Thursday 25 February 2010

මහා මැතිවරණය හා මෙරට ජනතා ප්‍රශ්න

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
මෙරට ජනතාව ප්‍රශ්න ගනනාවකට මැදිව සිටී. දේශපාලකයින්ට පමණක් විසදිය හැකි ප්‍රශ්න හා ජනතාව විසදිය යුතු, නමුත් දේශපාලකයින් මත පටවා ඇති ප්‍රශ්න කන්දරාවක්ද මෙරට තුල ඔඩුදුවමින් පවතී. මහා මැතිවරණයකට අවතීර්ණව සිටින මේ වකවානුවේදී අප මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් සම්බන්ධව සමාජයේ අවධානය යොමුකරවීම මෙම ලිපියේ අරමුණයි.තාක්ෂණික දියුණුව මිනිසාට හොද සමාජ තත්වයක් උරුම කිරීම සදහා පාදක කර ගතයුතු වුවද, ශ්‍රී ලංකාව තුලදී එය ශ්‍රී ලාංකිකයාට දෛනිකව විදවීමට උපකාර කරන මෙවලමක් බවට පත්ව තිබේ. මෙරට ජනතාව තමන්ගේම ගෙදරදීම, තමන්ගේ වියදමින් ගොඩනගා ගත් සමාජ පීඩක යන්ත්‍රය රූපවාහිනී යන්ත්‍රය බවට පත්ව ඇත. මෙම සමාජ පීඩක යන්ත්‍රය පෞද්ගලිකව මිනිසාත්, පොදුවේ සමාජයත් විනාශ කරන ආකාරය මෙරට ජීවත් වන අය සාකච්ඡාවට ගත යුතු ප්‍රබල මාතෘකාවකි.

රූපවාහිනී ප්‍රේක්ෂකයා අරමුණු කරගෙන රූපවාහීනී ආයතන රාශියක් මෙරට තුල බිහි කර ඇත. අරමුණ රූපවාහිනී ප්‍රේක්ෂකයා හා ඔහුට ඇවැසි දෑ ලබාදීම වුවද, ඔහුට ඇවැසි දෑ ලබා ගැනීමට මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයා කරන අරගලය සැබෑ ලෙසම කනගාටුදායක කර්තව්‍යයකි.
මේ සම්බන්ධව ඉතා හොදින් සාකච්ඡා කල හැකි මධ්‍යස්ථානය Lankaweb යනු මාගේ විශ්වාශයයි. මෙම මධ්‍යස්ථානය හා බද්ධව සිටින බහුතරය විවිධ රටවල ජීවත්ව සිටින හා සිටිය ජනතාවයි. ඔවුන් තුල ඒ ඒ රටවල රූපවාහිනී නාලිකා ක්‍රියාකරන ආකාරය සම්බන්ධව මනා අවබෝධයක් ඇත. මේ සෑම දෙනාගේම මෙම විෂය සම්බන්ධව ඇති දැනුමේ සම්පිණ්ඩනය හා සසදමින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතන වල ක්‍රියාකාරිත්වය කෙසේදැයි බැලීම ඉතාම වටිනා කාර්යයකි.
උදාහරණයක් වශයෙන්දකුණු අප්‍රිකානු රූපවාහිනී නාලිකාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධව අවබෝධයක් ඇති අයෙක් මෙරට රූපවාහිනී නාලිකා මෙරට ප්‍රේක්ෂකයින්ට සලකන ආකාරය දැක කම්පාවට පත්වේ. ඒ කම්පාව අප තුලද තිබේ. එරට ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට රූපවාහිනී යන්ත්‍රය ඉදිරියේ වාඩිවෙන ප්‍රේක්ෂකයාට සම්පූර්ණම ක්‍රිකට් තරගා වලිය හා විස්තර ප්‍රචාරකයන්යේ සෑම වදනකටම සවන්දීමේ අවස්ථාව හිමිවේ. වෙළද දැන්වීම් ප්‍රචාරය කරනුයේ තරගයට පෙර හා බීම හා කෑම විවේකයන් හිදී පමණී. එරට ජනතාවට මුලු ක්‍රිකට් තරගයම වින්දනයක් ගෙන දෙද්දී, මෙරට ජනතාවට එම තරගය නරඹන කාල අන්තරය තුලදී, මානසිකව වද බන්ධන පමුණුවමින් මෙරට බහු ජාතික හා ස්වදේශික වෙලෙන්දා රෑපවාහිනී තිරය මත යකා නටන ආකාරයක් දිස්වේ. මුලු තරගා වලියේම බෝලයෙන් බෝලයට රූපවාහිනී තිරය මතට පැන මේ වෙලෙන්දා කරන විගඩම නවතාලීමට හැකි බලයක් ඇති බලයක් මෙරටට අවශ්‍යව ඇත.
රැකියාවට ගොස් ගෙදරට එන මිනිසුන්ට අවශ්‍යා කරන විවේකය හා වින්දනය වෙනුවට, වද බන්ධනය උරුම කිරීමට මෙරට රූපවාහිනී නාලිකා සෑදී පෑදී සිටී. ටෙලි නාට්‍යයකදී මෙන්ම ප්‍රවෘත්ති වැඩ සටහන් වලදී එම වැඩ සටහන හා බද්ධව සිටින ප්‍රේක්ෂකයිනගේ මනසට දෙන වද බන්ධනය අවබෝධ කර ගැනීමට හැකි පුද්ගලයකු මෙම කේෂත්‍රයේ ප්‍රබලයකු වීම ජනතා අවශ්‍යතාවයකි. මේ වන විට රූපවාහිනී නාලිකාව ඉදිරිපිට සිටින ප්‍රේක්ෂකයා මේ වෙලෙන්දාට විරෝධය දක්වන්නේ, තමන් අත ඇති රිමෝට්කොන්ට්‍රෝල්ය භාවිතා කරමින් වෙනත් චැනලයකට ප්‍රවිස්ඨ වීම හරහාය. බොහෝවිට එයද අසාර්ථක කාර්යයකි. අද මෙරට ඇත්තේ ප්‍රේක්ෂකයා ඉලක්ක කරගත් රූපවාහිනී ආයතන නොවන අතර, වෙළෙන්දා හා වෙළද දැන්වීම් ඉලක්ක කරගත් රූපවාහිනී නාලිකාවන්ය. මෙය කනපිට ගැසිය යුතු අතර, එසේ කල හැක්කේ මෙරට සමාජ විපර්යාශයක් තුලින් පමණි.

No comments:

Post a Comment