Monday 1 February 2010

කට කතා පරදවා සත්‍ය ජයග්‍රහණය කර වූ වගයි

මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ-දිනමිණ
2010 ජනවාරි 26 දින පැවති ජනාධිපතිවරණයට දින නියම වීමත් සමඟ ම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එතුමාගේ දරුවන්, සහෝදරයන් හා ඥාතින් සම්බන්ධයෙන් රට තුළ විවිධ කට කතා ශීඝ්‍රයෙන් සංවිධානාත්මක ලෙස ප්‍රචාරය විය.

2005 වර්ෂයේ දී ජනාධිපති පදවියට පත් මහින්ද රාජපක්ෂ මහතා තවත් දෙවසරක පාලන කාලය ඉතිරිව තිබිය දී යළිත් ජනමතය විමසා බැලීම සඳහා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ ඒ වනවිට රට තුළ තිස් වසරක් පුරා ක්‍රියාත්මක වූ කුරිරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුළුමනින් ම විනාශයට පත් කළ පසුව යි. මේ රටේ සියලු දෙනා තුළ මරණය කොයි මොහොතේ කොතැනක දී කවර ආකාරයකින් උරුම වේ දැයි කිව නොහැකි, සිතිය නොහැකි තරම් අවිනිශ්චිත බවක් ඇති වී තිබුණි. ඒ වනවිටත් දහස් ගණන් ජීවිත මෙන් ම මිල කළ නොහැකි තරමට රාජ්‍ය හා පෞද්ගලික දේපළ විනාශ වී තිබුණි.


2005 බලයට පත් මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට දුන් ප්‍රධානතම පොරොන්දුව වූයේ ත්‍රස්තවාදය මුලිනුපුටා සාමය ඇති කරන බව යි. පොරොන්දු වූ පරිදි ම ජනාධිපතිතුමා රට තුළ ත්‍රස්තවාදය විනාශ කිරීමට ඇරැඹි මානුෂික මෙහෙයුම නන්දිකඩාල් කළපුවෙන් අවසන් කිරීමට හැකිවූයේ වසර තුන හමාරක් වැනි කෙටි කලකිනි


ලොව භයානක ම ත්‍රස්ත කණ්ඩායම මෙලෙස විනාශ කර දැමීමට මෙවන් සුළු කලකින් හැකි වූ ප්‍රධාන කරුණක් නම් ජනාධිපති මෙන් ම සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දුරදක්නා තියුණු දේශපාලන නුවණ යි. එමෙන් ම ත්‍රිවිධ හමුදාව ප්‍රධාන සකල ආරක්ෂක බලමුළුවල අභීත අවංක කැපවීම යි.



මොවුන් එදා අප රට නිදහස් කර දුන් නිසා ජාති ආගම් භේදයෙන් තොර ව සියලු දෙනා ත්‍රස්තවාදයේ අවසානය ඇසීමත් සමඟ ම ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. උත්සව පැවැත්වූහ. මහමඟ කැවුම් කොකිස් සකස් කොට දන්සල් පැවැත්වූහ.


මෙරට ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ පුවත දේශීය හා විදේශීය බලවේගවලට නම් අශුභ ආරංචියක් විය. එකී යුද්ධය පැවති කාලයේ පවා ජාතිද්‍රෝහි දේශීය හා විදේශීය අධිරාජ්‍යවාදීහු ලක් රජය අකර්මණ්‍ය කිරීමට විවිධ උපාය උපක්‍රම යෙදූහ. ඒ අතර කට කතා ද ප්‍රබල උපායක් විය.


දේශීය ජනයා පවා නොමඟ යැවීමට තරම් ප්‍රබල එකී කට කතා නිර්මාණය කළ වුන් අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂ දේශපාලකයෝ ද වූහ. එහෙයින් රටේ ජනතාව තුළ සත්‍යය අවබෝධ කොට දී යුද්ධය ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපතිතුමාට බොහෝ වෑයමක් දැරීමට සිදුවිය.


එවැනි ප්‍රබල බාධක හමුවේ නවීන යුද අවි ගෙන්වා එමගින් ප්‍රබල කොටි ත්‍රස්තවාදීහු ද පරාජය කරන ලදහ. මේ නිසා ම ජනපති මහින්ද රාජපක්ෂ මහතා පුරාණ ලංකාවේ විජාතික බලවේග මුළුමනින් දුරලා රට එක් සේසත් කළ දුටුගැමුණු පරාක්‍රමබාහු වැනි රජවරුන්ගේ තත්ත්වයෙහි ලා ගෞරව කරන්නට ජනතාව නිරායාසයෙන් ම පෙලඹුණහ. එසේ සලකන්නට ද වූහ. ඒ අන් කරුණක් නිසා නොව රට තිරසාර සාමයෙන් යුතුව දිගු කලක් පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් යොදා තිබූ හෙයිනි.

දෙවැනි වරට ජනාධිපති තරගයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමත් සමඟ ඔහුට එරෙහි ව යළි කටකතා නිර්මාණය ශීඝ්‍රයෙන් වර්ධනය වී රට පුරා පැතිරී ගියේය. බොහෝ ජනයා ඒවා අසා මවිත වූහ. සොයා බැලිය යුතු යැයි කීහ.


කිසිසේත් එසේ විය නොහැකි යැයි තර්ක කළහ. ඒවා පිළිබඳ අහිංසක ජනයා තව තව අයගෙන් ඇසූහ. කිසිවක් කරකියා ගත නොහැකි තැන නිහඬ වූහ. ජනපතිවරණය සඳහා දින නියම වූ දා සිට යළිත් නැවුම් මුහුණුවරක් ගත් එකී කටකතා ජනාධිපතිතුමා හා ඔහුගේ ඥාතීන් සම්බන්ධ දූෂණ ලෙසින් කිසිදු අයුරකින් තහවුරු කළ නොහැකි, සාධකයකින් තොර ව ඉදිරිපත් වීම නිසා ජනයා ඒවා විශ්වාස කළේ නැත.


ඊට හේතුව දේශීය හා විදේශීය ජාතිද්‍රෝහී බලවේග ජනාධිපතිතුමාට එරෙහි ව එල්ල කරන කටකතා සහ ඔවුන් නියෝජනය කරන ලද දේශපාලන කණ්ඩායම් පිළිබඳ ජනතාවට මනා අවබෝධයක් තිබීම යි.


කොටින් විනාශයට පත් කළ යුද්ධයේ ගෞරවය ජනාධිපතිතුමාගෙන් ඉවත් කොට අන් අයෙකුට ආරෝපණය කොට දී ජනහදවත් තුළ ජනපති කෙරෙහි පවතින ජනප්‍රසාදය ඉවත් කිරීමට උත්සාහ කළත් ලක්වැසි ජනයා මුලාවට පත් නොවූහ. ශ්‍රී ලංකාවාසීන්ට අද නිදහසේ මේ රටේ ඕනෑ ම තැනක ඕනෑ ම වේලාවක මරබියෙන් තොර ව යෑම් ඊම් කළ හැක්කේ ත්‍රස්තවාදී උවදුර ඉවත් වී තිබීමෙනි.


ඒ තත්ත්වය උදාකරන ලද ජනාධිපතිතුමා කෙරෙහි එකිනෙකා නිර්මාණය කළ සත්‍යයෙන් තොර අසත්‍යයෙන් පිරුණු ද්වේෂ සහගත කටකතා නොසලකා ශ්‍රී ලංකාවාසී ජාති හිතෛෂී බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් ජනාධිපති බවට පත් කරන ලද්දේ පළමුවර ලබාගත් ඡන්දවලට වඩා වැඩි ප්‍රතිශතයක්ද සහිතව යි.


මේ ප්‍රතිඵලයෙන් අපට කටකතා නිර්මාපකයන්ගේ ඡන්ද පදනම ද වටහා ගැනීම ඉතා පහසු විය. 2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා තනි ව එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට ලක්ෂ 46ක් පමණ ඡන්ද ලබා ගති.


ඒ අවස්ථාවේ උතුරු නැඟෙනහිර කිසිවෙක් ඡන්දය පාවිච්චි නොකළහ. මෙවර අලුතින් ඡන්ද දායකයින් විශාල ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කිරීමට වරම් ලබා තිබුණි. එසේ ම එක්සත් ජාතික පක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තවත් විපක්ෂයේ පක්ෂ කීපයක් ප්‍රමුඛ ව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කොට ලබාගෙන ඇත්තේ ඡන්ද හතළිස් එක් ලක්ෂයක් පමණි.


එහි දී මහින්ද රාජපක්ෂ මහතා සමඟ තරග කිරීමට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිතුමා යුද්ධය විකුණාගෙන කනවා යැයි චෝදනා කොට යළි එයට ඉඩ නොතැබීමට සමත් අයෙකු ලෙස සැලකූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ය.


එහෙත් විපක්ෂය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කරන ලද එකී චෝදනා නිෂ්ප්‍රභ වූ බව සරත් ෆොන්සේකා මහතා පරාජය වීමෙන් ම තහවුරු වේ.


මේ සියල්ල තුළ අන්තර්ගත වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව කළගුණ හඳුනන ජනතාවක් බව යි. ඒ නිසා අකෘතඥ නිලධාරියෙකුට හෝ වෙනත් ඕනෑ ම කෙනෙකුට හදවතට එරෙහි ව යමින් පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට යෑමෙන් සිදුවූයේ සදාකාලික ව හිමිවීමට තිබූ කීර්තිය, ගෞරවය අහිමි වීම යි. ජනපතිවරණය අවසන් වූ පසුද තම පරාජය පිළිගැනීමට අකමැති විපක්ෂයේ ඇතැම් අය විවිධ කටකතා පතුරුවා හැරියහ.


දේශීය හා විදේශීය කුමන්ත්‍රණවලින් දෙවැනි වරටත් රට ආරක්ෂා කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කර වූ සත්පුරුෂ කෘතවේදී ශ්‍රී ලංකාවාසී ජනතාවට සුබ අනාගතයක් සැබවින්ම ඇති කිරීමට නව ජනාධිපතිතුමාට ආයුෂ, ශක්තිය, බලය, ප්‍රඥාව තව තවත් ලැබීමට තෙරුවන්ගෙන් හා දෙවියන්ගේ් ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

No comments:

Post a Comment