Monday 22 February 2010

මහ නාහිමියන්ට තර්ජනය කළා කීම රනිල්ගේ අමූලික බොරුවක්-කලවැද්දා සේම පැවිද්දා කීමත් අපහාසයක්

සුභාෂිනී සේනානායක, අසේල කුරුළුවංශ සහ ජයසිරි පේදුරුආරච්චි -දිනමිණපැවිදි වෛතුල්‍යවාදීන් පිරිසක් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ට තර්ජනය කොට බලපෑම් කළ බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කරන අපහාසයක් බව මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටිති.
රටේ ජාතික සහ ආගමික ප්‍රශ්න පිළිබඳව භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් මහ නාහිමිවරුන් සමඟ කළ සාකච්ඡා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් කර ඇති ප්‍රකාශ ගැන කනගාටු වන බවද එම හිමිවරු පවසති.බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින භික්ෂුන් වහන්සේලාට පැවිදි වෛතුල්‍යවාදීන් යැයි හඳුන්වාදීම තරයේ හෙළා දකින බවද, උන්වහන්සේලා සඳහන් කර සිටිති.
මල්වතු මහා විහාරයට අයත් විහාරස්ථාන රෝහණ පාර්ශ්වයට එකතු කොට මල්වතු මහා පාර්ශවය විනාශ කරන බවට පැවිදි වෛතුල්‍යවාදීන් පිරිසක් තර්ජනය කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ කේම්බ්‍රිජ් ටෙරස්හි විපක්ෂ නායක කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විපක්ෂ නායකවරයා ඒ බව ප්‍රකාශ කර ඇත. තිස්ස අත්තනායක මහතාද එවැනිම අදහස් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී දළදා වහන්සේට බෝම්බ ගසන බවට ද මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ට තර්ජනය කොට තිබෙන බවටද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ පැවිද්දන්ට කුලපතිවරුන්, පරිවෙණාධිපතිවරුන්, ආචාර්යවරුන් වශයෙන් ක්‍රියාකිරීමේ කිසිදු අයිතියක් නැති බවටද වික්‍රමසිංහ මහතා අදහස් දක්වා තිබේ. වික්‍රමසිංහ සහ අත්තනායක මහත්වරුන්ගේ එම ප්‍රකාශ සම්බන්ධයෙන් මහ සඟරුවන මෙසේ අදහස් දක්වා සිටිති.
ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති අත්තුඩාවේ ශ්‍රී රාහුල මහනාහිමි, මල්වතු පාර්ශවයට අයත් දකුණේ කිසිදු විහාරස්ථානයක් රෝහණ පාර්ශවයට එක්කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ උත්සාහයක් නැත. එවන් උත්සාහයක් පිළිබඳව විපක්ෂ නායක කළ ප්‍රකාශයක් ප්‍රවෘත්ති වාර්තාවලින් දැනගත් අවස්ථාවේ දැඩි කනගාටුවට පත්වූ අතර, එම ප්‍රකාශයේ දී විපක්ෂ නායකයා “පැවිද්දා” “පැවිද්දා” යනුවෙන් ප්‍රකාශ කිරීම දේශපාලන වේදිකාවේදී “කලවැද්දා” යනුවෙන් ආමන්ත්‍රණය කළා සේම සංඝයා වහන්සේලාට අපහාසයක්.
මල්වතු, අස්ගිරි විහාරස්ථාන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බෞද්ධ මධ්‍යස්ථාන දෙක. එහි මහානායක හිමිවරුන් අපිත් සමඟ බොහෝ සම්බන්ධයි.
මෙය බොරු ප්‍රකාශයක්. මහා නායක හිමිවරුන් බොහෝ ගරු කටයුතු අය. එවැනි අය සම්බන්ධ කර ගනිමින් මෙවැනි ප්‍රකාශ ගැන අපේ තිබෙන්නේ බලවත් කනගාටුවක්.
ගරු කටයුතු සංඝයා වහන්සේලාට “පැවිද්දා” යනුවෙන් ඇමතීම කෙතරම් ඔබිනවාදැයි මේ රටේ ජනතාව කල්පනා කළ යුතුයි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි, මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් තර්ජන හා බලපෑම් කළ බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් මෙය බෞද්ධ භික්ෂුන් වහන්සේ වෙත කරන අපහාසයක්.රටේ ජාතික හා ආගමික ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා භික්ෂුන් වහන්සේ පනස් නමකින් පමණ සමන්විත කණ්ඩායමක් සමඟ තමන් වහන්සේද මහ නායක හිමියන් බැහැ දුටු බවත් විපක්ෂනායකවරයා රටට කියන ආකාරයේ කිසිදු සිදුවීමක් එහිදී නොවූ බවත් පවසති. මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේද මේ පිළිබඳව සාක්ෂි දරනු ඇත. මහා සංඝරත්නය සෑමවිටම ක්‍රියාකරනුයේ විනය ශික්ෂණයක් ඇතිවයි.
ප්‍රශ්න සාකච්ඡා කැර නිවැරදි නිරවුල් තීරණ ගත යුතුයි. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් අදාළ අවස්ථාවට සහභාගි වූ භික්ෂුන් වහන්සේ මහනාහිමියන් සමඟ සුහදව, මිත්‍රශීලිව ගැටලු සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බවත් කීය.
මහමළුවේ පැවැත්වීමට නියමිතව තිබූ සංඝ සම්මේලනය හරහා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කළ පිරිසගේ අපේක්ෂා සියල්ල අද බිඳ වැටී ඇති බැවින් ඔවුන් දැන් උත්සහ කරන්නේ සංඝ භේදයක් ඇතිකර හෝ එමඟින් වාසියක් ලබා ගැනීමටයි. මෙයට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ ජනතාව පෙළ ගැසිය යුතු බව පැවැසූහ.

No comments:

Post a Comment