Sunday 31 January 2010

පරිච්ඡේදයක අවසානය

මහාචාර්ය නලින් ද සිල්වා-දිවයින
තවත් ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවූ නිලවරණයක්‌ අවසන් වී ඇත. මහින්ද රාජපක්‌ෂ මහතා අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත් කරගෙන තවත් අවුරුදු හයක්‌ සඳහා ජනාධිපති ලෙස කටයුතු කිරීමට වරම් ලබා ඇත. එහෙත් තවමත් ජනාධිපතිවරණය පිළිබඳ සියලු කටයුතු අවසන් යෑයි කිව නොහැකිය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙහිදී ජනතාව දී ඇති තීන්දුව නොපිළිගනියි. ඒකාධිපතිවාදී මනසක්‌ ඇති ඔහු ජනතා තීන්දුවක්‌ නොපිළිගැනීම පුදුමයට කරුණක්‌ නොවේ. එහිදී ඔහුට ජ.වි. පෙරමුණේ ද සම්පූර්ණ සහාය ලැබෙනු ඇත. සරත් ෆොන්සේකාටත් ජවිපෙටත් ජනතා තීන්දු යනු තම තමන්ගේ තීන්දු මිස අනෙකක්‌ නොවේ.
ජනාධිපතිවරණයේ දී විපක්‌ෂයට හා අනෙක්‌ විජාතික බලවේගවලට (අනුර දිසානායකගේ දේශපාලන නායකත්වය යටතේ ජවිපෙ ද දැන් විජාතික බලවේගයකි) අරමුණු තුනක්‌ විය. එකක්‌ ඊනියා සාක්‌ෂි එකතු කරගනිමින් මහින්ද රාජපක්‌ෂ, ගෝඨාභය රාජපක්‌ෂ, ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වා මහත්වරුන් ඇතුළු කිහිප දෙනකු යටත් විජිතවාදීන්ගේ යුද්ධාධිකරණ දංගෙඩියට යෑවීමය. දෙවැන්න ජවිපෙ ඔස්‌සේ රටේ අවුල් ඇතිකර හැකිනම් මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්‌වීම හා එසේ වැළැක්‌වීමට නොහැකි වුවහොත් රට අරාජික කිරීමට උත්සහ කිරීමය. ජවිපෙ නායකයකු වූ විජිත හේරත් සහ පිරිසක්‌ ඊනියා ඡන්ද මංකොල්ලයක්‌ වැළැක්‌වීමට යෑයි කියමින් ජනාධිපතිවරණය දිනයේ උතුර බලා ගියේ මෙහි එක්‌ පියවරක්‌ ලෙස බව පැහැදිලිය. තුන්වැනි අරමුණ වූයේ සම්බන්ධන් මාර්ගයෙන් ඊනියා ස්‌වයං නිර්ණ අයිතිය ආදී නන්දිකඩාල් කලපුවේ දී මරා දමනු ලැබූ සංකල්ප නැවතත් ගොඩගැනීම හා ඒ ඔස්‌සේ දෙවැනි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීම ය.



ජනාධිපතිවරණය අවසන් වීමටත් පෙර සිනමන් ලේක්‌සයිඩ් (ට්‍රාන්ස්‌ ඒෂියා) හෝටලයේ කාමර සියයකට පමණ ගිය සරත් ෆොන්සේකා රනිල්, අනුර දිසානායක, සම්බන්ධන්, මංගල, හකීම්, ෆොන්සේකාගේ ඊනියා ආරක්‌ෂක භටයන්, පවුලේ උදවිය ආදිය මේ වන විට ඉන් පිටවී ගොස්‌ය. ඒ අතර සරත් ෆොන්සේකාගේ බිරිතානි ජාතික නිලවරණ උපදේශකයා සිටියේ දැයි දැනගැනීමට නොහැකිය. ඒ කෙසේ වෙතත් මේ හෝටල් කාමරවල සිට සරත් ෆොන්සේකා ලලිත් වීරතුංග මහතාට කතාකර තමාට දිවුරුම් දීමට කටයුතු කරන මෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ඒ නිලවරණ ප්‍රතිඵල නිකුත්වීමටද පෙරය. නිලවරණයෙන් පරාජය වූ බව දැන ගැනීමෙන් පසුව ඇමරිකන් තානාපති කාර්යාලයේ වාහන දෙකක්‌ සරත් ෆොන්සේකා රැගෙන යැමට පැමිණි බවත් හෝටලය වටා රැඳී සිටි ආරක්‌ෂක හමුදා එයට ඉඩ නොදුන් බවත් කියෑවෙයි. නිලවරණයෙන් පසුවදා සරත් ෆොන්සේකාගේ පහරදීමකට ලක්‌වූයේ යෑයි කියන මංගලද, රනිල් ඇතුලු අනෙක්‌ පිරිසද හෝටලයෙන් පිටත්ව ගොස්‌ ඇති නමුත් හිටපු ජෙනරාල්වරයා හෝටලයේම රැඳී සිටිමින් ජනමතය වංචා කිරීම හා ආණ්‌ඩුවේ ඊනියා දූෂණ එම ජීවිතයට ඇති තර්ජන ආදිය ගැන බටහිර ජනමාධ්‍යවලට ප්‍රකාශ කරමින් තවදුරටත් තම පළිගැනීමේ දේශපාලනයෙහි නිරත වී ඇත. අද ඔහුට රනිල් ඇතුලු පිරිස නැත. රනිල් ජනාධිපතිවරණය සාධාරණ බවට ප්‍රකාශයක්‌ නිකුත් කර ඇත. සරත් ෆොන්සේකාගෙන් අද තවදුරටත් ප්‍රයෝජනයක්‌ ඇත්තේ බටහිර යටත්විජිතවාදීන්ට හා ජවිපෙට පමණය. බටහිරයන් මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුලු පිරිස දංගෙඩියට දැක්‌කීමට ෆොන්සේකා යොදාගනු ඇත.


දහඅට ලක්‌ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මහින්ද රාජපක්‌ෂ මහතා ජයග්‍රහණය කර තිබියදී ජවිපෙ සෙල්ලම්වලට වුවද ජනතාවගෙන් ඉඩක්‌ නොලැබෙයි. අනුර දිසානයක, ටිල්වින්, සෝමවංස (සෝමහංස), විජිත හේරත් නායකත්වයට පින් සිදුවන්නට ජවිපෙ මුළුමණින්ම මෙන් කඩාවැටී ඇත. ජවිපෙ දැනටමත් තවත් ත්‍රිරෝද පක්‌ෂයක්‌ බවට පත්වී ඇත. ජාතිකත්වයෙන් ඊනියා මාක්‌ස්‌වාදී ජාත්‍යන්තර දේශපාලනයට දෝලනය වූ ජවිපෙ ට අද ලයනල් බෝපගේ ම පිහිටය. ජ.වි. පෙරමුණේ වෛරී දේශපාලනයට තවදුරටත් මෙරට දේශපාලනයේ ඉඩක්‌ නැත. මෙරට විශ්වවිද්‍යාලවලින්ද, ජවිපෙ මුළුමණින්ම අතුගෑවී යන දිනය වැඩි ඈතක නොවෙයි. අද කඩා වැටී ඇත්තේ විජාතික බලවේගයක්‌ වූ ජවිපෙ පමණක්‌ නොවේ. අනෙක්‌ විජාතික බලවේගවලට ද අද මෙරට දේශපාලනයෙහි තැනක්‌ නැත. ඔවුන් පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන්ගේ මුදලිනි. පසුගිය අවුරුදු සියයක පමණ කාලයක ජාතිකත්වය මෙතරම් ශක්‌තිමත් වූ කාල පරිච්ඡේදයක්‌ තිබී නැත. පනස්‌හයේ දී පවා ජාතිකත්වයට බලයක්‌ තිබුණේ සුළු කාලයකට පමණ ය. පනස්‌නවයේදී බණ්‌ඩාරනායක මහතා ඝාතනය කරනු ලැබිණි. එහෙත් දෙදහස්‌පහේ දී බලයට පත්වූ ජාතික බලවේග දෙදහස්‌ දහයේදී තවත් ශක්‌තිමත් වී ඇත.


මේ ජනාධිපතිවරණයේ දී ජාතික බලවේග දුර්වල කිරීමට යොදා ගැණුනේ කටකතා හා මඩ ප්‍රචාර ය. එහෙත් ඒ එකක්‌වත් සාර්ථක වී නැති බව පැහැදිලිය. තරගය කරට කර බවත්, මහින්ද රාජපක්‌ෂ මහතා පරාජය වනු ඇති බවත් ප්‍රචාරය කෙරිණි. ආණ්‌ඩුවේ දූෂණ හේතු කොටගෙන බොහෝ ශ්‍රි.ල.නි. පාක්‌ෂිකයන්ද දූෂණයන් තොර සරත් ෆොන්සේකා ට ඡන්දය දෙනු ඇති බව ඇසෙන්නට විය. සරත් ෆොන්සේකා ඉදිරිපත් කරනු ලැබූයේ ද ඔහු "යුද්ධය" හා සම්බන්ධ වූ බැවින්ය. නැතහොත් පොදු අපේක්‌ෂකයා වීමට සිටියේ සරත් සිල්වාය. විපක්‌ෂයට සිටි හොඳම අපෙක්‌ෂකයා සරත් ෆොන්සේකා විය. බොහෝ දෙනා දෙදහස්‌ පහේදී රනිල් ගත් ප්‍රතිශතය මෙවර සරත් ෆොන්සේකා නොගත් බව පෙන්වා දෙති. එහෙත් ඔවුන් අමතක කරන කරුණ නම් යුද්ධයට පරිභව කළ රනිල් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී නම් ඔහුට සිංහලයන් බහුතරය වූ මැතිවරණ බල ප්‍රදේශවලින් සියයට විසිපහක්‌වත් ඡන්ද නොලැබෙන බවය. පළාත් සභා මැතිවරණවලින් පැහැදිලි වූයේ ඒ බවය. සරත් ෆොන්සේකාට ඇටුවන් බෑ එ.ජා.පාක්‌ෂිකයන් හා මහා පරිමාණ


රැස්‌වීම්වල එකම ආකාරයේ රතු සහ කොළ කොඩි වැනූ ජ.විෙ.ප. තරුණයන් හැරුණු විට ඔහු යුද්ධයට සම්බන්ධ වූ බැවින් ඡන්දය දුන් සිංහලයෝ සුළු පිsරිසක්‌ද වූහ.


කෙසේ වෙතත් සරත් ෆොන්සේකා තරගයෙහි කරට කර සිටින බව නාගරික ශ්‍රි.ල.නි. පාක්‌ෂිකයන් ද විශ්වාස කළහ. ඇතැම්හු විශේෂයෙන්ම ජෙහාන් පෙරේරා ෆිලිප් රාජන්ස්‌ වැනි ඉංගිරිසි පත්තරවලට ලියන අය සරත් ෆොන්සේකා දිනන බවක්‌ ඇඟවීමට උත්සාහ කළහ. සරත් ෆොන්සේකා දිනුවහොත් බලය මාරුවිය යුත්තේ කෙසේද යනුවෙන් සාකච්ඡා කළ අයද සිටියහ.


එහෙත් ඡන්දදායකයෝ මේ සියල්ල බොරු කළහ. සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්, බහුතරය වූ ප්‍රදේශවල මහින්ද රාජපක්‌ෂ මහතාට තරගයක්‌ නැතිවිය. සමස්‌තයක්‌ ලෙස ගත්කල සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැත්තෑවකට වඩා මහින්ද රාජපක්‌ෂ මහතාට ඡන්දය දී ඇති බව දළ වශයෙන් කිව හැකිය. අද මෙරට ඡන්දදායකයන්ගේ සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක්‌ සිංහලයන් බව අමතක නොකළ යුතුය. සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කෙරුණේ "යුද්ධයට" ඔහුගේ ඇති සම්බන්ධතාව නිසාය. එමෙන්ම ඔහුට ඡන්දය දුන් පිsරිසෙන් යම් ප්‍රමාණයක්‌ "යුද්ධය" අනුමත කරති. එබැවින් ඉතා පැහැදිලි කරුන නම් සිංහලයන්ගෙන් අති විශාල බහුතරය "යුද්ධය" අනුමත කරන බවය. ජනාධිපතිවරණයේ දී තවත් වැදගත් කරුණක්‌ සිදු විය. එනම් නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනිකව හා යුදමය වශයෙන් මරා දමනු ලැබූ ස්‌වයං නිර්ණ අයිතිය නිජභූමිය ආදී සංකල්ප නැවතත් ගොඩගැනීමට නොහැකි වන අයුරින් ආදාහනය කිරීමය. කිසිවකටවත් මේ සංකල්ප මරණයෙන් නැගිට්‌ට විය හැකි නොවේ. මේ සංකල්ප හා දෙමළ ත්‍රස්‌තවාදය න්‍යායිකව පරාජය කෙරී බොහෝ කල්ගත වූවත් දේශපාලනිකව හා යුදමය වශයෙන් පරාජය කෙරුණේ (මරාදමනු ලැබූයේ) නන්දිකඩාල් කලපුවෙහිදීය. ජනාධිපතිවරණයෙහි දී ඒ සංකල්ප ආදාහනය කෙරුණේ දෙමළ බෙදුම්වාදය ද සමගිනි. අද අපට තවමත් දේශපාලන වශයෙන් පරාජය කිරීමට ඇත්තේ දෙමළ ජාතිවාදය පමණකි. (දෙමළ ජාතිවාදය ද න්‍යායිකව පරාජය කෙරී බොහෝ කල්ය.)


ජනාධිපතිවරණ ව්‍යාපාරයෙහි එක්‌ අවස්‌ථාවක මේ සංකල්ප ගැන කතා කරමින් ජනාධිපතිතුමා කීවේ දැන් ඒ පරිච්ඡේදය අවසන් බවය. දෙමළ ජාතිවාදය පරාජය කිරීමේදී බාධකයක්‌ ලෙස ඇත්තේ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය යොදා ගන්නා බටහිරයන්ය. එහෙත් ඒ පරාජය කිරීමට අපට හැකිය. මෙරට දෙමළ ජාතිවාදය ඇතිකර පෝෂණය කළේ බටහිරයෝය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණයක්‌ නැත. ඉංගිරිසි උගත් දෙමළ ජනයාට හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක්‌ නැතිවීම ඊනියා අසාධාරණයක්‌ ලෙස සැලකෙයි. ප්‍රභාකරන් ඇතුළු ඉංගිරිසි නූගත් දෙමළ තරුණයන් පසු කලෙක සටන් කළේ මේ ඉංගිරිසි උගතුන් වෙනුවෙනි. අද ඒ ඉංගිරිසි උගත්තු බටහිර රටවල විසිරී සිටිති. අද අප කළ යුත්තේ ඉංගිරිසි උගත් දෙමළ ජනයා මේ විසිරුණු ඉංගිරිසි උගතුන් ගෙන් හා බටහිරයන් ගෙන් මුදා ගැනීමය. එහිදී උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනයටද වඩා වැදගත් වන්නේ ඔවුන්ට මෙරට ඉතිහාසය ඉගැන්වීමය. දෙමළ ජනයා අද නැවතත් කල්පනා කළ යුතුය. අපේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක්‌ ලිවිය යුතු දිනය එළඹී ඇත. එහිදී සිංහල බෞද්ධ සංස්‌කෘතිය මෙරට විශේෂිත සංස්‌කෘතිය බව පිළිගැනීම තම සංස්‌කෘතික අනන්‍යතාවට පහරක්‌ නොවන බව දෙමළ ජනයාට තේරුම් කළ යුතුය.

No comments:

Post a Comment