Thursday 28 January 2010

සියළු දෙනාම ජයග්‍රහණය කරන ජනාධිපතිවරණයක්!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
සෝමවංශ අමරසිංහ මහතා වේදිකාවල රගමින් "සොයාපු දේ හම්භ උනා කාලෙ හොදා" යයි උදාන ගීතය ගයමින් ඔහුගේ හා ඔහුගේ අතවැසි ගෝල බාලයන් ලබපු ජයග්‍රහණය සම්බන්ධව මෙනෙහි කරමින් සිටින යුගයක් අප පසුකරමින් සිටිමු. ඒ සමගම 1988-1989 වකවානුවේදී අතුරුදන්වූ තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා, ඔවුනගේ ඡායාරූප අතැතිව එම දරුවන්ගේ දෙමව්පියෝ පාරක් පාරක් ගානේ ගමන් කරයි. සෝමවංශ මහතාට හම්භ වී ඇත්තේ එම දූ දරුවන් නම් නොවේ.කොහොම හරි ඔවුනට සොයාපු දේ සම්භ වී ඇත. එය ඔහු ලැබුවාවූ අති විශිෂඨ ජයග්‍රහණයකි. මින් ඉදිරියට සෝමවංශ අමරසිංහ, විජිත හේරත්, අනුර කුමාර දිසානායක, සුනිල් හදුනෙත්ති යන මහත්වරුන්ට ධනපති ක්‍රමය තුල යහතින් ජීවත්වීමට ඇවැසි හැම දෙයක්ම හම්බ වී ඇත. එය මේ ජනාධිපතිවරණයේදී මේ වනවිටත් ඔවුන් ලබා ඇති ජීවන ජයග්‍රහණයකි. ඔවුනගේ මනස මේ වනවිටත් ඔවුන් කල කාර්යය භාරය සම්බන්ධව තෘප්තිමත් භාවයකට පත්ව නැත. ඊට හේතුව වන්නේ ඔවුන් මේ සියල්ලම ලබාගත්තේ 1965 සිට මේ දක්වා එම පෙරමුණ ගොඩනැංවීමට දායක වූවන්ගේ ශ්‍රමය හා ඇස් ඉස් මස් ලේ අධිරාජ්‍යවාදීන්ට විකුණීම හේතුවෙනි. නමුත් ඔවුන් බාහිරින් ජයග්‍රාහින් වී ඇත. ඒ අනුව නව ජනතා විමුක්ති පෙරමුහි නායකත්වය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇත.


සරත් ෆොන්සේකා මහතා සිය ජීවිත කාලය තුලදීම ලබාගත් ඉතාම ලාභදායී කොන්ත්‍රාත්තුව නිමකර ඇත. ඒ හරහා මුදල නම්වූ කඩදාසි කැබැල්ල මත සියල්ල තීරණය කරන අති බහුතරයක් සිටින සමාජයක සරත් ෆොන්සේකා මහතාද විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන සිටී.


ඒ සදහා ඔහුට විශාල කැපකිරීම් රාශියක් කිරීමට සිදුවිය. සමාජමය වශයෙන් ඉතා අපහසුවෙන් කාලාන්තරයක් මුලුල්ලේ ඔහු අත්පත් කරගෙන තිබුණ සමාජ ගෞරවය, ජන මනස තුල කිදා බැස තිබූ වීරත්වය අලෙවි කිරීමට සිදුවිය. එපමණක්ද නොව, සරත් ෆොන්සේකා නම් වූ චරිතය තුල වූ පෞද්ගලිකත්වය සමාජගත කිරීම හරහා ඔහුගේ ප්‍රතිරූපය විනාශ කර ගන්නටද ඔහුට සිදුවිය. නමුත් ඒ සදහා ඔහුට ලැබුණ ප්‍රතිපල අති විශිෂ්ඨ බැවින්, ඒ මහතාද මේ වනවිට ජයග්‍රාහකයකු වී හමාරය.

මෙම අති මහත් මුදල් කන්දරාව එහා මෙහා ගෙනයාමේ කාර්යය හා සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යන්ට සම්බන්ධ වීම හරහා එක්සත් ජාතික පක්ෂයහි නායකත්වයද අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණයද විශාලය.


දැන් ජයග්‍රහණය ලැබීමට ඉතිරිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා වාසී ජනතාවය. ඒ සදහා මෙරට ජනතාව ජනවාරි මස 26 වෙනිදා චන්ද පොලට ගොස් බුලත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්කල යුතුය. එම ක්‍රියාමාර්ගය තුලින් මේ රටේ සියලූම ජනතාව ජයග්‍රහණය කරනු ලබන අතර එම ජයග්‍රහකයින් අතරට මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චන්දය ප්‍රකාශ කරනු ලබන චන්ද දායකයින්ද ඇතුලත්වේ. මේ රටේ සැබෑ දේශද්‍රෝහීනගේ සංඛ්‍යාත්මක අගය කවරේදැයි අප දෑස දල්වා බලා සිටිමු. ඔබ සැමට "ශුභ අනාගතයක්"

No comments:

Post a Comment