නොව ලෝකයේ දැවැන්ත කීර්තියක් හිමිකර ගත් ශශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවම පාවා දීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
ලෝකයේ ත්‍රස්තවාදය පවතින රටවල පරමාදර්ශි රාජ්‍යයක්, හමුදාවක් වශයෙන් හැදින්වුණු රාජ්‍ය සහ හමුදාව පාවා දීමේ අරමුණෙන් ම මොහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කීවේය

No comments:

Post a Comment