Wednesday 16 December 2009

ෆොන්සේකා ආවොත් හමුදාවට දෙවි පිහිටයි

අධිනීතිඥ ගෝමින් දයාසිරි -සාකච්ඡා කළේ උදිත ගුණවර්ධන -දිනමිණ

අධිනීතිඥ ගෝමින් දයාසිරි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥවරයෙකි. ලංකාවේ පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යවස්ථා සහ නීති ක්‍රම හදාරා ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකි. විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ගෝමින් දයාසිරි පැවසූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිනි.යුද විරුවෙක් පරාජයේ සංකේතයක් බවට පත්ව සිටී. යටත්වීමට පැමිණි ත්‍රස්තවාදීන් යුද හමුදාව විසින් මරා දැමූ බවට සරත් ෆොන්සේකා චෝදනා කරන්නේ මන්ද? ඔහු තමන්ම නිගාවට පත්කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වනවාද? සත්‍ය හෝ මනඞකල්පිත වූවත්, විශ්‍රාම ලද හමුදාපති යුද අපරාධ කළ බවට චෝදනා කරන්නේ ඔහුගේ අණසක යටතේ වූ තම යුද හමුදාවටයි. නාමයෝජනා බාරදීමට පෙරම ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් නුසුදුසු බව ෆොන්සේකා විසින්ම පෙන්වාදෙන හැඩයි.


ජනාධිපතිවරයා වුවහොත් ඔහු තමන්ගේ යුද හමුදාව යුද අපරාධ කළ බවට තොරතුරු හෙළිදරව් කරන්නෙක් වේවිද? ඔහු විසින් කළ හෙළිදරව් කිරීම මත, තම හමුදාවට එරෙහිව කරුණු කීමට ඔහු ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත කැඳවීමට ඉඩ තිබේ.

සැබවින්ම ඔහු තම සගයන්ට විරුද්ධව සාක්ෂි සපයන්නෙකි. ඔහු එක් අතකින් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා කරන අය වෙනුවෙන් අපූරු සාක්ෂිකරුවෙක්. අනික් අතින් ඔහු වගකිව යුතු දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටින විධායක ජනාධිපති අපේක්ෂකයෙක්.


මෙයින් පිළිබිඹු වන්නේ, ෆොන්සේකා දේශපාලනික වශයෙන් මුහුකුරා නොගිය කෙනෙකු බවටත් වඩා ඔබ්බට ගිය කෙනෙක් බවකි. ඔහුගේ හෙළිදරව්ව වඩාත් සමීප වන්නේ බාලාපරාධයකටයි.


දේශපාලන ළදරුවන් තම බුද්ධිමය පරිණතභාවය ඉක්මවා යන උත්තරීතර නිලවලට තරග කිරීමට තීරණය කළවිට, තම නොදැනුවත්කම නිරාවරණය කරයි. එමෙන්ම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරයි.


මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම ගැන නෙජරාල්වරයා මුළු ජීවිත කාලය තුළම පසුතැවිලිවනු නියතයි. දේශීය මෙන්ම විදේශීය බලධාරින් ඉදිරියේ දැන් ඔහුට පිළිතුරු බැඳීමට සිදුවී තිබේ. යුද අපරාධ පිළිබඳ ජිනීවා සම්මුතියට අනුව විමර්ශනයක් කිරීමට තරම් සාක්ෂි දැන් ඔහු අත තිබේ.


දැනටමත් අප රටට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. එම නිසා මෙය ශ්‍රී ලංකාවට සැහැල්ලුවෙන් සැලැකිය හැකි අවස්ථාවක් නොවේ. විශ්‍රාමික සෙන්පති, තම හමුදාවට සහ නිලධාරින්ට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානමින් සිටීද? මඳක් සිතන්න.


රාජ්‍ය නායකයා වීමට ඉඩ ඇති කෙනෙක්, ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ තම හමුදාවන්ට විරුද්ධව සාක්ෂි සපයන වෙනත් රටක් තිබේද? රට බේරා ගැනීමට අපට පිහිට පැතිය හැක්කේ කාගෙන්ද?


මෙවැනි පුද්ගලයෙක්ට තම හමුදාවන්ගේ ප්‍රධාන අණ දෙන නිලධාරියා විය හැකිද? ඔවුන් යුද අපරාධ කළ බවට චෝදනා කරන අතරවාරයේ දී ඔහුට හමුදාවේ ගෞරවය සහ පක්ෂපාති බව ලබාගත හැකිද? මෙය ඔහු පුද්ගලික වාසියක් ලබා ගැනීමට දරන ප්‍රයත්නයක්ද? ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන තුරුම්පුවක්ද? පෞද්ගලික ආරවුලක් නිසා ජනාධිපති අපේක්ෂකයකුට ජාතියේ යහපත පාවාදිය හැකිද? උත්තරීතර නිලයකට මෙවැනි පුද්ගලයෙක් ජනතාව පත්කර ගනීවිද?


එකක් නම් සැබෑ ය. ඔහුගේ අනුග්‍රාහකයන් වන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික වශයෙන් මුහුකුරා නොගිය තැනැත්තෙක් වශයෙන් ඔහුට නිගා කරනු නියතය.


පොදු අපේක්ෂකයා වශයෙන් ඔහු තෝරා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි වනු ඇත. රජය විසින් යුද්ධය මෙහෙය වූ ආකාරය එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අනුමත කරන්නේ නැත.


කෙසේ වෙතත්, යුද්ධයේ දී හමුදාව ඉටුකළ සේවාව ඔවුහු ඉහළින් පිළිගනිති. හමුදාව ත්‍රස්තවාදය තුරන් කිරීම ජනතාව අනුමත කරන නිසා, ඔවුනට කළ හැකි අන් දෙයක් නැත. ජාතික යහපත පිළිබඳ අභියෝගයක් පැනනැගුනහොත්, එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට තම අපේක්ෂකයා ආරක්ෂා කර ගැනීමට අසීරුවනු ඇත.


එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ඒමට අර අඳින සාධාරණ හේතුවක් සොයන අයට මෙය හොඳ අවස්ථාවක්. එක්සත් ජාතික පාක්ෂිකයන් වැඩි වැඩියෙන් ආණ්ඩු පක්ෂයට එකතුවීමට මෙය වාං දොරටු ඇරීමක් වනු නියතයි. සුළු දේශපාලන වාසියක් ලබා ගැනීමට, රටේ ප්‍රතිරූපයට වන කැළල ගැන නොතකා ෆොන්සේකා තම සගයන්ට චෝදනා කරයි. මෙය බොළඳ ක්‍රියාවක්.


තම දේශපාලනික ප්‍රතිවාදීන් කරන හානියට වඩා විශාල හානියක් මෙම සම්මුඛ පරීක්ෂණය නිසා තමන්ට සිදුවූ බව ෆොන්සේකාට සදා සිහිපත් වේවි. මේ නිසා ඔහුට ලැබෙන ඡන්ද හුඟක් අඩුවීමට හේතුවේවි.


ප්‍රබල අවදානයක් යොමුවන කථාවක් පළ කරන මාධ්‍යවේදියෙක් විසින් තම මූලාශ්‍රය සහ එහි අන්තර්ගතයේ රහස්‍ය බව ආරක්ෂා කරගත යුතු බවට බැඳීමක් නැත. කෙසේ වෙතත්, ඒ නිසා රට සහ අදාළ පුද්ගලයාට හානි සිදුවිය හැකියි.


ෆොන්සේකා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇත්තේ මේ ආකාරයේ මාධ්‍ය නිදහසක්ද? යම් නිශ්චිත අවස්ථාවකදී සිදුවූ අතපසු වීමක් නිසා, අතීතයේ දී සිය ධූරය නිසා ලබාගත් කීර්තිය ෆොන්සේකාට අහිමි වී යන්නේ නැත.


කෙසේ වෙතත්, උත්තරීතර ධූරයක් දැරීමට ඇති අයිතිය ඔහුට අහිමිවන්නට එය ප්‍රමාණවත්. ෆොන්සේකා තම ස්ථාවරය වෙනස්කර ඇත්තේ ඔහු දැන් ඇසුරු කරන සගයන් නිසාද?


කෘතවේදී ජාතියක් විසින් ෆොන්සේකාට පිරිනමන ලද ජාතික ගෞරවය ෆොන්සේකාගෙන් ආපසු ගන්නා ලෙස රාජ්‍ය නායකයාගෙන් ඉල්ලා සිටීමේ අයිතිය මහජනතාව සතුයි. යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ශ්‍රී ලංකාව ගෙන යාමට ෆොන්සේකා වගකිව යුතුයි.


එම නිසා, ජාතික වශයෙන් ඔහු අවමානයට පත්වී සිටියි. ෆොන්සේකා වගකිව යුතු මහත්මා ගති ඇති අයෙක් නම්, තමන් යටතේ කටයුතු කළ හමුදාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට බැඳී සිටිය යුතුයි. ෆොන්සේකාගේ අදහස් දැක්වීම, ඔහුගේ දේශපාලන ප්‍රගතිය අඩාල කිරීමට හේතුවක්. එමෙන්ම ඔහු දැරූ ගෞරවාන්විත ධූරය අපකීර්තියට පත්කිරීමක්.


විශ්‍රාම ගත් දා පටන් ෆොන්සේකා ආරක්ෂක ලේකම්ට නොයෙකුªත් අවලාද නඟයි. එම නිසා ෆොන්සේකාගේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවක් ඉස්මතු වී තිබේ. පෞද්ගලික වෛරයකින් තොරව, අදාළ අවස්ථාවේදීම මෙම චෝදනා ඉදිරිපත් කළා නම් ඒවායේ යම් වලංගුවක් තිබෙන්නට පුළුවන්. ඔහුගේ ප්‍රකාශනවල නිරවද්‍යතාව පිළිබඳ හොඳින් පරීක්ෂා කළ යුතු වේ.


ඒවායේ වලංගුභාවය තහවුරු කළ හැක්කේ ඉන් පසුවයි. දේශපාලනික වාසියක් අත්කර ගැනීමට ප්‍රමාද වී මෙවැනි ප්‍රකාශ කිරීම නිසා, ෆොන්සේකා දැන් අඳින්නේ කාටද යන්න බොහෝදෙනා නඟන ප්‍රශ්නයක්.


ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව දියත් කළ යුද මෙහෙයුමේදී ඔහුගේ සමකාලීනයෙක් වූ නාවික හමුදාපතිට ඔහු දිගින් දිගටම සලකන ආකාරය සමකාලීනයන්ට ඔහු සලකන ආකාරය පිළිබඳ හොඳ නිදසුනක්.


තමාට හිතවත් එක්තරා පුවත්පතකට ලබාදුන් එකම සම්මුඛ සාකච්ඡාවෙන්ම ෆොන්සේකා සිය අපේක්ෂකත්වයට හානියක් කරගෙන. මේ නිසා ෆොන්සේකාගේ ඡන්ද තව තවත් අඩුවේවි.


එහෙත්, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ සහ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කිහිපදෙනෙකුගේ ඡන්ද නම් ඔහුට දිනා ගැනීමට හැකිවේවි. මක්නිසාද යත්, යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පෝරකයට යැවීමට ඔහු සාක්ෂිකරුවෙක් වශයෙන් ඉදිරිපත් වී සිටින නිසයි.


ඡන්ද ව්‍යාපාර තුළ ජනාධිපති අපේක්ෂක වශයෙන් තමාට තව තවත් හානිකර ගැනීමට පෙර, ෆොන්සේකා ජනාධිපති මැතිවරණයෙන් ඉල්ලා අස්විය යුතුයි. එපමණක් නොව, ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී, ඔහුට සහාය දෙන පක්ෂවලටත් එමගින් හානි විය හැකියි.


ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ඔහු දිගින් දිගටම හානිකෙරුවොත් ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට උරදෙන ඡන්ද අපේක්ෂකයන්ට සහ ඉදිරි මැතිවරණවලදී තරඟ වැදීමට බලාපොරොත්තු වන අයට ඔහු තර්ජනයක් විය හැකියි.


තම ප්‍රතිවාදීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි හොඳම ප්‍රකාශක ෆොන්සේකායි. තරගකාරී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අප රටට අයිතිවාසිකමක් තිබෙනවා.


තමන්ට සහාය දක්වන පක්ෂපාති අන්ධ ආධාරකරුවන්ගේ යහපත උදෙසා ෆොන්සේකා කට වහගත යුතුයි. එසේ නැතහොත් ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්විය යුතුයි.


රජය සහ ජාති හිතෛෂි නොවන විරුද්ධ පක්ෂය මේ සම්බන්ධයෙන් එකිනෙකාට අසත්‍ය චෝදනා එල්ල කරගනු ඇත. මෙය අපේ හමුදා භටයන් ජාත්‍යන්තර යුද අධිකරණයේ පෝරකයට යැවීමට හොඳ අවස්ථාවක් උදාකර දෙනු ඇත.


කිසිදා සිදුනොකළ යුද අපරාධ සම්බන්ධයෙන් මෙම අසාධාරණ චෝදනා එල්ල වන්නේ අපගේ සැබෑ යුද විරුවන්ටයි.













No comments:

Post a Comment