Thursday 25 February 2010

කිරි අප්පොච්චිගේ අවවාද (වැඩිහිටියන්ට පමණයි)

දිවයින කතුවැකිය
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ය. අප බ්ලේක්‌ට මී මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස්‌ මෙසේ ය* ජෙනරාල් අත්අඩංගුවට ගත් ආකාරය ගැන ඇමරිකාව තුළ ප්‍රසාදයක්‌ නැත.

* ජෙනරාල්ට විරුද්ධව ඇති චෝදනා ලක්‌ රජය විසින් වහා ප්‍රකාශයට පත් කළ යුතු ය.
* ජෙනරාල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ යුද නීතියට අනුව නොව සිවිල් නීතියට අනුව ය.
* ඉතිරිව සිටින ලක්‍ෂයක්‌ වූ යුද අනාථයන් වහා ඔවුන්ගේ ගම් බිම් බලා යෑවිය යුතු ය.
* ජාතික සමගිය ඇති කිරීම සඳහාත්, බලය බෙදාහැරීම සඳහාත් රජය කටයුතු කළ යුතු ය.
* යුද්ධයේදී මිනිස්‌ අයිතීන් උල්ලංඝනය වූයේ ද යන්නත්, යුද අපරාධ සිදුවේද යන්නත් සොයා බැලිය යුතු ය.
ඉහත සඳහන් කරුණු කියවන අපට නැගෙන මතකයක්‌ තිබේ. ඒ වූ කලී ජෙනරාල්ගේ බෑණාගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය භාරයේ තිබූ සල්ලි සේප්පුව තුළ වූ ඇමරිකන් ඩොලර් පන්ලක්‍ෂ හැත්තෑපන්දාහයි. ඒවා අලුත් ම අලුත් ඇමරිකන් ඩොලර් ය. ඒ සිද්ධිය අමතක කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන නමුදු ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක්‌ දකින හැම විටකම අපට සිහි වන්නේ එම පුවත ය. එය බ්ලේක්‌ට හෝ මේ කතාවට සම්බන්ධ නැත.
ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට බ්ලේක්‌ තරම් අත පෙවූ වෙනත් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු නැති තරම් ය. ඔහු තානාපති කම හැරුනු විට අනෙක්‌ හැම දෙයක්‌ ම කළේ ය. මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් මැදිහත්කරුවකු වීමට උත්සාහ කළේ ය. ආසියානු මහාද්වීපයේ පිහිටි මර්මස්‌ථානයක්‌ වූ ශ්‍රී ලංකාව පාලනය කිරීමට ඔහු දැරූ උත්සාහයට ගරු කිරීමක්‌ වශයෙන් දෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු සහ මධ්‍යම ආසියාව භාර රාජ්‍ය ලේකම් ලෙස ඔහුට උසස්‌වීමක්‌ දුන්නේය. එම තනතුරේ හිඳිමින් ඔහු බී.බී. සී. ගුවන් විදුලියට දුන් පෙර කී උපදෙස්‌ ඉන්දියාවේ හින්දු පත්‍රයේ වෙබ් අඩවියේ පළවී තිබේ.
බ්‍රිතාන්‍යය විසින් ලංකාව හා ඉන්දියාව පාලනය කළ කාලයේදී මහ රැජනගේ නියෝජිතයා හෙවත් යුව රජ වූයේ ලුවී මවුන්ට්‌ බැටන් ය. අධිරාජ්‍යවාදයේ පාරම්පරික හවුල්කරුවකු වූ මවුන්ට්‌ බැටන් පවා රොබට්‌ බ්ලේක්‌ ආකාරයෙන් ලංකාව සම්බන්ධයෙන් හැසිරී නැත. ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව මොනවා සිතුවත් අපට මොකද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක සැකකරු වූ ඔහු, ඔහුට හිමි විය යුතු සැලකිලිවලටත් වඩා බොහෝ ඉහළින් සළකා අත්අඩංගුවට ගන්නා ලදී. රොබට්‌ බ්ලේක්‌ බලාපොරොත්තු වන්නේ ජෙනරාල් සුවඳ පැනින් නහවා, දෝලාවක තබාගෙන යැමද? අනෙක ජෙනරාල්ට විරුද්ධව කටයුතු කරන්නේ යුද නීතිය යටතේ ද, නැතහොත් සිවිල් නීතිය යටතේ ද යන්න තීරණය කරන්නේ බ්ලේක්‌ නොව මේ රටේ ජනයා ඡන්දයෙන් පත් කළ ආණ්‌ඩුව ය. ඇමරිකාව බෝම්බ දමා ඇෆ්ගනිස්‌ථානය විනාශ කළේ ය. ඉරාකය කුඩුපට්‌ටම් කළේය. ඉරාකයට සහ උතුරු කොරියාවට චෞර රාජ්‍ය යන හංවඩුව ගැසුවේ ය. සදාම් හුසේන් එල්ලා මැරීම සඳහා තොන්ඩුව සාදන ලද්දේ ඇමරිකාව ය. එල්ලුම් ගසේ ලීවරය ක්‍රියාත්මක කළේ ඉරාක ජාතිකයකු වුව ද එම අළුගෝසුවාගේ අත ඇමරිකන් රූකඩ අතකි. යම් හෙයකින් ඇමරිකාව ඔසාමා බින් ලාදින් අල්ලා ගතහොත් ඔහු සුවඳ පැනින් නහවා දෝලාවක තබාගෙන ධවල මන්දිරයට ගෙන ගොස්‌ සිවිල් නීතියට අනුව නඩු අසා නිදහස්‌ කරන ලෙස අපි ඇමරිකාවෙන් ඉල්ලමු.
ජාතික සමගිය ඇති කිරීම බලය බෙදා හැරීම යන කාරණා අපට අදාළ අභ්‍යන්තර ප්‍රශ්න ය. යුද අපරාධ සිදුවීද යන්න ගැන ඇමරිකාව උනන්දු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ දේශානුරාගයටත් මහින්ද රාජපක්‍ෂගේ ජාති මාමකත්වයටත් පහර ගැසීම සඳහා ය. රාජපක්‍ෂවරුන් යුද අපරාධ පිළිබඳ විත්ති කූඩුවට ගෙන යන්නේ නම් ඊට කලින් එහි යෑවිය යුතු මහතෙකු ඇත. ඒ ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ඡ් බුෂ් ය.

No comments:

Post a Comment