Tuesday 9 February 2010

දේශපාලන අං තට්‌ටු පැළඳගත් වෘෂභයෝ!

දේශපාලන අං තට්‌ටු පැළඳගත් වෘෂභයන් විසින් කරනු ලබන ඕනෑම නීති විරෝධී වැඩක්‌ හෝ අමන ක්‍රියාවක්‌ ලේසියෙන්ම ආණ්‌ඩුවේ ගිණුමට බැර කිරීමේ වැරදි සම්ප්‍රදායක්‌ මේ රටේ ඇත. එහෙත් ඒ වැරැද්ද නිවැරදි කිරීමට ආණ්‌ඩු ක්‍රියා නොකිරීම නිසා ජනතාවගේ පැත්තෙන් කෙරෙන ඒ දෝෂාරෝපණය අසාධාරණ ද නැතැයි සමහරු කල්පනා කරති.


මේ බරපතල දේශපාලන වැරැද්ද නිසා දුම්රියක්‌, බස්‌රියක්‌ වෙලාවට ධාවනය නොවුවත් ආණ්‌ඩුවට බණින මිනිස්‌සු ඕනෑ තරම් සිටිති. දේශපාලන බලය නිසාම නීතියද තමන්ට වුවමනා පරිදි භාවිත කළ හැකි යෑයි සිතන දේශපාලනඥයෝ පමණක්‌ නොව ඔවුන්ගේ පුත්තු ද වෙති.
අපි එයට නිදසුන් දීමට උනන්දු නොවෙමු. එසේම දේශපාලන බලය අතට ගෙන නීතියට උඩින් පියාඹන ඇතැම් ඇමැතිවරුන්ගේ රැකවල්ලු මෙන්ම වෙනත් නිලධාරීහු ද සිටිති.
අද අපගේ මාතෘකාවද එබඳු නීච නිලධාරියෙක්‌ ගැනය. මේ මුග්ධයා පළමුවෙන්ම අපරාධයක්‌ කරන්නේ අර යහපත් ඇමැතිවරයාටය. මේ සියලුම දොස්‌ යන්නේ එතුමාගේ පිටින් හෙයිනි. ඒ කුමක්‌ වුවත් මේ සිද්ධිය ගැන අප ලියන්නේද මේ වර්ගයේ අමනයන්ගෙන් රටටත් ජනතාවටත් සිදු වන හානිය නිසාමය.
ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටා තිබෙන කන්නෙලිය, ජෛව විවිධත්ව සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ඉතා ප්‍රසිද්ධය. පරිසරවේදීන්ට අනුව මෙම ස්‌ථානය සිංහරාජ වර්ෂා වනාන්තරය තරමටම වැදගත්ය. එය නැරඹීම සඳහා විවිධ ප්‍රදේශවල සිට ජනතාව එති. පාසල් දරු දැරියෝද එති.
පසුගිය ජාතික නිදහස්‌ උළෙල පැවැති දිනයේදී ඇමැතිවරයාගේ නිලධාරින් ඇතුලු තුන්සියයක්‌ පමණ පිරිසක්‌ මෙම රක්‍ෂිතයට පැමිණ තිබේ. අපට වාර්තා වන පරිදි රක්‍ෂිතයේ නැවතුම් ශාලාව හයදෙනකුගේ නමින් වෙන්කර ඇත. මේ පිරිස සොබා අසිරිය නැරඹීමට නොව වෙනත් කාර්යක්‌ සඳහා පැමිණියෝ බවද කියති.
කෙසේ හෝ ඔවුන්ගේ රැස්‌වීම හෝ සමුළුව නිමවීමෙන් පසු ඔවුන් රක්‍ෂිතය තුළ මත් සාදයක්‌ පැවැත්වීමට සූදානම් වී ඇත. රක්‍ෂිතයේ නීති රීති අනුව එම ස්‌ථානයට මත්පැන් රැගෙන යාම පවා තහනම්ය. ඔව්හු පළමුව එම නීතිය බිඳ දැමූහ. දෙවනුව ඔවුන් එහි නිලධාරින්ගේ විරෝධය නොතකා මත් වතුර බීමට පටන් ගෙන තිබේ. එයට විරෝධය දැක්‌වූ නිලධාරියාට පහර දී ඇත්තේ ඉනික්‌බිතිවය.
මේ සිද්ධිය ඉතා බරපතලය. මතට තිත නමැති ජනාධිපතිතුමාගේ විශිෂ්ට සංකල්පයට මොව්හු පළමුවෙන්ම ගැරහූහ. දෙවනුව ආණ්‌ඩුවේ නීතිය මෙන්ම එකී සංරක්‍ෂණයේ නීතිය ද බිඳ දමා එහි සිටි නිලධාරියකුටද පහර දුන්හ. ඉන්පසු සිය සුරා සොඬුන් සමග ඒ ගෞරවනීය භූමියේ හිතුවක්‌කාරකම් කලහයි ද කියති.
මේ අපරාධය සිදු වූ දිනයේ රක්‍ෂිතය නැරඹීම සඳහා පැමිණි එක්‌ පිරිසක්‌ වූයේ මහරගම වජිරඥන ධර්මායතනයේ ගුරුවරුන් හා සිසු සිසුවියන්ය. මෙම දරුවන් නාන ස්‌ථානයේ ද මෙම නීති විරෝධී මත්පැන් පානය සිදුවන අයුරු වජිරඥනයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේලාද දෑසින්ම දැක ඇතැයි කියති.
ලැඡ්ජා නැති එවුන්ට ඕනෑ තැනක හෙළුවෙන් සිටිය හැකි බව ඇත්තය. එහෙත් මේ පිරිස එබඳු නොපනත්කමක්‌ කර ඇත්තේ කා ඉදිරිපිටද යන්නත් සලකා බැලිය යුතුය. අනෙක්‌ අතට මේ පහරදුන් දේශපාලන චණ්‌ඩියාට උඩුගම පොලිසිය දැක්‌වූ බව කියන ප්‍රතිචාරය ගැන පොලිස්‌පතිතුමා වෙනම සොයා බැලිය යුතුය. නීති විරෝධී ක්‍රියාවට අමතරව අහිංසක නිලධාරියකුටද පහර දීමට තරම් ශක්‌තියක්‌ ඒ නිලධාරියාට තිබුණේ කෙසේද?
කන්නෙලිය රක්‍ෂිතයේදී පහර කෑමට ලක්‌වූ නිලධාරියා වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට ද වෘත්තීය සමිති සූදානමින් සිටිති. එය වෙනම කතාවකි. ඒ කුමක්‌ වුවත් අමු අමුවේ නීතියටද පයින් ගසා මෙලෙස හැසිරෙන කවරෙකුට වුවද නිලය බලය නොතකා නීතිමය පියවර ගැනීම පොලිසියේ ද රජයේ ද වගකීම බව අපි කියා සිටිමු.
මේ වර්ගයේ නිලධාරීන් ළඟ තබා ගන්නා කවර ඇමැතිවරයකු වුවද ජනතා අප්‍රසාදයට හා පිළිකුලට ලක්‌වීමේ අවදානම ද බොහෝය. මැතිවරණයක්‌ කටේ තියෙන මෙවන් මොහොතක ඒ වර්ගයේ අපතයන් වෙනුවෙන් ගෙවීමට සිදුවන වන්දිය ද බරපතල විය හැකි බවද කිව යුතුය.

No comments:

Post a Comment