Friday 19 February 2010

රටේ නීතිය කාටත් පොදුය.

ආචාර්ය උඩගම සුමංගල මහා ස්ථවිර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට
රටේ නීතිය කාටත් පොදුය. පුද්ගලයන්ගේ තරාතිරම අනුව එය වෙනස් නොවිය යුතුය. භික‍ෂූන් වහන්සේ පවා රාජ්‍ය නීතියට අනුකූලව ක්‍රියා කළ යුතුය යනුවෙන් බුදුරජාණන් වහන්සේ පවා පෙන්වා දී ඇත.

සරත් ෆොන්සේකා මහතා අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ යුධහමුදා නීතියට අනුව කරන ලද්දකි. එය දේශපාලනයට සම්බන්ධ ක්‍රියාවක් නොවේ. ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව කරන ලද්දක් ද නොවේ. සරත් ෆොන්සේකා මහතා වැරදි කරුවකු ද නිවැරදි කරුවකු ද යන්න අධිකරණය මඟින් තීරණය කරනු ඇත. ඊට ඇඟිලි ගැසීමට කිසිවකුට අයිතියක් නැත.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ අතකොළු වී ඇති පුද්ගලයන්ගේ බසට මුවා වී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස අතිගරු මහානායක හිමිවරුන් විසින් අතිගරු මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමාට බලකරනු ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකකි. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රකාශ වලින් පෙනීයන්නේ උන් වහන්සේලා නොදැනුවත්වම දේශද්‍රෝහී කුමන්ත්‍රණ කරුවන්ගේ දැලට හසුවී ඇති බවකි. කුමන්ත්‍රණ කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ත්‍රිවිධ හමුදාවත් මහජනතාවත් භේද භින්න කර රට අස්ථාවර කර සංඝ භේදයක් ද ඇති කරලීමය. තිස්වසරක යුද්ධයෙන් රට ගලවාගත් මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා ගේ රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දීම දේශප්‍රේමී ගිහි පැවිදි සෑම දෙනාගේ යුතුකමය.
එබැවින් මෙහි දී ඉතා බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කරන මෙන් අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉතා ගෞරව පූර්වකව සාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

No comments:

Post a Comment