Sunday 31 January 2010

මහින්දයි රනිලුයි දෙන්නම දිනුම් .....

බුලිත ප්‍රදීප් කුමාර - දිවයින

ජනාධිපතිවරණය අවසන් වී අවසාන ප්‍රතිඵලයද නිකුත්වී දින ගණනකි. ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත වතාවක්‌ මේ රටේ පාලන බලය හිමිකරගෙන අවසන්ය. ජනාධිපති මහින්ද ඇතුළු සහෝදර සමාගමේ වංචා දූෂණ රටට හෙළිකර ඔවුන්ගේ පාලන සමය අහෝසිකොට ඔවුන් ගෙදර යවා රටට සැබෑ වෙනසක්‌ අත්පත් කරදෙනවා යෑයි කී විපක්‍ෂ සන්ධානයේ නිර්පාක්‍ෂික අපේක්‍ෂක සරත් ෆොන්සේකා මේ වන විට දේශපාලන ලෝකයේ ආගිය අතක්‌ නැති ගානය.... කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය තුළ කිසිවිටෙකක්‌ රටේ ජනතාවට අමතක කළ නොහැකි කරුණු කාරණා බොහෝය. රසමුසු තැන්ද බොහෝය. එබඳු රසමුසු තැන් කිහිපයක්‌ නැවතත් මෙනෙහි කරමින් රසවිඳීම මේ ලිපිය ලිවීමේදී මගේ අරමුණ විය.



පසුගිය ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක සමයේදී අප වඩාත්ම ආශා කළේ ඒ ඒ අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් තැන් තැන්වලදී කළ කතා ඇසීමටය. අප රූපවාහිනි නාලිකා ඒ කතා වල තිබූ හරබර සුවිශේෂී තැන් පමණක්‌ නොව රසබර හාස්‍ය බර ජවනිකාද ඉතා අපූරුවට අප හමුවේ ගෙනහැර පෑහ.


අතීතයේදී නම් බඩේ බඩවැල් එළියට එනතුරු හිනාවෙන්ට හරි අපූරු ඔල්මොරොන්දන් කතා රටට කීවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය. විටෙක ඔහු පස්‌දුන් කෝරළයේ ඉතිහාසය ගැන මවිතය දනවන කතාවක්‌ ගෙන ඇදබාමින් ප්‍රේක්‍ෂකයා කුල්මත් කළේය. තවත් විටෙක කාගේදෝ ලණුවක්‌ කමින් මේ රටේ තරුණ තරුණියන්ට ඩෙනිම් අන්දවන්නටත්, බ්‍රේස්‌ලට්‌ පළන්දන්නටත් චුයින්ගම් කවන්නටත් යොමුකරන ආකාරයේ කතාවක්‌ කළේය. ඒ ඉස්‌සරය. ඊටත් පසුව රනිල් ඡන්දයකදී ඡන්දය පැවැත්වෙන දිනය වරද්දවා කියමින් තවත් නාට්‍යමය ජවනිකාවක්‌ රඟපෑවේය.


ඒ ඔක්‌කොම පරණ කතාය. අද වන විට අපට රසවිඳින්නට ඊටත් වඩා අලුත් කතා බොහෝ තිබේ.


ඒ අතර වඩාත් කැපීපෙනෙන පුද්ගලයන් හිටියේ ජනතා විමුක්‌ති පෙරමුණේය.


ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සිය හාස්‍යමය ජවනිකාව ගෙන හැර පෑවේ තම අපේක්‍ෂකයාගේ ඡන්ද ලකුණ වරද්දා ගනිමිනි.


"මේ පාර අලියා නෑ. පුටුව නෑ. තියෙන එකම ලකුණ සීනුව. රට දිනවන ලකුණ, රට හදන ලකුණ සීනුව...."


ටිල්වින්ට හංසයා වෙනුවට සීනුව මාරුවුණේ එලෙසය.


ඊළඟ විහිළුව කරනු ලැබුවේ ජනතා විමුක්‌ති පෙරමුණේ අද සිටින ප්‍රමුඛම නායකයා ලෙස සැලකෙන අනුර කුමාර දිසානායකය.

"මෙම මැතිවරණයේදී ජය ගන්නේ මහින්ද රාජපක්‍ෂ. මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණය නියතයි....." ඔහු වේදිකාවට ගොඩවී සිටියේ සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය ගැන කතා කරන්නටය. එහෙත් කට බොරුකියන්නට උත්සාහ කළත් ඔහුගේ දිව ඔහුට බොරුකියන්නට ඉඩදුන්නේ නැත. ඔහු දිගින් දිගටම එදා එසේ කී අනාවැකිය අද සත්‍යයක්‌ වී ඇති බව පැහැදිලිය.


මේ අතර සරත් ෆොන්සේකාගේ වේදිකාවේදී සුරූපී රෝසි සේනානායක නෝනාද අපූරු කතාවක්‌ කියා පොට වරද්දා ගත්තාය.


"මේ මැතිවරණයේදී ජනතාව නිවැරදිදේ තෝරාගනීවි. හරියට අර සිංහයා කිරෙන් දිය වෙන්කරගන්නවා වගේ ...."


කිරෙන් දිය වෙන්කර ගන්නේ සිංහයා නොව හංසයා බව අඩුමතරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාවත් රෝසිට කියාදී නැතිවීම කනගාටුවට කාරණාවකි....


මේ අතර තවත් නාලිකාවක්‌ ජනතාවට අතීතය මතක්‌ කරදීමටද හරි හරි අපූරු දේවලේ කළේය. ඒ අතර කැපීපෙනුනේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහය.


සෝමවංශ අමරසිංහ මීට වසර ගණනාවකට පෙර එක්‌තරා වතාවක්‌ සාකච්ඡාවක්‌


සඳහා ස්‌වාධීන රූපවාහිනියට පැමිණ තිබිණි. සාකච්ඡාව මෙහෙයවූයේ සුදර්මන් රදලියගොඩය. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළේ ජවිපෙ නායකත්වය රටට අහිමිවීමේ අතීතය ගැනය. ඔහු ඒ ප්‍රශ්නය නිසා ඉතා සංවේදී විය. සිය පක්‍ෂයේ සදාදරණීය නායකයා වූ රෝහණ විඡේවීරගේ දෙකකුල් වලට වෙඩි තබා පණ කෙන්ද තුරන් වන්නට පෙර දෑතින් හා දෙපයින් අල්ලා පද්දවා බොරැල්ල කනත්තේ බෝයිලේරුවට විසිකර පණ පිටින් පුච්චා මරා දැමීමේ අතීතය ඔහු මතක්‌කර දුන්නේ කඳුළු වගුරවමිනි.


ඔහු කීවේ තම මිත්‍රයා තම නායකයා පණ පිටින් පුලුස්‌සා මරා දැමුවේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව කියාය.


මෙම අතීත සිදුවීම ස්‌වාධීන රූපවාහිනිය ගෙන හැර පෑවේ රෝහණ විඡේවීර ගැන රටේ ජනතාවට මතක්‌ කර දීමට නම් නොවේ. එදා විඡේවීරගේ මරණය සම්බන්ධයෙන් රටේ ජනතාව බලාසිටියදී කඳුළු වගුරවමින් හඬමින් එජාපයට චෝදනා කළ සෝමවංශ අමරසිංහ මේ ඉතා මෑතකදී ටයිකෝට්‌ ඇඳ පැළඳ මුව පුරා විහිදුණු පුළුල් සිනාහවකින් යුතුව රනිල් වික්‍රමසිංහ තදින් වැළඳ සිටින අවස්‌ථාවක්‌ ප්‍රසිද්ධ වීම නිසාය. කලකදී වහලු කලකදි රස වෙනවාලු කියා කියන්නේ මේවාට බව රටේ ජනතාවට කියාදීමට රූපවාහිනිය ඒ අවස්‌ථා දෙකම නොමසුරුව ප්‍රචාරය කර තිබිණි.


රූපවාහිනිය හා ස්‌වාධීන රූපවාහිනිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයට සහාය දෙමින් ඒ කටයුත්ත හරි අපූරුවට කළ බව මගේ හැඟීමය.


විපක්‍ෂයේ නිර්පාක්‍ෂික සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය ආකාර දෙකක්‌ ගත්තේය. එක්‌ පැත්තකින් ඔවුහු කළේ තම අපේක්‍ෂකගේ පෞරුෂය හා අභිමානය මෙන්ම ප්‍රෙෘඪත්වය ඉස්‌මතු වන ආකාරයට ප්‍රචාරක සැලසුම් සකස්‌ කිරීමය. අනිත් අතට ඔවුහු කළේ ෆොන්සේකාගේ ප්‍රබල ප්‍රතිවාදියා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිරූපය විනාශ වන ආකාරයට තම ප්‍රචාරක ව්‍යාපාර සැලසුම් කිරීමය. ඒ සඳහා ඔවුහු කටකතා මඩ පත්‍රිකා, මඩ පෝස්‌ටර්, ඊමේල් හා එස්‌. එම්. එස්‌. බොහෝ අපූරුවට යොදාගෙන තිබෙන බව පෙනිණි. ජනාධිපති මහින්ද හා රාජපක්‍ෂ සමාගම පිළිබඳවද ඔවුන්ගේ වංචා දූෂණ කටයුතු පිළිබඳවද හොරකම් පිළිබඳවද නිර්මාණාත්මක ලෙස ගොතන ලද කයි කතන්දර රැසක්‌ ඉතා සංවේදීව කටකතා තුළින් පතුරුවා හැරීම එහිදී ඔවුන්ගේ මූලික සැලසුම වූහ.


ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් අදියර තුළ මේ කටකතා ප්‍රචාරයට විශේෂ තැනක්‌ ලැබිණි. දුම්රියේ බස්‌රියේ කාර්යාලයේ කඩේ පොළේ හන්දියේ ඉතා සැලසුම් සහගතව ප්‍රචාරය කළ කටකතා ඉතා ඉක්‌මණින් රට පුරා පැතිර ගියේය. රාජපක්‍ෂ සහෝදර සමාගම පසුගිය කාලයේ කළ හොරකම්, ඒවායින් ඉපයූ මුදල්, ඒ මුදල්වලින් ගත් ඉඩකඩම් ගොඩනැඟිලි ගෙවල්, ඉස්‌පිරිතාල, හෝටල් හා වාහන පිළිබඳ නොයෙකුත් පුවත් රට පුරා පැතිර යන්නට වැඩි කලක්‌ ගත වුණේ නැත.


මේ සියල්ල නිසා මුල් ප්‍රචාරක අදියරෙහිදී නිර්පාක්‌ෂික අපේක්‌ෂක ෆොන්සේකා ජනාධිපති මහින්දට වඩා ඉදිරියට ආවේය.


ජනාධිපතිවරණයට සතියක්‌ තිබියදීත් ෆොන්සේකා ලද ජනප්‍රියත්වය ඉතා ඉහළ එකක්‌ වුණේය. ජනපති මහින්ද සිටියේ අවදානම් සහගත තත්ත්වයකය. ජනපති මහින්ද වෙනුවෙන් කතා කරන්නට වේදිකාවේ කථිකයෝ බොහෝ ගණනක්‌ සිටියත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් සතිය වනතුරත් සිටියේ ඉදිරියෙනි.


සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ හුවමාරුවූ මුදල් ප්‍රමාණය සුවිශාලය. රූපවාහිනි නාලිකාවල පළවූ හා පුවත්පත්වල පළවූ දැන්වීම්වල වටිනාකම අනුව බැලුවත් මේ මුදල රුපියල් මිලියන 1114 ක්‌ වන බවද ගණන් බලා තිබිණ. එවන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්‌ රජයට නොතිබිණි.

කෙසේ නමුත් රාජපක්‍ෂවරු පිළිබඳ දිගින් දිගටම කී අවලාදය ජනතාවටද එපාවී ගියේය. එකම කතාව නිතර අසා ජනතාවට තිත්ත වී ගියේය. ඒ තිත්ත කතා වෙනුවට අන්තිම සතිය වනවිට සත්‍ය කතාවද ප්‍රචාරය වන්නට පටන් ගත්තේය.


අවසන් සතිය වන විට ෆොන්සේකා ලබා තිබූ ජනප්‍රියත්වය නැවත ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කරා ඇදෙන්නට වූයේය. ඡන්දයට සතියක්‌ තිබී ජනපති මහින්දගේ පැත්තට කැරකී ආ ජනරැල්ල ඔහුට දරාගන්නට නොහැකි එකක්‌ තරම් වූහ.


අවසානයේ ජනපති මහින්ද ලබාගත්තේ කිසිවකු අපේක්‍ෂා නොකළ තරමේ අති විශාල ජයග්‍රහණයකි.


මෙම ඡන්ද ප්‍රතිඵලයත් සමගම අන්ත පරාජයට පත්වූයේ සරත් ෆොන්සේකා නොව, ජනතා විමුක්‌ති පෙරමුණය.


ජනතා විමුක්‌ති පෙරමුණ දෙස අපේක්‍ෂා සහගතව නිතර බලාසිටියේ මේ රටේ පාවෙන ඡන්ද හිමි මධ්‍යස්‌ථ මතධාරීන්ය. ඔවුහු ජවිපය ගැන සිතුවේ නිතර රට වෙනුවෙන් වැඩ කරන පරාර්ථය සලකන ආත්මාර්ථය නොසලකන පක්‍ෂයක්‌ කියාය. එහෙත් මේ ඡන්ද ප්‍රතිඵලයත් සමගම පෙනෙන්නට ඇති කාරණය වන්නේ පාවෙන ඡන්දවල ඡන්ද පදනමින් නිතර ශක්‌තිමත් වූ ජවිපයට මෙවර අත් වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමයි.


පසුගිය 2005 මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ සහ දෙමළ සන්ධානයේ මෙන්ම කොටි සංවිධානයේ සහාය නැතුවත් රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්‌ෂ 47 ක්‌ මේ රටෙන් ලබාගත්තේය. එහෙත් සරත් ෆොන්සේකාට මේ සියලු ආකාරයේ සහායන් මෙවර ලැබී තිබීම විශේෂත්වයකි. එහෙත් ඔහු ලැබූ ප්‍රමාණය රනිල් ගියවර ලබාගත් ඡන්ද ප්‍රමාණයට යාන්තමින් හෝ කිට්‌ටුවට යාමටවත් බැරි විය.


මෙම ප්‍රතිඵලයට අනුව මේ ජනපතිවරණයේ ජයග්‍රහණය ලැබූ එකම පුද්ගලයා ජනපති මහින්ද පමණක්‌ නොවේ. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහද මෙවර ඡන්ද ප්‍රතිඵලයත් සමගම විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගත්තේය. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ඔහුගේ නැතිව ගොස්‌ තිබූ නායකත්වයේ ස්‌ථාවරය නැවත වරක්‌ ආරක්‍ෂාකර ගැනීමට මෙහිදී රනිල් සමත් වී තිබිණි.


රනිල් සිටියේ ඔහුට පක්‍ෂ නායකත්වය අහිමි වෙන්නට ඔන්න මෙන්න අඩියකය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත්a කරන්නට ඔහු කැමැති වූයේද පක්‍ෂයේ අනිත් විවේචකයන්ගේ ඉල්ලීමට පිටුපාන්නට බැරි නිසාය...


දැන් රනිල්ට කියන්නට හරි අපූරු උත්තරයක්‌ තිබේ...


ඔයගොල්ල කිව්වනේ මම නැතුව වෙනත් පොදු අපේක්‍ෂකයෙක්‌ ඕන කියලා. පොදු අපේක්‍ෂකයෙකුට මහින්දව පරද්දන්න පුළුවන් කියලනේ යුද වීර සරත් ෆොන්සේකාව දැම්මේ... කෝ.. එයාට මම ගනිපු තරම්වත් ඡන්ද ගත්ත පුළුවන් වුණාද...


මේ පිළිබඳව කතා කරන විට මා මතකයට නැගෙන්නේ පසුගිය දිනක ඩලස්‌ අලහප්පෙරුම මැතිවරණ වේදිකාවකදී කියපු කතාවකි...


"වහින අවස්‌ථාවල අකුණු ගහනකොට අපේ ගමේ ගොඩේ උදවිය කරන දෙයක්‌ තියනවා. ඒ තමයි ගෙවල්වල තියන අලවංගු, උදළු, පිහි ඔක්‌කොම මිදුලට වීසි කරනවා හෙණ වදින එකෙන් බේරෙන්න. එහෙම කළාම හෙණ වදින්නේ එළියේ තිබෙන අලවංගු උදළුවලට කියල විශ්වාසයක්‌ අපේ ගමේ මිනිස්‌සුන්ට තියනවා. අන්න ඒ වගේ රනිල් වික්‍රමසිංහ 27 වනදා උදේට නොවරදවාම තමන්ට වදින අකුණු පහරින් බේරෙන්න එළියට දාපු අලවංගුව තමයි සරත් ෆොන්සේකා...

No comments:

Post a Comment