Friday 19 February 2010

ජෙනරාල්ගේ ඉරණම වෙනස්‌ කළ අවස්‌ථාවාදී දේශපාලනය

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම රට පුරා මහත් ආන්දෝලනයට හේතු වූ සිද්ධියක්‌ බවට පත්වී ඇත.

යුද හමුදා පනතේ 57 (1) වගන්තිය යටතේ හිටපු යුද හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන මේ වන විට නාවික හමුදා මූලස්‌ථානයේ ආරක්‍ෂිත නිවසක රඳවා තබා ඇත. ඒ ඔහු යුද හමුදාපතිවරයා සහ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් සිටියදී හමුදා නීතියට පටහැනිව සිදුකළ විනය විරෝධී සහ රාජ්‍ය විරෝධී ක්‍රියා කීපයක්‌ හේතුවෙන් හමුදා නීතිය යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමටය.ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා යුද අධිකරණයක්‌ හමුවට පමුණුවාලීමට නියමිතව ඇත.

1949 අංක 17 දරන යුද හමුදා පනතේ 57(1) වගන්තිය යටතේ පැවරී තිබෙන නීතිමය බලතලවලට අනුව යුද හමුදා පොලිසිය විසින් ඉකුත් 08 වැනිදා රාත්‍රියේ ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුයේ ඔහුගේ දැඩි විරෝධය මධ්‍යයේය.
එම විරෝධය මැඩලමින් යුද හමුදා කණ්‌ඩායම ජෙනරාල්වරයා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, පසුව ඔහු දැඩි රැකවල් මධ්‍යයේ නාවික හමුදා මූලස්‌ථානයේ රඳවා තැබීමට පියවර ගනු ලැබීය.
යුද හමුදාව විසින් හිටපු යුද හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන හමුදා නීතියට අනුව ක්‍රිsයාකිරීම දේශපාලන පලිගැනීමක්‌ ලෙස පෙන්වීමට විපක්‍ෂ දේශපාලන නායකයෝ ඇතුළු අනුගාමිකයෝ අද ප්‍රබල උත්සාහයක නිරතව සිටිති.
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුද වීරත්වය ඉදිරියට දමා ඒ ඔස්‌සේ තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාකළ පරාජිත දේශපාලනඥයන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ සටන් පාඨයක්‌ ලෙස ජෙනරාල් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය යොදා ගැනීමට කටයුතු කරමින් සිටිති.
ජෙනරාල් සරත් ෆොන්සේකාට අද අත්වී තිබෙන කනගාටුදායක ඉරණම පිළිබඳ සම්පූර්ණ වගකීම ඔහුගේ කරමතින් ගොස්‌ සිය බලලෝභී දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාකළ රනිල් මංගල, සෝමවංශ, හකීම් සම්බන්ධන් ප්‍රමුඛ විපක්‍ෂ සන්ධාන දේශපාලන කණ්‌ඩායම් විසින් භාර ගත යුතුව ඇත.
එම පරාජිත දේශපාලන නායකයන් අඹරා දුන් ලණුව එකවරම ගිල දමා ජයග්‍රහණය පිළිබඳ අධි තක්‌සේරුවකින් යුතුව ජනාධිපතිවරණ සටනට පිවිසි ජෙනරාල් ෆොන්සේකා තමා හමුදා නිල ඇඳුමින් සිටියදී සහ එය ඉවතලා දේශපාලන ඇඳුමින් සිටියදී කළ කී දෑ නිසා අද ඔහුට මෙසේ හමුදා අත්අඩංගුවට පත්වී යුද අධිකරණයක්‌ ඉදිරියට යැමට සිදුවූ බව කවුරු පිළිනොගත්තත් ජෙනරාල් ෆොන්සේකාගේ හෘද සාක්‍ෂිය එය පිළිගෙන ඇතුවාට කිසිදු සැකයක්‌ නැත.
දේශපාලනමය වශයෙන් ඔහු කළ කී දෑ කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා සහ යුද හමුදාපතිවරයා වශයෙන් ඔහු යුද හමුදාව දරුණු ලෙස භේද බින්න කර කඩා බිඳ දැමීම ඉතා භයානක තත්ත්වයක්‌ වනු ඇත.
යුද හමුදාවව දේශපාලනීකරණයට ලක්‌කර එය තුළ නිල නොවන දේශපාලන බල ඇණියක්‌ ඇති කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ක්‍රියාකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.
ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට සෘජුව සහ වක්‍රව සම්බන්ධවූ බව කියන යුද හමුදා නිලධාරීන් රැසක්‌ පිළිබඳව හමුදා බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඒ පිළිබඳව මේ වන විට සියලුම ආරක්‍ෂක බුද්ධි අංශ සහ රහස්‌ පොලිසිය පුළුල් ලෙස විමර්ශන පවත්වමින් සිටිති.
ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දැක්‌වූ ඇතැම් හමුදා නිලධාරීන් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ විශ්වාසය දිනා ගනිමින් ප්‍රධාන උසස්‌ තනතුරු හිමිකරගෙන සිටි අතර, යම් හෙයකින් ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති වූවානම් ඔහු යටතේද උසස්‌ තනතුරු හිමිකර ගැනීමට අපේක්‍ෂාවෙන් සිටියවුන් වෙති.
එමෙන්ම ජෙනරාල් ෆොන්සේකාට සහාය දැක්‌වූ බවට කිසිදු අයුරකින් දැන ගැනීමට නොහැකි අයුරින් කටයුතු කළ හමුදා නිලධාරීන් පිරිසක්‌ පිළිබඳවද තොරතුරු අනාවරණය වීමට පටන් ගෙන ඇති අතර බුද්ධි අංශ මේ වන විට ඔවුන් පිළිබඳව දැඩි විමසිලිමත්ව ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීමේ නිරතව සිටිති.
යුද හමුදාව තුළ රහසිගතව ක්‍රියාත්මකවූ ජෙනරාල් ෆොන්සේකාගේ නිල නොවන හමුදා බළඇණියට සම්බන්ධව සිටි හමුදා නිලධාරීන් පිරිසක්‌ මේ වන විට අනිවාර්ය විශ්‍රාම යවා ඇති අතර, ඉන් කීපදෙනෙකු ජෙනරාල් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී යුද හමුදාව තුළ සිය බලපරාක්‍රමය අසීමිතව අතුරුවාගෙන සිටි නිලධාරීහු වෙති.
මේජර් ජෙනරාල් රජිත සිල්වා, මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරා, මේජර් ජෙනරාල් සමන්ත සූරිය බණ්‌ඩාර, මේජර් ජෙනරාල් දීපාල් අල්විස්‌, බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන, බ්‍රිගේඩියර් අතුල නැන්නැදිගේ, බ්‍රිගේඩියර් ජනක මොහොට්‌ටි, බ්‍රිගේඩියර් බිමල් ඩයස්‌, කර්නල් තිලක්‌ අබේවර්ධන එම නිලධාරීහු වෙති.
ඔවුන් එකල ක්‍රියාකර ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා සදාකල්ම යුද හමුදාපති තනතුරෙහි සිටිනු ඇතැයි සිතාගෙන බව ඔවුන්ගේ තාඩන පීඩනයන්ට සහ පලිගැනීම්වලට ලක්‌වූ හමුදා නිලධාරීහු පවසති.
ජෙනරාල් සරත් ෆොන්සේකාට සහ ඉහත නිලධාරීන්ට අද අත්වී තිබෙන අවාසනාවන්ත ඉරණම අපට පෙන්වා දෙන එක්‌ පොදු ධර්මතාවක්‌ ඇත. එය නම් බලය, නිලය, තනතුරු ආදී කිසිවක්‌ මෙලොව සදාකාලික නොමැති බව කියාපාන පොදු ධර්මතාවයයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට පිවිසීම ගැන කිසිවකුට කිසිවරදක්‌ කිව නොහැක. එය ඔහු සතු අයිතියකි. ඡන්දය දීමට මෙන්ම ඡන්දය ඉල්ලීමටද මෙරට සෑම පුරවැසියකුටම අයිතියක්‌ සහ නිදහසක්‌ ඇත. එම නිසා ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට පිවිසීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිසිදු බාධාවක්‌ නොකළේය. ජෙනරාල් ෆොන්සේකා සතු එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගත් ජනාධිපතිවරයා ජෙනරාල් ෆොන්සේකාගේ ක්‍ෂණික ඉල්ලා අස්‌වීම පිළිගෙන තමාට එරෙහිව ජනාධිපතිවරණ සටනට පිවිසීමට අවස්‌ථාව සලසා දුන්නේය.
ජනාධිපතිවරයා එදා එම ඉල්ලා අස්‌වීම පිළිනොගත්තානම් හෝ පිළිගැනීම ප්‍රමාද කළා නම් ජෙනරාල් ෆොන්සේකාට ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වීමට ඉඩ නොලැබෙනු ඇත. එක අතකින් එසේ ඉඩනොලැබුණා නම් ජෙනරාල් ෆොන්සේකාට සහාය දුන් හමුදා නිලධාරීන්ට අදත් යුද හමුදා සේවයේ රැඳී සිටීමටද හැකිවනු ඇත.
ජනාධිපතිවරයා එදා ජෙනරාල් ෆොන්සේකාට තමාට එරෙහි සටනට ඒමට ඉඩ දුන්නේ තම ජයග්‍රහණය ගැන ඔහුට 100% ක්‌ම විශ්වාසයක්‌ තිබූ නිසාය. නමුත් එම විශ්වාසය ඉක්‌මවාගිය විශාල අධිතක්‌සේරුවක්‌ ජෙනරාල් සරත් ෆොන්සේකාට තමා පිළිබඳව හට ගෙන තිබිණි.


ඒ අනුව ඔහු සිටියේ ජනාධිපතිවරණ සටනින් තමා දැනටමත් ජයගෙන සිටින බවට වූ ආඩම්බර හැඟීමකින් බව ඔහු කළ කී දෑ වලින් පැහැදිලි විය.

"මට පෙර රට" යන තේමා පාඨය යටතේ සටනට පිවිසි ජෙනරාල් ෆොන්සේකා "ඊට පෙර කට" පාලනය කර නොගෙන අවසානයේදී වීරෝදාර හමුදා රණවිරුවන් සහ යුද හමුදාව ජාත්‍යන්තරයට පාවාදී, හමුදා බෙදා වෙන්කර දැවැන්ත අර්බුදයක්‌ නිර්මාණය කර ජනාධිපතිවරණ සටනින්ද පරාජයට පත්විය.

ලොව දරුණුතම සහ ප්‍රබලතම ගරිල්ලා සංවිධානය ලෙස නම්දරා සිටි කොටි සංවිධානය සමග සටන්කර ජය ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා එතුළින් හිමිකරගත් වීරත්වය, ගෞරවය, කීර්තිය අවාසනාවන්ත ලෙස අහිමිකරගෙන පරාජිත දේශපාලන චරිතයක්‌ බවට පත්විය.
එපමණක්‌ නොව බලලෝභී පටු දේශපාලන අරමුණක්‌ ඉටුකර ගැනීම වෙනුවෙන් යුද හමුදාව සහ වීරෝදාර රණවිරුවෝ ලෝකයාට පාවාදීමේ දේශෙද්‍ර`හී චෝදනාවට ලක්‌වී අද යුද අධිකරණයක්‌ ඉදිරියට යැම උදෙසා හමුදා සිරකරුවකු බවට පත්වීමේ ෙ€දජනක ඉරණමකට මුහුණපෑමටද සිදුවීමෙන් කියාපාන්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් බලය, නිලය, අයුතු ලෙස යොදාගැනීමට යැමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාට විඳින්නට සිදුවූ පොදු ධර්මතාව යළි යළිත් අපට සිහිපත් කර දෙනු ඇත.

No comments:

Post a Comment