Sunday 17 January 2010

ජනතා විමුක්ති පෙරමුණ සහ කේක් කෑල්ල

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ලෝකයේ ලොකුම පුදුමය මේ වනවිට ශ්‍රී ලංකාව තුල සිදුවේ. යා දෙක නොරත රත එකට පෑහෙන අතරම, හරක් මස් කඩ කාරයා හා හරකා එකට අත්වැල් බැදගෙන කාටදෝ විරුද්ධව සටන් වැදීම ආරම්භ කර ඇත.


හරකා, හරක්මස් කඩ කාරයා සමග සන්ධාන ගත වෙන්නේ කොහොමද? මොකටද?එහෙම ප්‍රශ්න කරන කොට තොරොම්බල්කාරයකු ඇවිත්,

හා හා ඔය පරණ දේවල් තොරොම්බල් කරන්න එපා. ඇයි හරකුන්ට, හරක් මස් කඩ කාරයින් සමග සන්ධාන ගත වෙන්න බැරිද? තවත් ප්‍රශ්නයකින් උත්තර දෙයි.

පුළුවන් සහෝදරයා, පුළුවන්. කටවහගෙන මස් කඩේ කොක්කෙ එල්ලෙන්න සන්ධාන ගත වෙන්න පුළුවන්.

චා! චා! චා! එහෙම කියන්න එපා. මේ හරකට උනත් දැන් රටේ තත්වේ හොදටම තේරෙනවා; විධායක ජනාධිපති කම කොච්චර නරකද? ඒක ඉවත් කරන්නම ඕනි, ඒකයි මේ සන්ධානෙ හැදුවේ.


එතකොට කොයි හරකද ඔය විධායක ජනාධිපතිකම පටන් ගත්තේ?


එහෙම කථා කරන්න එපා. ඔය විධායක ජනාධිපතිකම ගෙනාවේ හරකෙක් නම් නෙමෙයි. හරක් මස් කඩ කාරයෙක්.


හරක් මස් කඩ කාරයෙක්! ඉතින් හරක් මස් කඩ කාරයකු අරන් ආපු විධායක ජනාධිපතිකමට, හරක් මස් කඩ කාරයකු විරුද්ධ වෙන්නෙ ඇයි? ඇරත් මේ අසරණ ගොනාවත් අල්ල ගෙන මොන මගුලක් කරනවාද?


තේරෙන්නේ නැද්ද? දැන් විධායක ජනාධිපති කම තියෙන්නේ උපාසක උන්නැහැ කෙනෙක් ගාව. ඒකයි ඒක අහෝසි කරන්න කියල අපි බල කරන්නේ.


ඉතින් මේ ගොනා මොනවා කරනවාද මෙතන?


මේ ගොනා තමයි; විධායක ජනාධිපතිකම ඉවත් කරන්න! ඉවත් කරන්න! කියමින් ඔය මතය සමාජගත කලේ.


ඉතින් මූට තේරෙන්නේ නැද්ද මේක ඉවත් කලත් නැතත්, මූට වැඩක් නැහැ කියල.


මේකනෙ අයියා, කොහොමත් මූව මරන්න ඉන්න එකා; අපි මූව අල්ලලා කරත්තෙ ගැට ගහල කරත්තේ දෙපැත්තේ බැනර් දෙකක් බැන්දා "විධායක ජනාධිපති කම අහෝසි කරනු" කියලා. ඉතින් මූ රට පුරාම කරත්තේ ඇදගෙන ගියා.


ඉතින් ඊට පස්සෙ මොකද උනේ?


දැන් මිනිස්සුන්ගෙ හිතේ විධායක ජනාධිපති කම කියන්නේ මහා භයානක දෙයක් කියල! හැමෝම ඒකට හොදටම බයවෙලා. කොච්චර බය වෙලාද කිවිවොත් ජනාධිපතිකමට ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම කියනවා ඒක ඉවත් කරනවා කියලා.


දැන් ඉතින් ඕගොල්ලො මොනවද කරන්න යන්නේ?


දැන් ඉතින් අපිත් කරත්තෙටම නැ‍ගිලා මේ හරකත් එක්කම මේ ගමනම යනවා.


ඉතින් මෙච්චර කල් මූ මේ බර ඇද්දෙ තනියම; දැන් ඔගොල්ලොත් මේ කරත්තෙටම නැග්ගොත්, මූට බර වැඩිවෙලා, හති වැටිලම මැරිලා යාවිනේ?


මූ මැරෙන්න හිටියේ. ඉතින් අපියි මූව කරත්තෙ බැදල බේර ගත්තෙ, මේ කරත්තෙට අපි නැග්ගම මොකද වෙන්නෙ?


ඉතින් ඔය විධායක ජනාධිපතිකම තියාගෙන ඉන්න උපාසක තැන ඕක තියාගෙන මොනවද කරන්න යන්නෙ?


හරක් මසට තිත තියන්න යනවයි කියන්නේ? ඒකනේ අපි ඒක උදුර ගන්න බලන්නෙ.


ඉතින් බොලව්! මේ හරක, මොකද ඒකට විරැද්ධව වැඩ කරන්නේ? හොදයි කියන්න, ඕගොල්ලො ඔය විධායක ජනාධිපතිකම උපාසකගෙන් උදුර ගත්ත කියල; ඊලගට කරන වැඩේ මොකක්ද?


එහෙම උනොත් අපිට තවදුරටත් හරක් මස් වෙළදාම කරගෙන යන්න පුළුවන්; ඉතින් ඉස්සෙල්ලම මේ හරකව මරල මස් කඩේ එල්ලනවා.

No comments:

Post a Comment