Saturday 5 December 2009

යුද ජයග්‍රහණ හා දේශපාලනය එකට ඈඳීම!

(2009 නොවැම්බර් මස 30 වනදා "දි අයිලන්ඩ්" පුවත්පතේ කතුවැකිය අළලා මෙම ලිපිය සකස්‌ කරන ලදී)

සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ දිවයින

විශ්‍රාමලත් හමුදා ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීම පිළිබඳ සිය තීරණය ප්‍රකාශ කොට තිබෙනවා. සිය තීරණය ජනතාවට දැන්වීම සඳහා පසුගිය නොවැම්බර් 30 වැනිදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ තමන් එක්‌සත් නිදහස්‌ පෙරමුණු සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ජනාධිපතිවරණය සඳහා තරග වදින බවයි. නිල වශයෙන් ඔහු මෙම ප්‍රකාශය 29 වැනිදා ප්‍රකාශ කළත් ඔහුගේ දේශපාලන අවතීර්ණය කලක සිට කතාබහට ලක්‌ වූ කාරණයක්‌ වූ බැවින් එය නැවුම් පුවතක්‌ නොවූ බව සඳහන් කළ යුතුයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එදින පැවැති පුවත්පත් සාකච්ඡාව ජනතාවට වැදගත් වූයේ දිගු කලක්‌ තිස්‌සේ හමුදා නිලධාරියකු ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා දේශපාලන චරිතයක්‌ කරා පරිවර්තනය වීමට දරණ උත්සාහය එම පුවත්පත් සාකච්ඡාව මගින් දැකගත හැකි වූ නිසයි. මෙම පුවත්පත් සාකච්ඡාවේදී රැස්‌ව සිටි මාධ්‍යවේදීන් නැඟූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ, මාධ්‍යවේදීන් විසින් නැගූ එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම අවුරුදු 30 ක්‌ තිස්‌සේ දේශපාලනයේ සිටි පුද්ගලයකුට වුවද අසීරු කරුණක්‌ වන බවයි.

දේශපාලනය හමුදා පාලනයට වඩා හාත්පසින් වෙනස්‌ වූ කටයුත්තක්‌ බවට ඔහුට දැනටමත් ඒත්තුගැන්වී ඇති බවත්, එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු දුන් පිළිතුරුවලින් පැහැදිලියි. ඔහුම පිළිගන්නා ආකාරයට තමන්ට දේශපාලනය පිළිබඳ අත්දැකීම් නොමැතිනම් ඔහුට ජනාධිපතිවරණය සඳහා තරග වැදීම සඳහා තමන් සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න මෙහිදී එක්‌ මාධ්‍යවේදියකු විසින් ප්‍රශ්න කරනු ලැබුවා.

සරත් ෆොන්සේකා එම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්‌වමින් කියා සිටියේ තමන් නියෝජනය කරන සන්ධානයේ සිටින එකම "මොළකාරයා" තමන් නොවන බවත්, එම ප්‍රශ්න විසඳීම සඳහා තමන් උත්සාහ ගන්නා බවත්ය.එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයකු ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත්තේ එම පක්‍ෂවල නායකයන් අද යන එන මං නැති නායකයන් බවට පත්ව ඇති නිසාත් ඔවුන් කිසිවකුට මහින්ද රාජපක්‍ෂ වෙත අභියෝගයක්‌ එල්ල කිරීමට නොහැකි බව ඔවුන් හොඳින්ම දන්නා නිසා බව පැහැදිලියි. ඒත් ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ජනපති පදවියෙන් නෙරපා දැමීමයි.

විපක්‍ෂයේ නායකයන් මුහුණපා සිටින මෙම ෙෙදනීය තත්ත්වය හමුවේ "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කරවීම බොහෝ දුරට රඳනු ඇත්තේ සරත් ෆොන්සේකා තමන් පරාජික තත්ත්වයට පත්ව ඇති විපක්‍ෂයේ කිසිවකු වෙත නොරඳන, ඔවුන්ගේ පරණ පව්වලට කරනොගහන, වෙනස්‌ වූ දේශපාලන ගමන් මඟක ගමන් කළ හැකි සුපිරි දේශපාලන වීරයකු බව මේ රටේ ජනතාවට ඒත්තුගැන්වීමට හැකිවුවහොත් පමණක්‌ බව මෙහිදී සඳහන් කළ යුතුයි. ඔහු මෙරටේ ජනතාව හමුවේ ගොඩනැඟිය යුත්තේ එවැනි ප්‍රතිරූපයක්‌. එහෙත් ජනතාවගේ එම බලාපොරොත්තු සුන්කරමින් සරත් ෆොන්සේකා එම මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ තමන්ට වැඩි දේශපාලන අත්දැකීමක්‌ නොමැති නිසා මේ රටේ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන දේශපාලනඥයන්ගේ උපදෙස්‌ ලබාගැනීමට තමන්ට සිදු වූ බවයි.සරත් ෆොන්සේකාට සහාය දක්‌වන මෙම නව දේශපාලනඥයන්, ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත්තේ දූෂණය, දේශපාලන භීෂණය, නාස්‌තිය, බලය අයුතු ලෙස යොදාගැනීම වැනි චෝදනා රාශියක්‌ මත බව අමතක නොකළ යුතු කරුණක්‌. මෙහිදී සරත් ෆොන්සේකාට විශේෂයෙන් සිහිගැන්විය යුතු වැදගත් කරුණක්‌ තිබෙනවා.

විජයදාස රාජපක්‍ෂගේ සභාපතිත්වයෙන් යුත් දූෂණ විමර්ශන කමිටු වාර්තාව මගින් චෝදනා ලැබ සිටින දේශපාලනඥයන් වැඩි හරියක්‌ සිටින්නේ ඔහු සිය දේශපාලන කටයුතු සඳහා සහාය අපේක්‍ෂා කරන කණ්‌ඩායම තුළ බව ඔහු නොදන්නේ ද යන්න සරත් ෆොන්සේකාගෙන් ජනතාව නැඟිය යුතු ප්‍රශ්නයක්‌.
ඔහු සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේදී කළ ප්‍රකාශයන් ඔහුට වැඩි වාසි ගෙනදෙන්නක්‌ නොවන බව ද සඳහන් කළ යුතුයි. ඔහු කියා සිටියේ ඔහුගේ ජනාධිපතිවරණ සටන සඳහා ප්‍රභාකරන්ගේ මව සහ පියාගේ සහය වුවත් ලබාගැනීමට තමන් සූදානම් බවයි. ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ බුද්ධිමත් ජනතාව විසින් නැගිය හැකි ප්‍රශ්නයක්‌ මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

සිය ජයග්‍රහණය සඳහා එකිනෙකට ප්‍රතිවිරෝධී මත දරණ කණ්‌ඩායම් ගැන කිසිම සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නොමැතිව සහාය ලබාගෙන යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් ඔහුට ඔහු පසුපස සිටින දුෂ්ට බලවේගයන්ගේ බලපෑමට යටත් නොවී කටයුතු කළ හැකි වේද යන්න ඔහුගෙන් ඇසිය යුතු එම වැදගත් ප්‍රශ්නයයි. ඔහු කියා සිටින්නේ "දේශපාලනයේ කිසි දිනක සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවයි" ඉන් අදහස්‌ වන්නේ ඔහු තමන් ගරුකරන ප්‍රතිපත්ති, අගයන් යන සියල්ල සිය ජයග්‍රහණය උදෙසා පාවාදීමට සූදානම් බවයි. ඔහු දුරදිග නොබලා කළ එම ප්‍රකාශය නිසා මෙරටේ සිටින දේශපාලනඥයන් සම්බන්ධයෙන් මහත් කලකිරීමකට පත්ව සිටින ජනතාව විසින් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් මෙතෙක්‌ තිබූ අපේක්‍ෂාවන් සුන්වන්නට ඇති බව සඳහන් කළ යුතුයි.සරත් ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී මෙරටේ පවත්නා දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට සහ දූෂණය සහ නාස්‌තිය වැළැක්‌වීම සඳහා ඔහු තුළ ඇති කැපවීම ප්‍රකාශ කර සිටියා.

ඔහු විශේෂයෙන්ම කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ සහ ඔහු දේශපාලන පවුල සහ මුළුතැන්ගෙයි කැබිනට්‌ මණ්‌ඩලය බලයෙන් පහ කළ යුතු බවයි. හිත් පෑරුණු සොල්දාදුවකු ලෙස සේවයෙන් විශ්‍රාම ගියේ ඇයිදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා තමන්ටත් රජයෙන් සිදු වූ අසාධාරණකම් වැලක්‌ දිගින් දිගටම කියා සිටියා. රජය මගින් ඔහුට සිදුකළ විවිධ අසාධාරණකම් අතරේ ප්‍රධානතම දෙය වශයෙන් ඔහු චෝදනා කර සිටියේ රජය විසින් ඔහු වෙත ප්‍රදානය කළ හමුදා මාණ්‌ඩලික නිලධාරි තනතුර මෙහෙයුම් පිළිබඳ වගකීම් රහිත, එමෙන්ම පරිපාලනමය බලඅධිකාරයක්‌ නොමැති තනතුරක්‌ වූ බවයි. ඔහුගේ එම පිsළිතුරේ යටිඅදහස කුමක්‌ද යන්න මෙහිදී විමසා බැලිය යුතු වනවා. ඇත්ත වශයෙන්ම ඉන් අදහස්‌ වන්නේ ඔහුට පිරිනමන ලද එම තනතුරු අපේක්‍ෂා කළ පරිදි බලධාරිත්වයෙන් යුක්‌ත තනතුරක්‌ වූයේ නම් රාජපක්‍ෂ පවුලේ දේශපාලන බලපුළුවන්කාරකම්, ඥති සංග්‍රහය, දූෂණය සහ නාස්‌තිය යන කිසිවක්‌ ගැන නොතකා සිය ධුරයෙන් විශ්‍රාම නොගෙන එම තනතුරේ තවදුරටත් රැඳී සිටීමට කටයුතු කිරීමට ඉඩ තිබූ බවයි. ඔහු රාජපක්‍ෂ පාලන ක්‍රමය ගැන සත්‍ය වශයෙන්ම කලකිරීමට පත්ව සිටියේ නම් ඔහු විසින් කළ යුතුව තිබුණේ, යුද්ධ ජයග්‍රහණය අත්පත් කරගත් වහාම සිය ධුරයෙන් ඉවත් වී රාජපක්‍ෂ පවුලට එරෙහිව දේශපාලන සංග්‍රාම භූමියට එළඹීමයි.ඔහු ජනාධිපතිවරයා සහ ඔහුගේ පාලන ක්‍රමය විවේචනයට ලක්‌කිරීම සඳහා මාස හයක්‌ පමණ කල්ගත කළේ මන්ද යන්න මෙරට ජනතාව විසින් ඔහුගෙන් නැගිය යුතු ප්‍රශ්නයක්‌. ඔහු රජය විසින් ප්‍රදානය කළ මාණ්‌ඩලික ප්‍රධානි තනතුර බාරගෙන එම තනතුර සම්බන්ධ සැපසම්පත් විඳිමින් කල්ගතකොට එම තනතුර බල රහිත එකක්‌ බව තේරුම් ගිය පසු රාජපක්‍ෂ පාලන ක්‍රමය විවේචනය කිරීමට පටන්ගැනීම ඔහු කෙරෙහි ජනතාව තුළ පැවැති විශ්වසනීයත්වය තදබල ලෙස හෑල්ලු වීමට හේතු වූ බව මෙහිදී අවධාරණයෙන්ම සඳහන් කළ යුතුයි. ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී තවදුරටත් කියා සිටියේ යුද්ධය නිමාවට පත්නොවූයේ නම් තමන් තවදුරටත් යුද හමුදාපති ලෙස කටයුතු කරන බවයි. ඔහුගේ මෙම ප්‍රකාශ සියල්ලන්ගෙන්ම ව්‍යංගයෙන් අදහස්‌ වන්නේ තමන් මෙලෙස දේශපාලන පෙරට්‌ටියට බැස සිටින්නේ අන් කවර දෙයක්‌ නිසාවත් නොව තමන්ට සිදු වූ මදිපුංචිකමක්‌ හේතුවෙන් තමන් තුළ ඇති වූ පෞද්ගලික කෝන්තරයක්‌ පිරිමසාගැනීමට බවයි.පසුගිය කාලය පුරාම සරත් ෆොන්සේකා විසින් කරන ලද ප්‍රකාශයන් තුළ දක්‌නට ලැබෙන්නේ පරස්‌පර විරෝධිතාවයන්. යුද්ධය නිම වූ සැනින්ම රජයේ රූපවාහිනි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ යුද්ධ ජයග්‍රහණයේ කීර්තියෙන් සියයට අනූපහක්‌ම යුද්ධ හමුදාවට හිමිවිය යුතු බවයි. එහෙත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම යුද්ධ ජයග්‍රහණ ප්‍රශංසාවට සියලුම සන්නද්ධ හමුදාවන්ට, පොලිසියට, සිවිල් ආරක්‍ෂක බළකායට මේ රටේ මහජනතාවට හිමිවිය යුතු බවයි. මෙහිදී කෙනෙකුට පැනනැඟිය හැකි ප්‍රශ්නය වන්නේ යුද්ධ ජයග්‍රහණයේ ප්‍රශංසාවන් කුමන ප්‍රතිශතයක්‌ තමන් වෙත පවරා ගන්නේද, කුමන ප්‍රතිශතයක්‌ සෙසු අය සමඟ බෙදා ගැනීමට ඔහු කැමැතිද යන්නයි. සෙසු අය සමඟ බෙදාහදාගන්නේ කළ සියයට පහක්‌ වැනි සුළු ප්‍රමාණයක්‌ ද යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දිය යුතුයි. අනෙක්‌ අතට ඔහු දැන් කියන විදියට එම යුද්ධ ජයග්‍රහණයේ කීර්තිය සහ ප්‍රශංසාවට සියලු දෙනාම පංගුකරුවන් වියයුතු නම්, එම ජයග්‍රහණය හුවාදක්‌වමින් දේශපාලනයට පිවිසීමට ඔහුට ඇති අයිතිය කුමක්‌ද? යන්න මෙහිදී නැගිය යුතු ප්‍රශ්නයක්‌. යුද්ධ ජයග්‍රහණය සඳහා සරත් ෆොන්සේකා මෙන්ම සුවිශාල සේවයක්‌ කළ වෙනත් හමුදාපතිවරුන් එලෙස දේශපාලනයට අවතීර්ණ නොවී සිටියදී ඔහු පමණක්‌ එම ජයග්‍රහණයේ වාසි ලබමින් දේශපාලන තනතුර සොයායැම සඳහා ඔහුට සදාචාරාත්මක අයිතියක්‌ ඇද්ද යන්න මෙහිදී ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌.මෙයට අමතරව ඔහු විසින් පිළිතුරු දිය යුතු තවත් ප්‍රශ්නයක්‌ වේ. ප්‍රභාකරන් මරා දැමූ, එල්. ටී. ටී. ඊ. ය විනාශ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති තනතුරට පත්කරන විට සරත් ෆොන්සේකා සිටියේ සිය විශ්‍රාම ගන්නා වයස පසුකරමින්. ඔහුට සේවා දිගුවක්‌ ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂ රජය මගින්. ඔහු එරෙහිව නැගී සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ අනුග්‍රහය ඒ අයුරින් ඔහුට නොලැබුණේ නම් එම යුද්ධ ජයග්‍රහණය ලබාගැනීමට ඔහුට හැකි වේද? යන්න මෙහිදී ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක්‌. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ, ඔහු කිසිම මාධ්‍යවේදියකුට එරෙහිව පෞද්ගලිකව යම් ප්‍රහාරයක්‌ එල්ල කර නොමැති බවත්, ඔහු පෞද්ගලිකව කිසියම් මාධ්‍යවේදියකු ඝාතනය කොට නොමැති බවත්ය. යමකු එවැනි චෝදනාවක්‌ එල්ල කරන්නේ නම් එය කීර්තිමත් හමුදාවකට සිදුකරන බලවත් අගෞරවයක්‌ බව ඔහු සඳහන් කර සිටියා. එහෙත් මෑතකදී රජය විසින් ඔහුගේ ආරක්‍ෂාව සඳහා හමුදා කණ්‌ඩායමක්‌ ලබාදුන් විට ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙයට වඩා හාත්පසින්ම විරුද්ධ අදහසක්‌. ඔහු කියා සිටියේ තමන්ගේ ආරක්‍ෂක නිලධාරීන් තමන් විසින්ම තෝරාගත යුතු බවත්, නොඑසේ නම් රජය මගින් ලබාදෙන ආරක්‍ෂකයකු මගින් තමන් ඝාතනය කිරීමට ඉඩ ඇති බවත්ය.ඔහු මෙම ප්‍රකාශය කර සිටියේ පසුගිය නොවැම්බර් 22 දා සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ සිදුකරන ලද සාකච්ඡාවකදීයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ "රජය විසින් මුලදී මගේ ආරක්‍ෂක බළකාය දැනට අඩු කළා. එයට මම විරුද්ධ වුණා. පසුව රජය විසින් එය සොල්දාදුවන් 60 ක්‌ දක්‌වා ඉහළ දැමුවා. එයටත් මා විරුද්ධත්වය දැක්‌වුවා. දැන් රජය විසින් කොමාන්ඩෝ බළකායේ 12 දෙනෙක්‌ මගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කොට තිබෙනවා. ඒ අය මවිසින් තෝරා ගනු ලැබූ අය නොවේ. ඒ සියලු දෙනාම අලුත් අය. ඔවුන් මා ඝාතනය කිරීම සඳහා යොදවා තිබෙන හමුදා කණ්‌ඩායමක්‌ විය හැකියි. ඇතැම් විට ඔවුන් මාව ඝාතනයට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා.

"සරත් ෆොන්සේකා පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටි පරිදි, ශ්‍රී ලංකා හමුදාව විනයගරුක හමුදාවක්‌ නම් රජය මගින් ඔහුගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කළ යුද්ධ හමුදා කාණ්‌ඩයට මෙතරම් බියවන්නේ ඇයිද යන ප්‍රශ්නය නැගිය යුතුයි.තමන්ට සපයා ඇති ආරක්‍ෂක නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් ආකාරයට සැක පළකිරීම නිසා ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව අපහාසයට ලක්‌කිරීමක්‌ ඔහු අතින් සිදු වී ඇති බව පෙන්වා දිය යුතුයි."නේෂන්" පුවත්පතේ සහය කර්තෘ "කිත් නොයර්" (ණැසඑය භදහ්යර) 2008 මැයි 23 දා පැහැරගෙන ගොස්‌ ඔහුට වධ හිංසා පමුණුවා පසුව නිදහස්‌ කර හැරීම පිළිබඳ සිද්ධියට සම්බන්ධයෙන් එදා කෙලින්ම ඇඟිල්ල දික්‌ කළේ යුද්ධ හමුදාව දෙසටයි. එදා අරලියගහ මන්දිරයේදී එනම් 2008 මැයි 28 වෙනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී "නේෂන්" පුවත්පතේ කර්තෘව සිටි ලලිත් අලහකෝන් ජනාධිපතිවරයා හමුවේ නොපැකිලව කියා සිටියේ, එම පැහැරගැනීම සිදුවී දින කිහිපයකට පසු නේෂන් පුවත්පතේ කාර්යාලය ඉදිරිපිට යුද්ධ හමුදා වාහන කීපයක්‌ ගැවසෙනු දුටු බවත් ඔවුන් පැමිණ ඇත්තේ මාධ්‍යවේදීන් දඩයමකට විය හැකි බවත්, "සෙන්පති" නමැති අන්වර්ත නාමයෙන් නේෂන් පුවත්පතට තීරුවක්‌ ලියූ "නොයර්" ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් විවේචනයෙහි යෙදුන බව කවුරුත් දන්නා කරුණක්‌.

යුද්ධ හමුදාව සහ මාධ්‍යකරුවන්ට එරෙහිව එදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ එපමණයි.පසුගිය මාධ්‍ය සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා කියූ එක්‌ වැදගත් ප්‍රකාශයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ දුර්මුඛ කිරීමට හේතුවන්නට ඇති. ඔහු බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සිය අදහස්‌ ප්‍රකාශ කරමින් කියා සිටියේ එම බලය බෙදාහැරීම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගෙනයැමට තමා සූදානම් වන බවයි. එහෙත් සියලු දෙනා දන්නා පරිදි 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ජනතා විමුක්‌ති පෙරමුණට "වහකදුරු" වගෙයි. එම තත්ත්වය තුළ තමන් සහාය පළ කෙරෙනා සරත් ෆොන්සේකා ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ ඉහත සඳහන් ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය කෙබඳුද යන්න දැනගැනීම මුළු රටටම අවශ්‍ය කරුණක්‌ බව සඳහන් කළ යුතු වෙනවා.


රනිල් වික්‍රමසිංහට විධායක අගමැති තනතුර ලබාදීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ඇතිකරගෙන තිබෙන එකඟත්වය සම්බන්ධයෙන් සිය මාධ්‍ය සාකච්ඡාවේදී යමක්‌ සඳහන් නොකිරීමට සරත් ෆොන්සේකා වගබලාගත්තේ ජනතා විමුක්‌ති පෙරමුණට ඉන් ඇතිවිය හැකි අසීරුතාව මඟහරවා ගැනීමටයි. රනිල් වික්‍රමසිංහ "සුධරෝලි" පුවත්පතට මෑතදී දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමන් විධායක අගමැතිවරයා ලෙස පත්කිරීමේ කොන්දේසිය මත එක්‌සත් ජාතික පක්‍ෂයේ සහාය ලබාදෙන බවයි. කෙසේ වෙතත් රතු සහෝදරයන්ගේ සුපිරි වීරයා බවට පත්ව සිටින සරත් ෆොන්සේකාත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නමැති ගොහොරු මඩේ එරී සිටින බව නම් සඳහන් කළ යුතුයි.සරත් ෆොන්සේකා සිය ජනාධිපති අපේක්‍ෂකත්වය ප්‍රකාශ කිරීම සඳහා සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවට අඩුපාඩුවකින් තොරව සංවිධානය කිරීමට සමත් වුවත් මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට ඔවුන් ඒත්තුගන්වන ආකාරයේ පිළිතුරු සැපයීම සඳහා ඔහුට හැකිවූයේද යන්න සැකසහිත බව සඳහන් කළ යුතුයි.

No comments:

Post a Comment