Sunday 17 January 2010

මහාචාර්ය ඇස්. බි. හෙට්ටිආරච්චිට අමු කැවිලා නොවේ.

ඥානා මුතු

බොහෝ කාලයක් මාගේ හොදම මිතුරිය දැන් කොරියාවේ විශ්ව විද්‍යාලක මහාචාර්යවරියකි. කොරියාව දැක බලාගැනිමේ මෙන්ම කොරියාව පිළිබද ඉගෙණිමට මා පෙළඹවීමට ප‍්‍රධාන හේතුවක් වුයේ අපගේ මිත‍්‍රත්වයයි. පසුකලෙක කොරියානු සිසු සිසුවියනට උගන්වන ගුරුවරියක් වශයෙන් කටයුතු කිරිමටද මට අවස්ථාවක් ලැබුණි. අප ජිවත්වෙන පරිසරයේ මගේ හිතමිතුරන් හා අසල්වාසින් අතර කොරියානුවන් විශාල පිරිසක් සිටිති. මේ සියලූ කරුණු සලකන කල් හි මා කොරියානුවන් සමග ඉතාම සමීප සබදකම් පවත්වන සිංහල කාන්තාවක් යයි සිතේ. අද දිවයින පත‍්‍රයේ පළවු 'හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ යහපත් ලක්ෂණද ඇත. කොරියාව ගොඩගත්තේ මේජර් ජෙනරාල් පාක් ජංහී ' උද්ධෘතය යටතේ මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි ගේ ලිපිය මගේ විශේෂ අවධානයට යොමුවීමට ප‍්‍රධාන හේතුව එයයි.

ලිපියේ අරමුණ 26 දිවයින පත‍්‍රයේ පළවු 'හමුදා නායකයින් සිවිල් පාලනයට ඒමේ අනතුර' යන ලිපියට පිළිතුරු දැක්වීම බව මහාචාර්ය හෙට්ටිආරච්චි සදහන් කරයි. දිවයින 26 ලිපිය මහාචාර්ය විශ්ව වර්ණපාල 'ද අයිලන්ඞ්' පත‍්‍රයට ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි. ඊට විරුද්ධව අදහස් දක්වන හෙට්ටිආරච්චි හමුදා නායකයින් බලයට පත්වු සමහර රටවල් සංවර්ධනය වී පවතින පැහැදිලි කිරීම තම අරමුණ බව කියතත් ඊට බාහිර වැදගත් අරමුණක් ද ඔහුගේ ලිපියෙන් එළියට පනියි. ඒ කුමක්ද? ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත්කිරීමට උදාවි තියෙන අවස්ථාව අහිමිකර නොගෙන ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය දමා කොරියාවේ මෙන් සාමය නීතිය හා සෞභාග්‍ය උදාකරගන්නැයි ජනතාවගෙන් කරන ඉල්ලීමක් ඔහු කරයි. කොරියාව නැංවු පැක් ජුන් හී නැමති ජෙනරාල්වරයාගේ කතාව ගෙනහැර පාන්නේ ඊට සාක්ෂි වශයෙනි. එහෙත් මහාචාර්ය ඇස්. බී. හෙට්ටිආරච්චි සිය ලිපිය මගින් පැක් ජුන් හී ගේ කතාවෙන් කොටසක් පමණක් ඉදිරිපත් කරමින් මහා වංචාවක් කරන නිසාත් ඉතිහාසය සගවා ලිපිය කියවන්නන් නොමගයවන නිසාත් මිනිමරු ඒකාධිපතියෙකුට චරිත සහතික ලබාදෙමින් රටේ ජනතාවට වැරදි අදහස් සපයන නිසාත් පැක් ජුන් හි ගේ පාලනය පිළිබද ඇත්ත හෙලිකිරීම ජාතික සේවාවක් ලෙසින් සලකමින් මෙය ලියමි.


[sarath] ජෙනරාල් සරත් ෆොන්සේකාට පක්ෂපාතී පුද්ගලයෙක් වශයෙන් ලිපියක් පුවත්පතකට ලිවිමේ අයිතියක් හා නිදහසක් මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චිට ඇත. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන ක‍්‍රමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවයයි. පැක් ජුන් හී වර්ෂ 1961 දී හමුදා කුමන්ත‍්‍රණයක් මගින් කොරියාවේ රාජ්‍ය බලය උදුරාගෙන ලෝකයේ බිහිවු බිහිසුණුම ඒකාධිපතියෙක් වශයෙන් කොරියාව පාලනය කරන්ඩ ගත් තැන් සිට කිසිවෙකුට හෝ තමන්ව විවේචනය කෙරෙන ඔවැනි ලිපියක් පුවත්පතකට ලියන්ඩ තියා මුවින් පිටකරන්ඩ ඉඩදුන් පුද්ගලයෙක් නොවේ. එබදු රුදුරු ඒකාධිපතියෙක් වර්ණනා කරමින් ලංකාවේ ඉතාම උසස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙනයන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැන්නෙකුට අගෞරව කිරීම අපරාධයකි. අසත් පුරුෂයෙක් සත් පුරුෂයෙක් වශයෙන් පෙන්වා ජනතාව රැවටීම මොන ආගමට අනුව බැලූවත් පාපාකර්මයකි.


දෙවන ලෝක සංග‍්‍රාමය අවසාන වෙද්දී කොරියාව කොරියාවක් බව ඇත්තකි. හමුදා සමග සටන් කිරීම සදහා කොරියාවට ගිය ඇමරිකානු හමුදාවේ සෙබලෙක් මට පැවසු ලෙසට අද කොරියාවේ අගනුවර වු සියොල්හි එකම ගොඩනැගිල්ලක්වත් ඉතිරිවී තිබුණේ නැත. යුද්ධය විසින් එම බිම වළගොඩනැගිලි හා සුන්බුන්වලින් පිරි ප‍්‍රදේශයක් කර තිබුණි. යුද්ධයෙන් පසුව යුද්ධයට තදින්ම ගොදුරුවු දකුණු කොරියාවේ පාලනය භාරගත් ඇමරිකානු හිතවාදී එකම සිවිල් නායකයෙකුටවත් කොරියාව පාලනය කරගැනිම අපහසු වුයේය. රටේ දිළිදුකම වංචාව හා දුෂණයට වඩා ඇමරිකානු ව්‍යවසායකයන්ගේ අනාරක්ෂිත භාවය වැදගත්ම කාරණයක් වුයේ ය. දිළිදු කොරියානුවන් කොමියුනිස්ට්වාදය යටතේ වෙනසක් සිදුකර රටේ සංවර්ධනය හා ජනයාගේ ජීවන තත්වය උසස් කිරීමට සිතුහ. එමනිසා දකුණු කොරියාව කොමියුනිස්ට්වාදයෙන් ගලවා ගැනීමටද ඇමරිකාවට සිදුවිය. පාසැල් ගුරුවරයෙක් වශයෙන් ජීවිතය අරඹා පසුව හමුදා මේජර්වරයෙකුවී යුද්ධයෙන් අනතුරුව ඇමරිකාවේ ඔක්ලහෝමා හි අතිවිශේෂ යුද්ධ හමුදා කදවුරක පුහුණුව ලැබු පැක් ජුන් හී මේ සියල්ලකටම ප‍්‍රතිකර්ම සැපයුවේය. ඔහු 1961 දී ලේ නොසෙල්වු හමුදා කුමන්ත‍්‍රණයක් මගින් coup d'etat රාජ්‍ය බලය ලබා ගත්තේය. දුෂණය නැතිකර යහපත් සමාජයක් හා දියුණු රටක් බිහිකිරීම තම අරමුණ බව ජෙනරාල් පැක් ප‍්‍රකාශ කළේය.


රටපුරා අදුරු නිතිය ප‍්‍රකාශකළ ඔහු ජාතික රාජ්‍ය සභාව විසුරුවා හැරියේය. සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන තහනම් කළේය.දැඩි ඒකාධිපති හමුදා පාලනයක් ඇතිකරමින් විරුද්ධවාදී යයි හිතෙන සියලූම පුද්ගලයන් විනාශ කළේය. මාසයක් ඇතුලත කොරියානු මධ්‍යම ඔත්තු සේවය (කේසීඅයිඒ) පිහිටවුයේ ය. 1981 ජනවාරි මාසයේ ජාතික ආරක්ෂක සැලසුම් ඒකකය යයි නම්කළ මෙම ආයතනය කොරියාව හැසිරීවීමේ සුක්කනාම කළේ ය ( කොරියා සර්ච් ෆෝ සවරින්ටි Korea : the search for sovereigntyp 220- 221)


කොමියුනිස්ට්වාදයෙන් රට බේරාගැනීම සදහා යයි කියමින් හමුදාව යොදවා කොමියුනිස්ට් ව්‍යපාරයට ගෑවුනා යයි සැකකළ සියලූ දෙනාම ඝාතනයකර විනාශකර දමන්ඩගත් පැක් රටක දියුණුවට කම්කරු ව්‍යාපාර හානිදායක යයි හගවා වෘත්තීය සමිති කොමියුනිස්ට්කාරයින්ගේ ක‍්‍රියාකාරීකම් හැටියට පෙන්වා හමුදාව යොදවා වෘත්තීය සමිතිවලට සම්බන්ධ කම්කරු නායකයින් සියල්ලම ඝාතනයකර නැති කළේය. පැක් බලයට පත්වෙන කාලයේ කොරියාවේ කම්කරු ව්‍යාපාරවලට වඩා ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබුණි. පැක් අනුකම්පා විරහිතව ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ සියලූම නායකයින් ඝාතනය කරවුයේය. කිසිම පුවත් පතකට හමුදා නායකයින් රජය හෝ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමට ඉඩ නොදුන්නේය. එවැනි ක‍්‍රියාවක යෙදෙන ඕනෑම පුද්ගලයෙක් මරා දැමුයේය.


ඇමැරිකාවට දැඩි ලෙසින් පක්ෂපාතිව කටයුතු කළ පැක් කොරියාවේ විශ්මය ජනක ආර්ථික සංවර්ධනයක් ඇති කළේ ය. නීතියට වැඩකරන දකුණු කොරියාවක් හැදුවේය. ඇමරිකානු ව්‍යාපාරිකයා හා වෙළද පොළ නැංවු ඔහු කොරියානු ව්‍යාපාරික පංතියකටද මග පෑදුවේය. කොරියානු ජනතාවගේ මානව හිමිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ගැන අබමල් රේණුවක සැලකිල්ලක් නොදක්වා තමන්ගේ වත්තක් පිටියක් පාලනය කරන සේ කොරියාව පාලනය කළේය.


මේ කාලයේ ඇමරිකාව වියට්නාම් යුද්ධයට පැටලී සිටියේය. රට පාලනය කිරිමේ හැම කටයුත්තකටම ඇමරිකාවේ සහය ගත් පැක් ඇමරිකාවේ සුචච ආධාරකරුවෙකු වශයෙන් කොරියානුවන් වියට්නාම් යුද්ධ පිටියට යැව්වේය. පැක් කොරියානුවන් 350, 000 ක් වියට්නාම් යුද්ධ පිටියට යවා තිබේ. වියට්නාම් යුද්ධ පිටියේ මියගිය කොරියානුවන් ගේ සංඛ්‍යාව 3050 කි. කොරියාව ගොඩනැගීමට උපකාරිවු 50 දෙනා නැමැති පොත ලියු රිචඞ් සසෝනි Richard Saccone p23 සදහන් කරයි.


පැක් ජුන් හී ගේ කෘර පාලනය ගැන වේදනාවට පත්ව සිටි හැම කොරියානුවෙක්ම මේ නපුරු ඒකාධිපතියා මරා ගන්නේ කෙසේදැයි සිතුවේය. සමහරු දිවි පරදුවට තබා පැක් මරා දමන්ඩ උත්සාහ කළේ ය. එවැනි වාරයකදී පැක්ගේ බිරිය මිය ගියේය. කොරියානු ජනතාවගේ කෝපය වෛරය පැක් වෙත කොයිතරම් ද ඔහු නොමරා ජිවත්කරවීම ඔහුට උපකාර කරන අයටත් ප‍්‍රශ්නයක් වුයෙන් කොරියානු මධ්‍යම ඔත්තු සේවා ආයතනයේ ප‍්‍රධානී කිම් Kim Chaekyu 1979 ඔක්තෝබර් 26 පැක්ට වෙඩිතබා මරා දැමුවේය.


කොරියාව පැක් බලයට පත්වෙනවිට බෞද්ධ රටකි. කොරියාව දැන් ක‍්‍රිස්තියානි රාජ්‍යයකි. වර්තමාන කොරියානු නායකයා කොයිතරම් අන්ත මුලධර්මවාදී ක‍්‍රිස්තු භක්තිකයෙක් ද යත් බෞද්ධයන්ට රජයේ රැකියා නොදීමේ ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශ කිරිමට තරම් අන්තවාදී වුයේ ය. ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගැනීම සදහා වෙහෙසෙන භික්ෂුණ් වහන්සේලා ඇස්. බී. හෙට්ටිආරච්චිට විනයක් වගේ පෙනෙතත් අපට පෙනෙන්නේ රටේ උස් නිදහස් ආරක්ෂාකර ගැනීම සදහා අවුරුදු දෙදහස් පන්සියයක කාලයක සිට පැවතෙන මහා සගපරපුරේ කොටසක් ලෙසිනි.


පැක් ජුන් හී කොරියාව ගොඩනැගු නායකයා වශයෙන් ලියන මහාචාර්ය ඇස්. බී. හෙට්ටිආරච්චි පැක් ජුන් හී කොරියාව පුරා භිෂණය පැතිරූ හැටි ලිපියේ සදහන් නොකළේ ඇයිදැයි වටහාගැනීම අමාරු කාරණයක් නොවේ. මන්ද පැක්ගේ අපරාධ සදහන් කළොත් ඔහුගේ ලිපිය බොරුවක් බවට පත්වේ. නමුත් තාක්ෂණය දියුණු මේ කාලයේ පැක් කවුදැයි දැනගැනීමට එතරම් වෙහෙසක් දැරිමට අවශ්‍ය නැත. අන්තර් ජාලයේ විකිපේඩියාව බලන්න. මේ එයින් ගත් උපුටන කිහිපයකි.


'he was simply a brutal dictator and only brought about high growth through military control over labor'


'There are also many on the left who condemn Park for the brutality of his dictatorship '


'Park's critics deplore the widespread human rights abuses in South Korea during his rule. Thousands were arrested and imprisoned for many years merely for criticizing Park in workplaces or bars. A culture of corruption was prevalent too; bribery was common, and often powerful figures in Park's administration confiscated private businesses and other properties. One of the most notorious cases of Park's alleged abuses is the allegation that he ordered that a political rival, Kim Dae-jung (who became the president of the Republic of Korea in the late 1990s) be killed (see Kidnapping of Kim Dae-jung)'.


ඉතිහාසයේ පැතිකඩක් පමණක් පෙන්නා ජනතාව මුළාකිරීමට හදන ඇස්. බී. හෙට්ටිආරච්චි වැනි මහාචාර්යවරු වෙසෙන රටක දුෂකයින් බිහිවිම පුදුමයක් ද? මොවුන්ගෙන් විශ්ව විද්‍යාලවල බුද්ධිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උවමනා දැනුම ලැබේද? මහාචාර්ය ඇස්. බී . හෙට්ටිආර්ච්චි ලිපිය ලියා තියෙන්නේ අමුකැවිලා නොවේ. හොද දැනුමිනි. තමන්ගේ අනාගතය ගැන හොද බලාපොරාත්තුවෙනි.

No comments:

Post a Comment